මා විශ්‍රාම යාමට පෙර රාජ්‍ය සේවය කාර්‍යක්ශම කිරීම එකම අරමුණයි.ජනපති ගෝඨාගෙන් ආදර්ශමත් පියවර රැසක්

පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය තම ධුර කාලයේදී අවසන් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. දෛනික ජන ජිවිතයට සෘජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් පිරිසිදු ආයතන බවට පත්විය යුතු බව මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහතික කිරීමට නම් අනවශ්‍ය අණ පනත් සහ රේගුලාසි කඩිනමින් සංශෝධනය විය යුතු බව කියූ ජනාධිපතිවරයා සියලු රාජ්‍ය සේවාවන් සරල සහ ජනතාව අපහසුතාවයට පත් නොවන ක්‍රමවේදයකින් ක්‍රියාත්මක විය යුතු බව කියා සිටියා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරීන් සමග අද (31) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවකදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

” රාජ්‍ය සේවය පිළිබඳව ජනතා විශ්වාසය නැවත තහවුරු කිරීම ලක්ෂ 15ක් වන සමස්ත රාජ්‍ය සේවකයින්ගේ ප්‍රමුඛ වගකීමක්. එහිදී විවෘත සංවාද, සාකච්ජා සහ නොසඟවා ගැටළු ඉදිරිපත් කිරීම ඉතා වැදගත්. රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා හැකියාවක් සහ වෘත්තීය නිපුණතාවයක් ඇති පිරිස් බඳවා ගැනීමට විද්වත් කමිටුවක් පත් කලේ රාජ්‍ය සේවය රටේ කොඳුනාරටිය නිසයි.

රාජ්‍ය සේවය සියලු අක්‍රමිකතා බැහැර කළ යුතුයි. දෛනික ජන ජිවිතයට වැදගත් රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයා බැලීමට සහ නීතියේ රැහැනට හසු කර ගැනීමට බුද්ධි අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදුන් බව ජනාධිපතිවරයා කියා සිටියා.

අල්ලස් ගන්නන් වගේම අල්ලස් දෙන්නන් නීතියේ රැහැනට හසු කර ගත යුතුයි. රාජ්‍ය සේවකයෙකු දුෂණ සහ වංචාවන්ට සම්බන්ධ වුවහොත් තරා තිරම නොබලා දඬුවම් දෙන බවත් එවැනි අයෙකුට යළිත් කිසිදු අවස්ථාවක රාජ්‍ය සේවයට එක්වීමට අවස්ථාව ඉඩනොදෙන බව ජනාධිපතිවරයා කියා සිටියා.

විදේශීය ආයෝජකයින් තුළ මෙන්ම සමස්ත ලෝකය තුලම රට පිලිබඳ පැහැදීමක් ඇති වන්නේ රාජ්‍ය සේවයේ ක්‍රියාකාරීත්වය මතයි. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඇතුළු පහසුකම් වැඩිකළ හැක්කේ රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමෙන්. රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවන්නේ විදෙස් ශ්‍රමිකයින් සහ කෘෂිකර්මාන්තය ඇතුළු රැකියාවල ජනතාව උපයන ආදායමෙන්. ඒ නිසා සමස්ත ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවකයක් ලබාදීමට සියලුම සේවකයින්ගේ ප්‍රමුඛ වගකීමක්.

ඒ හේතුවෙන් මහජන සේවා කාර්යක්ෂමව ඉටු කිරීමේදී දත්ත ජාලගත කිරීම, නව තාක්ෂණික ක්‍රමඋපායන් අනුගමනය කිරීම වගේම සියලු ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කිරීම අවශ්‍යයි.

මින් ඉදිරියට සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී ඇස් පරික්ෂාව පමණක් ප්‍රමාණවත් බවත් කියු ජනාධිපතිවරයා එම පරික්ෂාව ද රෝහල් මට්ටමින් ලබාදීම සම්බන්ධයෙන් සොයා බලන්නැයි බලධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබුවා. එමෙන්ම පුර්ණ වෛද්‍ය පරීක්ෂණ බර වාහන රියදුරු බලපත්‍ර සඳහා සිමා කරන්නැයි” ජනාධිපතිතුමා උපදෙස් ලබා දෙනු ලැබුවා.

මතුව ඇති ගැටලු ඉතා කෙටිකලකදී නිරාකරණය කරමින් ජනතාව අපේක්ෂා කරන ප්‍රශස්ත සේවාව ලබාදීමට කැපවන ලෙස ජනාධිපතිතුමා විසින් මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබුවා.