සම්බන්ධන්ට ගෙයක් දුන්නේ සංහිඳියාව රැක ගන්නයි

ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ට නිවසක් ලබා දී තිබෙන්නේ සංහිඳියාව අවශ්‍ය නිසා යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර ඊයේ (30 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කලේය.

සම්බන්ධන් මන්ත්‍රීවරයා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකයා ලෙස සිටින තාක් කල් ඔහුගේ ප්‍රයෝජනය සඳහා නිවස ලබා ගැනීමට පසුගිය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දීම පිළිබඳව පැහැදිලි කරමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය. නිවස සම්බන්ධන් මන්ත්‍රීවරයාට ලබා දුන්නේ එවක රටේ සහ යුගයේ අවශ්‍යතාවය මත බවද කී මන්ත්‍රීවරයා එම අවස්ථාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන යැයිද මෙහිදී පෙන්වා දුන්නේය.

අනෙක් දේශපාලන පක්ෂ නායකයන්ද මෙවැනි ඉල්ලීමක් කළානම් ඒ පිළිබඳ සලකා බැලීමට ඉඩ තිබුණා. යම් ජන කණ්ඩායමක් නියෝජනය කරන නායකයෙක් ලෙසයි. සම්බන්ධන් මන්ත්‍රීවරයාට මෙම නිවස ලබාදුන්නේ ඔහු නියෝජනය කරන ජනතාවගේ අවශ්‍යතාව අනුව කටයුතු කිරීම එවක ආණ්ඩුවේ වගකීමක් වුණා. යළි ලේ වැගිරීමක් ඇතිවන යුගයක් නිර්මාණය වීම දැකීමට එක්සත් ජාතික පක්ෂය කැමැති නැහැ.’’ යැයි රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.