රාජිත ගැන හොයන්නෙ නැතුව ආණ්ඩුව කියපු අනිත් වැඩ කරන්න

ජනාධිපතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු අනුව මහ බැංකු වංචාවට සම්බන්ධ පාර්ශ්ව වහා අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර බැඳුම්කරය ගැන හා MCC ගිවිසුම පිළිබඳ කථා කළ බවයි.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය සමඟ නැවත වරක් සාකච්ඡා කරන බවත් පැවසු බව කියා සිටි මනෝ ගනේෂන් මහතා, අද වන විට ඒ ගැන කිසිදු කතාවක් නොමැති බවත් පැවසීය.

බැඳුම්කරය ගැන සොයා බලා හොරුන් වහාම අත්අඩංගුවට ගත යුතු බවත් පැවසු ඒ මහතා, අර්ජුන් මහේන්ද්‍රන්ව සිංගප්පූරුවට ගොස් රැගෙන එන ලෙසත් කියා සිටියේය.

ආණ්ඩුව විසින් ප්‍රකාශ කළ කිසිදු කටයුත්තක් සිදු නොකර අද වන විට පාඨලී චම්පික හා රාජිත සේනාරත්න යන මහත්වරුන් පිටුපස පමණක් හඹා යන බවත් එය නවතා පැවසු වැඩ කරන ලෙසත් මනෝ ගනේෂන් මහතා පැවසීය.