ජාතික ගීය සිංහල බසින් පමණක් ගායනා කරනවාට තමිල්නාඩුවේ පක්ෂ විරෝධය පලකරයි

ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී ආනන්ද සංගරී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, දෙමළ ජනතාවට හුරු සහ ඔවුන් දන්නා භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසයි. ජාතික උත්සවවලදී රටේ එකමුතු භාවය පෙන්නුම් කිරීම සඳහා භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කිරීමට කටයුතු කළ යුතු බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට ගත් තීරණය නිවැරදි බවයි.

මේ අතර, නිදහස් දින උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් ගායනා කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ ද සිය අප්‍රසාදය පළ කර ඇතැයි වාර්තා වනවා. මෙලෙස සිය අප්‍රසාදය පළ කළ පක්ෂ අතරට ඩී එම් කේ සහ පී එන් කේ යන පක්ෂ ද අයත්.

Nethnews.lk