රනිල් වැඩ කලේ එයා ජනාධිපති කියලා හිතාගෙන.ගෝඨාගේ ජයග්‍රහණයට ලොකුම හේතුව ශ්‍රීලනිපය -මෛත්‍රී රහස් රැසක් හෙළි කරයි

දෛනික ව්‍යායාම කරන අතරවාරයේ ඔහු පැමිණියේ අප සමග යොදාගෙන තිබූ සාකච්ඡාව සඳහාය. උණු වතුර වීදුරුවක් බී අප සමග ඔහු ආරම්භ කරන ලද සාකච්ඡාව උණුසුම් විය. ඔහුගේ පිළිතුරු අභියෝගාත්මක විය. අතීත දේශපාලනයේ මෙන්ම අනාගත දේශපාලනයේ කතා රැසක් ඒ තුළ ගැබ්වී තිබුණේය. හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සමග ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ පවත්වන ලද ඒ උණුසුම් සාකච්ඡාවයි මේ.

ප‍්‍රශ්නය – ඉතින් කොහොමද හිටපු ජනාධිපතිතුමා… හිටපු කියන යෙදුම ඇසෙන විට ඔබට හිතට අමාරුවක් වගේ, ශෝකයක් වගේ හැඟීමක් ඇතිවෙනවා ඇති නේද…?

පිළිතුර – මම පරාජයට පත්වෙලා, හිටපු කියන තැනට ආවේ නැහැ. අනිත් එක දේශපාලනයේ පරාජය කියන එකත් මට හොඳට පුරුදුයි. මම පුද්ගලයෙක් විදිහට පරාජයට පත් වෙලා නැති වුණත් අපි පක්ෂයක් විදිහට පරාජයන් ගණනාවක් ලබලා තියෙනවා. 1977 සිට අපි ශ‍්‍රීලනිපය ලෙස පරාජයට පත්වෙන කොට මම පක්ෂයේ සංවිධායකවරයෙක්. ඒ නිසා බලය පිළිබඳව, බලය නැතිවීම පිළිබඳව ඒ තරම් මගේ තැකීමක් නැහැ.

ප‍්‍රශ්නය – පසුගිය ජනාධිපතිවරණයේදී ඔබ කටයුතු කළේ නිර්පාක්ෂික තත්ත්වයෙන්. සමහරු චෝදනා කරන්නේ ඔබ එම ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට වක‍්‍රාකාරයෙන් සහය දුන් බවයි.

පිළිතුර – ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් ගත්තම මම ඒ තීන්දුවෙ හැම වෙලාම හිටපු කෙනෙක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් සමග ගිවිසුමක් අත්සන් කළා. ඊළඟට පොදුජන පෙරමුණත් එක්ක තව ගිවිසුමක් අත්සන් කරා.

ඒ ගිවිසුම් අත්සන් කළේ පක්ෂයේ ලේකම්වරුයි. එතකොට ඒ අවස්ථාවේදී මම බොහොම පැහැදිලිවම තීන්දු කළේ නිර්පාක්ෂික වෙන්නයි. ලංකාවේ පළවෙනි වතාවටයි රාජ්‍ය නායකයෙක් නිර්පාක්ෂික වුණේ කියලා මැතිවරණ කොමිසමේ මහින්ද දේශප‍්‍රිය මහත්මයා කිව්වා. මැතිවරණ කොමිසම විසින් මෛත‍්‍රිපාල සිරිසේන මහත්මයාට සම්මානයක් දෙන්න ඕනේ කියලා එතුමා කියලා තිබ්බා. මම නිර්පාක්ෂික වීම තුළ තමයි ඇත්තටම මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාත් නැතිව ගියේ. ලංකාවේ ජනාධිපති ඡන්දවලින් සාමකාමීම මැතිවරණය තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කරපු මැතිවරණය. ඒකට හේතුව මම නිර්පාක්ෂික වීම. පොලිසිය සහ ත‍්‍රිවිධ හමුදාව මගේ අතේ තියාගෙන, මම යම්කිසි පාර්ශ්වයකට වැඩ කළා නම්, ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සඳහා ඒකෙන් ඉඩකඩ ලැබෙනවා. එහෙම වුණා නම්, මීට කලින් හිටපු අයට වගේම, බලය අනිසි ලෙස පාවිච්චි කිරීමේ චෝදනාව මටත් එනවා. 2015 දී ජනාධිපතිවරණයේදී මම මුහුණ දුන් අත්දැකීම් මොනවද කියලා කවුරුත් දන්නවා. එහෙම කිසිම ප‍්‍රශ්නයක් මෙවර ප‍්‍රධාන අපේක්ෂකයන් දෙන්නට හෝ වෙනත් අපේක්ෂකයෙකුට එල්ල වුණේ නැහැ. ඉතින් ඒක නිසා පැහැදිලි ලෙසම මම නිර්පාක්ෂික වීම මෙම මැතිවරණය සාමකාමී වීමට ප‍්‍රධානම කාරණය.

ප‍්‍රශ්නය – ඔබගේ නිර්පාක්ෂික වීම සාධාරණ මැතිවරණයක් සඳහා හේතු වන්නට ඇති. එසේ වුවත් එහි දේශපාලන වාසිය හිමි වූයේ සජිත් පේ‍්‍රමදාස මහතාට නේද?

පිළිතුර – ශ‍්‍රීලනිපය, එජනිසය විදියට ගත්ත තීන්දුවට අනුව මම වැඩ කළා. මගේ සංවිධායකවරු, රට වටේම අපේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු, සීයට අනූ නවයක්ම වැඩ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාට. මුස්ලිම් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙක් පමණක් එහෙම වැඩ කළේ නැහැ. ශ‍්‍රීලනිපය, එජනිසයයේ ඒ කැපවීම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග‍්‍රහණයට ප‍්‍රධානම හේතුව වුණේ.

2018 පළාත් පාලන ඡන්දේදි අපිට ලක්ෂ දාහතක් ලැබුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග‍්‍රහණය කරපු වැඩි ඡන්ද සංඛ්‍යාව ගත්තහම, අපි බොහොම පැහැදිලිවම පෙන්නුම් කරලා තියෙනවා අපේ සහයෝගය එතුමාගේ ජයග‍්‍රහණයට විශේෂ හේතුවක් වුණා කියලා.

ඡන්ද සංඛ්‍යාවටත් වැඩිය ශ‍්‍රීලනිපයේ සහය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට දෙනවා කියලා තීන්දුව ගැනීමම එතුමාගේ ජයග‍්‍රහණයට වැදගත් වුණා. ඒ තීන්දුව ගැනීම තුළ, මේ පැත්ත තමයි දිනන්නෙ කියලා, රටේ මතයක් ඇති වුණා. විචාර බුද්ධියෙන් සහ අපක්ෂපාතීව, මධ්‍යස්ථව හිතන අය පිරිසක්, ශ‍්‍රීලනිපය ගන්න තීන්දුව දිහා බලාගෙන හිටියා. අපි තීන්දුවක් ගන්න කලින් ඒගොල්ලෝ කිව්වේ ”ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න පැත්ත තමයි දිනන්නෙ…’’ කියලා. අපි ගෝඨාභය මහත්තයට සහයෝගය දෙන්න තීන්දු කළාට පස්සේ, අපේ තියෙන සංඛ්‍යාත්මක ඡන්ද සංඛ්‍යාවේ අගයට වඩා, පාවෙන ඡන්ද සහ මධ්‍යස්ථ ඡන්දවල නැම්මක් ඇති වුණා.

ප‍්‍රශ්නය – ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය පිළිබඳව ඔබ සතුටු වෙනවාද…?

පිළිතුර – පැහැදිලිවම ඉතාම සතුටු වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලේ, 2014 ට කලින් ඉඳලා අපේ හිතවත්කම් තිබුණා. 2014 දී එදා රාජපක්ෂ ආණ්ඩුවෙන් මම එළියට යන්න හදපු වෙලාවේදී, මාව ආණ්ඩුව තුළ රඳවගන්න ලොකු උත්සාහයක් ගත්ත කෙනෙක් ගෝඨාභය මහත්මයා. ඒ වගේ තව සිද්ධි ගණනාවක් කියන්න පුළුවන්. පැහැදිලිවම රටේම ජනතාවගේ ඡන්දය පාවිච්චි කිරීම තුළ පෙන්නුම් කරන දෙයක් තමයි අලූත් ආණ්ඩුවක අවශ්‍යතාවය. මම ආණ්ඩු කරනකොට ආණ්ඩුව තුළ තිබුණු ගැටුම් කාටත් රහසක් නෙමේ. ඒක ප‍්‍රතිපත්තිමය ගැටුමක්. ඒ ප‍්‍රතිපත්තිමය ගැටුම්වල ප‍්‍රශ්න රාශියක් ඇති වුණා. මේ රටේ පාර්ලිමේන්තු බලයක් නැතුව, ජනාධිපති වුණ කෙනා මම. හැම ජනාධිපතිවරයකුටම තමන්ගේ ප‍්‍රතිපත්ති සහ තමන්ගේ දර්ශනය ක‍්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවක් තිබ්බා. ඒවගේම තමන්ගේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන්න, තමන්ගේ පක්ෂයෙන්, තමන්ගේ කැබිනට් මණ්ඩලයක් තියෙනවා.

මට පාර්ලිමේන්තුවත් නෑ. කැබිනට් මණ්ඩලයත් නෑ. මම ජනාධිපති වෙලා රනිල් වික‍්‍රමසිංහ මහත්මයා අගමැති කළාට පස්සේ, රනිල් වික‍්‍රමසිංහ මහත්මයා ඇත්තටම ජනාධිපතිවරයා කියලා වැඩ කරන්න පටන් ගත්තා. ඕක තමයි ඇත්ත කතාව. ඒත් එක්කම එතුමාගේ සහ මගේ ප‍්‍රතිපත්ති ගැටුම් රාශියක් ඇති වුණා. ඒවගේම මහබැංකු කොල්ලය වැනි බරපතළ දූෂණ වංචා, සිංගප්පූරු ගිවිසුම වැනි මම තහනම් කරපු ගිවිසුම්, ඇමරිකන් ගිවිසුම් තුනක් ආවා. මම ඒවා එකක්වත් අත්සන් කරන්න දුන්නේ නෑ.

පහුගිය අවුරුදු හතරේත් මට දැඩි ලෙස එන් ජී ඕ වලින් ගැහුවා. එතකොට මම ජනාධිපති කාලේ, මට වැඩිපුරම ප‍්‍රහාරය එල්ල කරපු සමාජ මාධ්‍ය ජාලාවල මට ගහපු කට්ටිය තමයි එන්ජී ඕ… එන්ජී ඕවල මෙහෙ තිබුණේ වලිගේ විතරයි, ඔලූව තිබුණේ මුහුදෙන් එතෙර. ඒ නිසා තමයි මම එන්ජී ඕවලට ගැහුවෙ. මම 2018 ඔක්තෝම්බර් 26 මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති විදිහට පත් කරා. දවස් පනස් දෙකක්, ඒ වෙච්ච අර්බුදය කාටත් මතකයි. අවසානයේ අධිකරණ තීන්දුව නිසා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අගමැති විදිහට පත් කරන්න සිද්ධ වුණා. රනිල් වික‍්‍රමසිංහ මහත්මයා සහ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ළඟින් තියාගෙන එදා මම පැයක දේශනයක් දුන්නා. ඒක ඓතිහාසික දේශනයක්. තමන්ගේ අගමැතිවරයාට සහ තමන්ගේ ඇමැති මණ්ඩලයට ඒ දුන්න දේශනයේ පැහැදිලිවම කිව්වා, තමුසෙල මේ බරපතළ වැරදි කරනවා. ඒ නිසා තමුන්ගේ අනාගතයේ බරපතළ තත්ත්වයක් ඇතිවෙයි කියලා. එදා මම කිව්ව දේට තමයි එජාපය මුහුණ පෑවේ.

ප‍්‍රශ්නය – හිටපු ජනාධිපතිතුමනි,

ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔබ සහයෝගය ලබා දුන්නා නම්, 2015 දී ඔබ විසින් පොළොන්නරුවේදී ලබා ගත්ත ඡන්ද සංඛ්‍යාව මෙදා ගෝඨාභය රාජපක්ෂ මහතාට පොළොන්නරුවෙන් ලැබුණේ නැත්තේ ඇයි…?

පිළිතුර – දේශපාලනිකව බලනවා නම් මෙය ජන සංයුතිය අනුව සිදුවෙච්ච දෙයක්…

මේ විග‍්‍රහ කරන අයට එක පැත්තකින් දේශපාලන අවබෝධයක් නැහැ. තව පැත්තකින් අවබෝධයක් තිබුණත්, මට ගහන්න ඕන නිසා ඇත්ත කතා කරන්නෑ.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඡන්ද අඩු වුණා කියන අය නිකන්වත් බැලූවද සිංහල, දෙමළ, මුස්ලිම් කොච්චර ජන කොට්ඨාසයක් මේ ආසනවල ඉන්නවද කියලා. මින්නේරිය, මැදිරිගිරිය, මෙච්චර ප‍්‍රමාණවලින් දිනුවා. පොළොන්නරුව දිනුවේ ගෝඨාභය මහත්තයා 7000 කින් කියලා, මට චෝදනා කරනවා. පොළොන්නරුවේ මුස්ලිම්, දෙමළ ඡන්ද 32000ක් තියෙනවා. ඒ අතරින් දෙමළ ඡන්ද 7000ක් කියනවා. 32000 න් 25000 ක් විතර ඡන්ද පාවිච්චි වෙනවා. මම ඡන්දය ඉල්ලපු වෙලාවේ මට මේ ඡන්ද ඔක්කොම හම්බ වුණා. ගෝඨාභය මහත්තයට ඒ අය ඡන්දෙ දුන්නෙ නැහැ.

මුළු රටම දන්නවා දෙමළ-මුස්ලිම් ඡන්ද ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ලැබුණේ නැහැ කියලා. පොළොන්නරුවේ වුණෙත් ඕකමයි. මං මේ චෝදනාව ප‍්‍රතික්ෂේප කරනවා. කුහක අමනෝඥ දේශපාලන අනවබෝධයෙන් කටයුතු කරන පිරිසක් කරන ප‍්‍රකාශයන් මේවා.

ප‍්‍රශ්නය – අප මේ සාකච්ඡාව සිදු කරන ඔබගේ නිල නිවස ඔබ විසින් බලෙන් පවරාගෙන තිබෙන බවට ප‍්‍රචාරයක් පැතිරෙනවා. රුපියල් කෝටි අටසියයක වටිනා ගෙයක් ඔබ වැනි සරල ජනාධිපති ලෙස හඳුනාගත් පුද්ගලයෙක් හිමිකර ගැනීමේ සදාචාරාත්මක භාවය හැමෝම පාහේ ප‍්‍රශ්න කරනවා.

පිළිතුර – මම දැක්කා පත්තරවල ඔය ගැන ලියලා තියෙනවා. මහා සුඛෝපභෝගී ගෙයක්, විශාල විශ‍්‍රාම වැටුපක් අරගෙන, දැන් මිනිහ හොඳට ජීවත් වෙන්න හදාගෙන තියෙනවයි කියලා. ජනාධිපතිවරයකුගේ නිල කාලයේ දී ලැබෙන වැටුප රුපියල් අනූ පන්දාහයි. ඒ අනූපන්දාහ තමයි විශ‍්‍රාම වැටුපක් විදිහටත් දෙන්නේ. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු පනතක් තියෙනවා, ඒ පනත 1986 අංක 04 දරණ ජනාධිපති හිමිකම් පනත. ජනාධිපතිවරයෙක් වැඩ කරන කාල සීමාවක් තුළ ජනාධිපතිවරයකුට තියෙන පහසුකම් සහ විශ‍්‍රාම ගිය පසු තිබෙන පහසුකම් පිළිබඳව සඳහන් වන්නේ ඒ ජනාධිපති හිමිකම් පනතේ. මට කලින් ජනාධිපතිවරු පස්දෙනෙක් හිටියා. ඒ පස් දෙනාටම ලැබිච්ච දේවල් ඇරෙන්න විශේෂ කිසි දෙයක් මට ලැබිලා නෑ. ඒ පස්දෙනාටම නිවාස ලැබිලා තියෙනවා. එතකොට මම මේ පදිංචි නිල නිවසේ ඉඩමේ වටිනාකම කොච්චරද. ගෙයි වටිනාකම කොච්චර ද කියලා මම දන්නෙ නෑ. මට ඒවා වැඩකුත් නෑ. ඒවා රජයේ දේපල.

ප‍්‍රශ්නය – ඔබ විසින් එක ළඟ තිබුණු නිවාස තුනක් එක් කර, නව නිවස සාදාගෙන තියෙන බවට ප‍්‍රචාරයක් පැතිරෙනවා

පිළිතුර – මේ නිවසට මම පදිංචියට ආවේ ජනාධිපතිවරයා වෙලා. සෞඛ්‍ය ඇමැතිකම් දරන කාලයේ මම හිටපු නිවස, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශ‍්‍රාම ගිය වෙලාවේ එතුමාට දීලා ආවා. කොටුවෙ මන්දිරයට යන්නෙ නෑ කියලා, ජනාධිපතිවරණය කාලයේම මම කිව්වා. ඒකේ තියන රාජ ඌෂ්ණය මට ගැළපෙන්නෙ නෑ. මම ගමෙන් ආපු සාමාන්‍ය මිනිහෙක් විදිහට, ඒක මට ගැලපෙන්නෙ නෑ කියලා, මම මැතිවරණ ව්‍යාපාරයේදී කිව්වා. ආරක්ෂක තත්ත්වය සහ ඉඩකඩ පිළිබඳ ප‍්‍රශ්නයේදී වෙන තැනක් හොයනකොට, මට මේ ගෙදර හම්බවුණා. මේක මම ඉල්ලගත්තෙ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමාගෙන්. මට කලින් මේ ගෙදර හිටියේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමා. ඒ කාලේ ජනමාධ්‍ය ඇමැතිතුමා විදිහට එතුමා ඉන්නකොට මේකෙ පුංචි
ශ‍්‍රවණාගාරයක් හදලා තිබුණා. විශේෂයෙන්ම මෙතන පරිසරයම ගත්තහම, හුඟක් ආරක්ෂාවට වැදගත් තැනක් මේක. නිදන කාමර තුනක් තියෙන ගෙයක්. ඒ තිබුණ ගේ, මම රෙපෙයාර් කරලා සුද්ද පවිත‍්‍ර කරලා ගත්තා. මට කලින් හිටපු ජනාධිපතිවරු පස් දෙනාටම ඒ වගේ නිවසක් ලැබිලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා, හේමා පේ‍්‍රමදාස මැතිනිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය, එයාලට නිල වශයෙන් නිවාස ලබා දීලා තියෙනවා. ඒ ඇරෙන්න මම කිසිම විශේෂ දෙයක් ගත්තේ නෑ. මේක රජයේ ඉඩමක්… සමහර මාධ්‍යවල තිබුණෙ මම මේක සින්නක්කර අරගෙන කියලා. සමහර මාධ්‍යවල කතා කරේ, සින්නක්කරව මම මේක අරගෙන, මගේ පරම්පරාවට මේක ලියා ගත්ත කියලා. මේක මට කලින් හිටපු ජනාධිපතිවරුන්ට වගේ, මටත් හම්බ වුණා. මේවා රජයේ දේවල්. ජනාධිපතිවරුන්ට වත්, අයිති දේවල් නෙමෙයි.

කවදා හරි මේ දේවල් ආපහු රජයට පැවරෙනවා.

ප‍්‍රශ්නය – ඔබට තියන තවත් චෝදනාවක් තමයි රෝයල් පාර්ක් නඩුවේ විත්තිකාර ජුඞ් නමැති සැකකරුට ජනාධිපති සමාව ලබා දීම පිළිබඳව. ඔබ විසින් රුපියල් මිලියන ගණනක් අරගෙන මෙසේ සමාව ලබා දුන් බවට චෝදනා එල්ල වෙනවා.

පිළිතුර – රෝයල් පාර්ක් නඩුවේ චෝදනාවට වැරදිකරු වෙලා හිටපු කෙනා නිදහස් කරපු එක්කෙනා ගැන තමයි මට මඩ ගහන්න පටන් ගත්තේ. එල්ටීටීඊ එකෙන් මාව මරන්න ඇවිත්, ජීවිතාන්තයට හිරේ ගියපු මිනිහා, මම නිදහස් කරා ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මම ජනාධිපති වෙලා කරපු පළවෙනි කාරණයක් තමා, මාව මරන්න ඇවිත් ජීවිතාන්තය දක්වා හිරේ හිටපු මිනිහා නිදහස් කෙරුව එක. මට පෙර හිටපු ජනාධිපතිවරු පස්දෙනෙක්, නිදහස් කරපු අයගේ ලේඛනය හොයලා බැලූවොත් ඔය රෝයල් පාර්ක් එක ගැන කවුරුත් මට කතා කරන එකක් නෑ. චෝදනා කරන එකක් නෑ.

මගේ නිල කාලය ගත්තහම හිරේ ඉන්න මිනිස්සු මම තරම් නිදහස් කරපු ජනාධිපති කෙනෙක් නෑ. මට දේශපාලන දර්ශනයක් වගේම මට මානුෂීය දර්ශනයක් තියෙනවා. මම මිනිස්සු ගැන බලන ක‍්‍රමයක් තියෙනව. ප‍්‍රධාන වශයෙන්ම අද දියුණු සංවර්ධන ලෝකේ කොහොමද හිරකාරයෝ ගැන මිනිස්සු බලන්නේ වෙනස් විදිහකට. වැලිකඩ හිරගෙදර බිත්තියෙ ලියල තියෙන්නෙ සිරකරුවෝ මනුෂ්‍යයෝය කියලා ඒකනෙ. මගේ නිල කාලය තුළ මම දෙදහකට වැඩිය හිරේ ඉන්න අයව නිදහස් කෙරුවා. කිසිම ජනාධිපති කෙනෙක් එච්චර නිදහස් කරලා නෑ. ජනාධිපති විදිහට, මම හිරගෙවල්වලට ගියා. ඒ මිනිස්සු අපරාධකාරයෝ බව ඇත්ත. හැබැයි ඒ ගොල්ලන්ගෙ ජීවිත ගත කරන හැටි මම දැක්කා. එතකොට ඒ තත්ත්වය දැකලා තමයි විශේෂයෙන්ම සාමාන්‍යයෙන් සුළු දඬුවම් තියෙන අය නිදහස් කළේ. මම කුඩුකාරයායෝ නිදහස් කෙරුවෙ නෑ, ස්ත‍්‍රී දූෂකයෝ නිදහස් කෙරුවෙ නෑ. ප‍්‍රතිපත්තියක් විදිහට මම මිනීමරුවො කියලා විශේෂයෙන් නිදහස් කෙරුවෙ නෑ. රෝයල් පාර්ක් ජූඞ්, මම නිදහස් කරනකොට මරණීය දණ්ඩනය තියෙන එක්කෙනෙක් නෙමෙයි… ඒක බොහොම පැහැදිලිවම තේරුම් ගන්න. එයාගේ මරණීය දණ්ඩනය ඉවත් කරලයි තිබ්බේ. මම නිදහස් කළේ හිරකාරයෙක් මිසක්, මරණය දණ්ඩනය නියම වෙච්ච කෙනෙක් නෙමෙයි. එයාගෙ මරණීය දණ්ඩනය ඉවත් කරලා තියෙන්නේ අධිකරණ අමාත්‍යාංශයේ නීති රීති යටතේ. මම එයාව නිදහස් කරනකොට, එයා හිරේ අවුරුදු පහළොවක් ඉඳලා තියෙනවා. එයා අවුරුදු දහයක් හිරගෙදර, ඉතාම යහපත් කල්ක‍්‍රියාවෙන් ඉඳලා තියෙනවා. ඒ උඩ අධිකරණ අමාත්‍යාංශය විසින් බන්ධනාගාර නීති රීති යටතේ, මරණීය දණ්ඩනයෙන් එයාව නිදහස් කරලා තියෙනවා. ඒවා මම නෙමේ කෙරුවෙ. රෝයල් පාර්ක් සිද්ධිය ගැන විශේෂයෙන් හොයා බලන්න මට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. අතුරලියේ රතන හාමුදුරුවෝ තමයි මේ ඉල්ලීමක් කළේ. රතන හාමුදුරුවෝ ඔය නිදහස් කරපු ජූඞ්ගේ අම්මා, තාත්තා, දුව සමග මගේ ගෙදරට ආවා. ”මේ ළමයා හිරගෙදර බොහොම විනයක් ඇතුව, බොහොම ශීලාචාරව ජීවත්වන කෙනෙක්…, දැන් අවුරුදු පහළොවක් හිරේ ඉඳලා තියෙනවා… මෙයා හිරේ ඉඳලා බාහිර උපාධිය සමත් වෙලා තියනවා. බාහිර උපාධිය සමත් වෙලා ආචාර්ය උපාධියටත් රෙජිස්ටර් වෙලා පාඩම් කරනවා. අනේ ඔහුව නිදහස් කරන්න…” කියලා රතන හාමුදුරුවෝ මට කිව්වා. බද්දේගම සමිත හාමුදුරුවෝ, ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ‍්‍රාමික විනිශ්චයකාරවරයෙක්, කතෝලික පියතුමාලා, ඊළඟට විවිධ සංවිධාන මෙහෙම රාශියකින් මට ඔහු නිදහස් කරන්න කියලා ඉල්ලීම් ආවා. රතන හාමුදුරුවොත් අත්සන් කරලා මට ලිපියක් ගෙනත් දුන්නා. මෙහෙම ඉල්ලීම් කරන කොට, ඇත්තටම අවංකවම මම මේ ගැන කල්පනා කෙරුවා. ඔහු මරණීය දණ්ඩනයෙන් නිදහස දීපු කෙනෙක්. මෙයා බාහිර උපාධි සමත්වෙලා තියෙනවා. ආචාර්ය උපාධියට පාඩම් කරනවා. ඒක නිසා මෙයාගේ අරමුණු යහපත් අරමුණ කියලා මට පෙනී ගියා.

ඇත්තටම දැන් ඔය විවේචන කරන්නේ ඒ කියන්නේ ඔහු නිදහස් කරපු එකනේ, මම ජනාධිපති වශයෙන් ඉන්න කාලේ හිරගෙදර තවත් හිරකාරයෝ හිටියනං යහපත් කල් ක‍්‍රියාවෙන් කටයුතු කරන, හිර ගෙදර ඉඳන් උපාධිය සමත් වෙච්ච අය, මං නිදහස් කරනවා.

මිනිහෙක් හිරේ දාන්න ප‍්‍රධාන වශයෙන් කරුණු දෙකක් තියෙනවා, ඒ එකක් තමයි එක දිගට අපරාධ කරන කෙනෙක් නම්, නිතර නිතර දඬුවම් දුන්නත් දිගටම අපරාධ කරනවා නම්, ඔහුව ඇතුළට දාලා වහලා තියෙන එක සමාජයට කරන යහපතක්. ඊළඟට දෙවැනි කාරණය තමයි යම් කිසි වැරැද්දක් කරපු කෙනෙක් හිරේ දාපුවාම ඔහු හිරගෙදර ඇතුළේ ඉන්න කාලය තුළ ඔහු යහපත් කල්ක‍්‍රියාවෙන් ඉන්න තත්ත්වය තුළ ඔහු හැදෙයි කියන විශ්වාසය මත.

රතන හාමුදුරුවන්ගෙන් ආපු දැඩි ඉල්ලීම සමග විශාල පිරිසකගේ ඉල්ලීම් ද මේ ගැන මට ආවා.

ඒ කාලේ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, හිටපු බන්ධනාගාර කොමසාරිස්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු, අපරාධ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරු, මෙන්න මේ වගේ පැනල් එකක්, නිර්දේශ කරලා තිබුණා, මෙයාගේ යහපත් කල්කිරියාව නිසා මෙයාට සමාවත් දීම සුදුසුයි කියලා. ඔය ලිපි ටික ඔක්කොම මා ගාව තියෙනවා. මට සල්ලි හම්බ කරන්න ඕන නම්, ඔය මනුස්සයෙක් නිදහස් කරලා සල්ලි ගන්න ඕනේ නෑනේ… මම සල්ලි පස්සෙ ගියපු මිනිහෙක් නෙවෙයි. හිරකාරයෝ නිදහස් කරල මට රත්තරන්, මුතු, මැණික් ගන්න උවමනාවක් නැහැ. ඇත්තටම මම ඔහු විතරක් නෙමෙයි විශාල පිරිසක් නිදහස් කරලා තියෙනවා. මට මෙයාව නිදහස් කරන්න උවමනාවකුත් නෑ. රතන හාමුදුරුවෝ ඇතුළු විශාල පිරිසකගෙන් ආපු බලපෑම සහ හිරගෙදර ඉඳලා උපාධියක් ගත්ත නිසා තමයි, මම මේ ගැන හිතුවේ. මෙයා නිදහස් වෙලා සමාජයට ආවට පස්සෙ හොඳ කල්කිරියාවකින් ඉඳියි කියලා මට හිතුනා.

මේ තර්කය දාන අය ඇයි විරුද්ධ වුණේ, මම මත්කුඩු මැඬලන්න හදනකොට. මත්කුඩුවලට බරපතළ අපරාධ කරන මිනිස්සුන්ට මරණ දණ්ඩනය නියම කරනකොට. ඒ මිනිස්සු හිරේ ඇතුලේ ඉඳගෙනත් ඒ අපරාධම කරනවා. එතකොට මම ඒ මිනිසුන් එල්ලන්න හදනකොට මට විරුද්ධව කතා කරන අය, උසාවි ගියා. හිරේ ඉන්න කෙනෙක් සාධාරණ හේතු මත නිදහස් කරහම ඒ අය ඒකත් විවේචනය කරනවා.

ප‍්‍රශ්නය – මනම්පිටියේ වැලි සඳහාත් ඔබගේ නම කියවෙනවා. ඔබගේ අනුග‍්‍රහය ලබන වැලි මාෆියාවක් පොළොන්නරුවේ තිබෙන බවට සමහරු චෝදනා කරනවා.

පිළිතුර – වැලි කර්මාන්තය කියන්නේ අන්ත දූෂිත කර්මාන්තයක්. පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ ඔය කණ්ඩායමක් එළියට බැහැලා උද්ඝෝෂණ කරනවා. මේ කණ්ඩායම තමයි ඔය ජාවාරමේ ඉන්නේ. ඔය කණ්ඩායම තමයි ළඟදි බෝඞ් උස්සගෙන කෑ ගැහැව්වේ. ඔය කණ්ඩායමට වැරදි කරන්න මම ඉඩ දුන්නේ නැහැ. ඒ කට්ටිය තමයි අද පාරට බැහැලා ඉන්නේ. මගේ ධුර කාලයෙන් පස්සේ මේ කණ්ඩායම එළියට ආවා. 2015 මම ජයග‍්‍රහණය කරල මුලින්ම කරපු දේ තමයි, මනම්පිටියේ වැලි ගොඩදාන එක නවත්තපු එක. පුද්ගලික අයට වැලි බලපත‍්‍ර දීලා ගඟ විනාසයි. පරිසරය විනාශයි. හැමදේම විනාශ වුණා. පුද්ගලික අංශයට වැලි බලපත‍්‍ර දෙන එක තහනම් කළේ මම. හයෙන් පස්සේ වැලි ප‍්‍රවාහනය තහනම් කළේ මම.

මගේ ධුර කාලය තුළදී ඔය වැලි ජාවාරම්කාරයන්ට මම කිසිම ඉඩක් දුන්නේ නෑ. ඒ කණ්ඩායම අද එළියට බැහැලා ඉල්ලන්නේ, මම දෙන්න බැහැ කියපු දේ. මගේ ධුර කාලේ ඉවර වුණ ගමන්ම ඒගොල්ලන් ජාවාරම් කරන්න අයිතිය ඉල්ලනවා. ඒ අය තමයි ඔය පාරවල්වල බෝඞ් උස්සන් කෑගැහුවේ.

පෞද්ගලික අංශය වැලි ගොඩ දාන එක නවත්තලා, භූ විද්‍යා හා පතල් කාර්යංශයට මම භාරදුන්නා. ඊට පස්සේ රජයෙන් තමයි ඒ කාර්යය කළේ. වැලි සහ පස් කියන්නේ පාතාලයේ ජාවාරමක්. මේ ආණ්ඩුවේ වැලි, ගල්, පස් ප‍්‍රවාහන බලපත‍්‍රය අහෝසි කරපු එකෙන් බලාපොරොත්තු වුණේ සංවර්ධනයට වැලි, ගල්, පස් සුලබ කරන එක. අනිත් කාරණය තමයි මිල පහළට ගෙන ඒම. මම හොයල බැලූවා එහෙම කොහේවත් මිල අඩුවෙලා නෑ. ඒකට හේතුව මේක පිටිපස්සේ ඉන්නේ ජාවාරම්කාරයෝ.

මේ ජාවාරම්කාරයෝ ගඟ විනාස කරනවා, වැව විනාශ කරනවා, ඉවුරු විනාශ කරනවා, සම්පූර්ණ පරිසරයම විනාශ කරනවා. මම තමයි මනම්පිටියේ ඔය ජාවාරම නැවැත්තුවේ.

වැලි, ගල්, පස් මාෆියාව ගැන ද, රෝයල් පාක් සිද්ධිය ගැන ද, මගේ නිල නිවස ගැන ද, ඕනම දේකට මහා සභාවක සංවාද කරන්න මම ලෑස්තියි. පොළොන්නරුවේ ඡන්ද අඩු වුණ හේතුවද, ඕන එකකට මම සූදානම්.

ප‍්‍රශ්නය – මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම ලබාදීමට පෙර සජිත් පේ‍්‍රමදාස මහතාට අගමැතිකම ලබාදීම සඳහා ඔබ ආරාධනා කර තිබුණා. ඒ සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණා. සජිත් මහත්තයාගේ පරාජය පිළිබඳව ඔබට විග‍්‍රහයක් තියෙනවද?

පිළිතුර – පසුගිය ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් කොච්චර හොඳ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරත් ඔහු පරදිනවා. ඒක තමයි ඇත්ත.

ඒක අපේක්ෂකයාගේ වැරැද්දක් නෙවෙයි. අවුරුදු හතරහමාරක, අන්ත දූෂිත ආණ්ඩුවට ජනතාව දුන්න උත්තරයක්.

මමත් ඔය ආණ්ඩුවේ හිටපු කෙනෙක් කියලා කෙනකුට කියන්න පුළුවන්. මම ඒ ආණ්ඩුවේ ගහ ගත්ත මිනිහෙක්. මම ආණ්ඩුව ඇතුළේ ගහ ගත්තෙ අතින් පයින් නෙවෙයි. හොරකමට, දූෂණයට, වංචාවට, ජාත්‍යන්තර පාවාදීම්වලට, හාමුදුරුවරු අත්අඩංගුවට ගැනීමට, රණවිරුවන් හිරේ දැමීමට, පෙරහැරට අලි නොදෙන එකට, මේවා එක්ක මම දිගටම සටන් කරා.

ඔබ අහපු ප‍්‍රශ්නයට සරල උත්තරයක් දෙනව නම්, පසුගිය ජනාධිපතිවරණය එක්සත් ජාතික පක්ෂයෙන් කවුරු ආවත් පරාජය වෙනවා.

දැන් බලන්න මහබැංකු කොල්ලය, මං ඒකට මැදිහත් වෙලා කොමිසමක් දැම්මා. ඔය කොමිසමේ වැඩ කරපු පොලිස් නිලධාරින්ට විරුද්ධව පරීක්ෂණ කරන්න, අගමැතිතුමා තීරණය කළා. ඕක තමයි ඇත්ත තත්ත්වය. ඒ නිලධාරීන්ට පුළුවන් තරම් බලපෑම් කරා. ඉතින් ජනතාව මේ වගේ ආණ්ඩුවක් තියාගනියිද?

ප‍්‍රශ්නය – ඔබට තියෙන තවත් චෝදනාවක් තමයි ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පිළිබඳව කතාවක් ගෙතීම. ඇත්තටම ඔබගේ කාලේ පරීක්ෂණ කරලා මේක ඉවර කරන්නට තිබ්බා නේද? එක්සත් ජාතික පක්ෂය කියනවා අනුකම්පාව ගන්න ඔබ විසින් මේ කතාව ගෙතුවා කියලා?

පිළිතුර – මේ සිද්ධිය පිළිබඳව කතා කරනවා නම්, කියන්න පුළුවන් ඒව තියෙනවා, බැරි දේවල් ගොඩක් තියෙනවා. මම පොලිසිය අතට අරං අවුරුද්දක්වත් පොලිසිය පාලනය කරේ නෑ. 2018 නොවැම්බර් මාසයේ තමයි මං පොලිසිය අතට ගත්තේ. අවුරුදු හතරක් විතර පොලිසිය පාලනය කළේ, රනිල් වික‍්‍රමසිංහ මහත්තයා යටතේ. ඒ නිසා මේ ගැන සම්පූර්ණ පරීක්ෂණයක් කරන්න වෙලාවක් ලැබුණේ නැහැ.

ප‍්‍රශ්නය – ඇත්තටම ඔබව ඝාතනය කරන්න පිරිසක් හිටියද?

විශ‍්‍රාමික ජනාධිපතිවරයා විදිහට මට අද ආරක්ෂාව දීලා තියෙනවා. 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය වුණාට පස්සෙත් එතුමාට හොඳ ආරක්ෂාවක් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මහතාටත් හොඳ ආරක්ෂාවක් දුන්නා. ඒ එල්ටීටීඊ යුද්ධය පරාජය කරපු නිසා. අද මට මෙච්චර ආරක්ෂාවක් දීලා තියෙන ඒකට, හේතුවක් තියෙනවා.

අවස්ථා කීපයකදී මාව ඝාතනය කරන්න සැලසුම් කරලා තියෙනවා. මං මෙතන සමහර අයගෙ නම් කියන්න කැමති නැහැ. ඔය පරීක්ෂණවලට හසු නොවුණු, ඉහළ නිලධාරීන් මේ කුමන්ත‍්‍රණය පිටිපස්සේ හිටියා. ඒක තහවුරු වෙලා තියෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට විරුද්ධව මම පුළුල් වැඩපිළිවෙළක් දියත් කළා. ඒ වගේ පුළුල් වැඩපිළිවෙළක් කිසිදු ජනාධිපතිවරයෙක් සිදු කළේ නැහැ.

ලෝකයේ කිසිදු ජනාධිපතිවරයෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එක්ක හැප්පෙන්න, මේවා මැඬලන්න උනන්දු වෙන්නෑ. ඒකට හේතුව ඒ නායකයන්ව මරලා දානවා. නැත්තං ආණ්ඩු පෙරළනවා. බලන්න මෙක්සිකෝවේ කොච්චර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ආණ්ඩුවලට, පාලනයට, අභියෝග කරනවද…? ඒ රටේ ආණ්ඩුව පෙරළනවා. නායකයෝ තමන්ට ඕන විදිහට පත්කරනවා. තමන්ට විරුද්ධව යනව නම් බලෙන් පහ කරනවා.

බ‍්‍රසීලයේත් මුහුණට මුහුණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එක්ක ආණ්ඩුවට සටන් කරන්න බෑ. හැබැයි මම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට මරණ දඬුවම දෙන්න තීරණය කළා. මරණ දඬුවමට මම අත්සන් කළා. ඒක හැමෝම දන්නවා. කොහොම හරි මේ මිනිහට මොනවා හරි කරන්න ඕනේ කියලා, හිරගෙදර ඇතුළේ සාකච්ඡා කරලා තියෙනවා… ඒක මට බුද්ධි අංශ වාර්තා කරා.

මාව ඝාතනය කරන්න ලංකාවේ විවිධ කණ්ඩායම් රාශියක් හිටියා.

ප‍්‍රශ්නය – ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය ළඟදීම පැමිණීමට නියමිතයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔබගේ ස්ථාවරත්වය කුමක්ද…?

පිළිතුර – ස්ථිර වශයෙන්ම පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් මම මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒක තමයි මගේ බලාපොරොත්තුව.

ප‍්‍රශ්නය – ඒ කියන්නේ ඔබ විශ‍්‍රාම යන්නේ නැහැ?

පිළිතුර -මොකක්ද ඒකෙ තේරුම? හිටපු ජනාධිපතිවරයා ආපහු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වෙන එක හොඳද?

(සිනාසෙමින්)

ඕකෙ පූර්වාදර්ශය දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයානේ.

මහින්ද රාජපක්ෂ මහත්තයා නම් ඡන්දෙ පරාජය වෙලා පාර්ලිමේන්තුවට ගියා. මම ඡන්දෙ පරාද වෙච්ච කෙනෙක් නෙමෙයිනේ.

අනිත් එක මම දේශපාලන වශයෙන් සංවේදී සජීවී පුද්ගලයෙක්.

උදාහරණයකට, දොස්තර මහත්තයෙක් හැටෙන් විශ‍්‍රාම ගියාට එයා බෙහෙත් දෙනවා. එක නවත්වන්නෑ. ඉංජිනේරුවෙකුත් එහෙමයි. මිනින්දෝරුවෙකුත් එහෙමයි. ගුරුවරයත් එහෙමයි. ඉතින් ඇයි දේශපාලනඥයාට ඒක කරන්න බැරි?

කුහක හිතින් හිතන්නැතුව බලනවනං, ඕන කෙනෙකුට තේරෙනවා, මං මඩ නොගා ගත්ත මිනිහෙක් කියලා. මම හැමවෙලේම රටට යහපත් දේ කරන්න සහ කරපු කෙනෙක්… මගේ දේශපාලන ජීවිතය පිරිසිදුයි. මනුස්සයෙක් උනහම තමන් ජීවත්වෙලා ඉන්න කාලෙදී රටට ලෝකෙට මොනවා හරි කරන්න ඕනේ. මගෙන් කවදාවත් රටට නරකක් සිද්ධවෙලා නෑ. ඒ නිසා මං ඒ දේ රට වෙනුවෙන් කරනවා.

මම මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ගෝඨාභය මහත්තයට ශක්තිමත් ආණ්ඩුවක් දෙන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයේදී කටයුතු කරනවා.

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර