ක්‍රීඩාවත් අධ්‍යාපනයත් සමබරව පවත්වාගෙන යා හැකි බවට උසස්පෙළ ප්‍රථිපලවලින් රටටම පෙන්වූ ආදර්ශමත් පාසලක් (VIDEO)

මෙවර උසස් පෙල විභාගයේ ප්‍රථිපල වලින් අනතුරුව විවිධ පුවත් අසන්නට ලැබෙනවා.

එම පුවත් අතර ක්‍රීඩාව සහ අධ්‍යාපනය සමබරව සහ නිවැරදිව සිදු කරගැනීමට දරුවන්ට උනන්දුවක් ඇති වන අපූරු පුවතක් මහනුවරින් අසන්නට ලැබෙනවා.

ඒ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලෙන්.

මෙවර ශාන්ත අන්තෝනි විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කලේ තීක්ෂ ගුණසිංහයි.ඔහු ලකුණු 1000 සීමාවද පසු කල අතර 2019 වසරේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබූවා.

මෙවර වාණිජ විෂය ධාරාවෙන් ඉගෙනුම ලැබූ ඔහු A සමාර්ථ තුනක් ලබා ගෙන විභාගය ඉහළින්ම සමත් වන්නේ දිස්ත්‍රික්කයේ 46 වෙනියා බවට පත් වෙමින්.

එමෙන්ම ශාන්ත අන්තෝනි විදුහලේ රග්බි කණ්ඩායමේ නායකත්වය උසුලන මොහොමඩ් මකාරීම් ද සිය පාසල් කාලයේ වැඩි ප්‍රමාණයක් කැප කලේ ක්‍රීඩාව වෙනුවෙන්.

වරෙක අවුරුදු 12න් පහල සමස්ත ලංකා හොඳම පාසල් රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පවා පිදුම් ලැබූ ඔහුද මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නේ වාණිජ අංශයෙන්.

ඔහුද මෙවර A සාමාර්ථ තුනක් ලබාගෙන ඉහළින්ම විභාගය සමත් වන අතර ඔහුගේ දිස්ත්‍රික්ක කුසලතාවය 48 වනවා.

මොවුන් දෙදෙනාම ක්‍රීඩාව සහ අධ්‍යාපනය සමබරව පවත්වාගෙන යා හැකි බවට කදිම නිදසුන් වන අතර ක්‍රීඩාව නිසා අධ්‍යාපන කටයුතු මඟ හැරෙන බවට වූ මතයට ඔවුන් නිසි පිළිතුරු සපයා තිබෙනවා.

මහනුවර ප්‍රදේශයෙ විනය සහ ක්‍රීඩාව අතින් ඉහළම ස්ථානයක පසුවන පාසල ලෙස ශාන්ත අන්තෝනි විදුහල ප්‍රකට අතර ලොව ප්‍රකට මුත්තයියා මුරලිදරන්ද මෙම පාසලෙන් බිහි වූ ක්‍රීඩකයෙකු වනවා.