විරල ඝනයේ සූර්යග්‍රහණය දිස්වීම ඇරඹේ ! නැරඹීමට පෙර මේ උපදෙස් පිලිපදින්න

ඉතාමත් විරල ඝණයේ වලයාකාර සූර්යග්‍රහණයක් අද (26) ශ්‍රී ලංකාවාසීන්ට දැක බලා ගැනීමට අවස්ථාව උදාවන බව, මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

අද උදෑසන 8.09 සිට 11.34 දක්වා කාල සීමාව තුළ සූර්යග්‍රහණය නැරඹිය හැකියි.

සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට ඇතුළු වන්නේ යාපනයේ ඩෙල්ෆ් දූපත දිශාවෙනි. ඉන් අනතුරුව මඩකලපුව වාකරේ ප්‍රදේශයෙන් එය ඉවත්ව යනු ඇති. මන්නාරම සහ වාකරේ නගරය යා කෙරෙන රේඛාවෙන් උතුරු ප්‍රදේශයට මෙය වළයාකාර සූර්යග්‍රහණයක් ලෙසත් දකුණු ප්‍රදේශයට අර්ධ සූර්යග්‍රහණයක් ලෙසත් දිස්වනු ඇති.


සූර්යග්‍රහණ මධ්‍ය රේඛාව ශ්‍රී ලංකාවේ යාපනය නගරයට පහළින් වැටී තිබෙනවා.
කිළිනොච්චිය ප්‍රදේශයට සූර්යග්‍රහණයේ වළයාකාර බවේ උපරිම අවස්ථාව දැක ගත හැකිය.
පූර්ණ ආරම්භය සිදුවන්නේ උදේ 09.37ට වන අතර එම කාලය විනාඩි 3යි තප්පර දහසයක් පමණ වන බවයි වාර්තා වෙන්නේ.

මීට පෙර වළයාකාර සූර්යග්‍රහණයක් ලක්වාසීන්ට දැකගැනීමට හැකි වූයේ 2010 වසරේ ජනවාරි 15 වැනිදායි. අද ඇති වන සූර්යග්‍රහණයෙන් පසු නැවත වළයාකාර සූර්යග්‍රහණයක් ඇති වන්නේ 2031 මැයි 21 වැනිදා බවයි ආතර් සී. ක්ලාක් ආයතනය සඳහන් කරන්නේ.

වළයාකාර සූර්යග්‍රහණයකදී සිදුවන්නේ සූර්යය
චන්ද්‍රයාගෙන් ආවරණය වී වලල්ලක් ආකාරයට දිස්වීමයි.

මෙම සූර්යග්‍රහණය කිසිදු විටෙක පියවි ඇසින් හෝ අව් කණ්ණාඩි භාවිතයෙන් නිරීක්ෂණය නොකළයුතු බව ආතර් සී. ක්ලාක් ආයතනය පවසනවා. ඒ අනුව වතුර බේසමක් තුළින් නැරඹීම හෝ සූර්යග්‍රහණයක් නැරඹීම සඳහා සුදුසු කණ්ණාඩියක් පැළදීමෙන් හෝ වෙල්ඩින් ග්ලාස් එකක 14හෝ 14ට වැඩි නොම්බරයක් ඇති ග්ලාස් එකක් හරහා නැරඹීම වඩාත් ආරක්ෂාකාරී වනවා.

මෙය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමෙන් අහිතකර කිරණ ඇසට ඇතුළුවිය හැකි බවයි අනතුරු අඟවා සිටියේ.

Neth News