එළවළු හිඟය නිසා 8000 කගේ රැකියා අවධානමේ

එළවළු හිඟය නිසා රට පුරා පවත්වාගෙන යන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල තොග
වෙ​ළෙඳුන් ඇතුළු අට දහසකගේ පමණ රැකියා අහිමි වී යාමේ අවධානමට මුහුණපා සිටින බව

දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙ​ළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක පවසයි.

දඹුල්ල, මීගොඩ, වේයන්ගොඩ, කටුගස්තොට, නුවරඑළිය, මැනිං, වැලිසර, තඹුත්තේගම, කැප්පෙටිපොළ, නාරාහේන්පිට, ඇඹිලිපිටිය ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩල මෙසේ රැකියා අහිමිව යාමේ අවදානමට මුහුණපා සිටිති. තොග වෙළෙඳුන්, කම්කරුවන්, ලොරි රථ හිමියන්, රියැදුරන්, අතරමැදි වෙළෙඳුන් සහ ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව එදිනෙදා රැකියාවල නියුතු වූවන් මෙම ගැටලුවට මුහුණපා සිටිති.

එළවළු තොග සැපයුම සියයට 90ක් පහළ ගොස් තිබෙන බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙ​ළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක පෙරේදා (23 වැනිදා) ‘අරුණ’ට පැවසීය. එළවළු තොග මිලදී ගන්නා වෙ​ළෙඳුන් නො පැමිණීමෙන් එළවළු මිල සියයට 50න් පහළ ගිය බව ඔහු පැවසීය.

පෙරේදා දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ හයක් පමණ ලැබුණ බව පැවසීය. වට්ටක්කා කිලෝ ලක්ෂ දෙකක් පෙරේදා වෙළෙඳපොළට ලැබුණ බවද පැවැසීය. පවතින එළවළු හිඟය මාස එකහමාරකින් පමණ අවසන් වනු ඇති බවත් වැසි පහව ගිය පසුව සිදුවන එළවළු අස්වනු ලැබෙන තෙක් හිඟ පවතිනු ඇති බව හෙතෙම පැවසීය

සුනිල් රූපසිංහ – පල්ලේපොළ