පාර්ලිමේන්තුව 03 වෙනිදා රැස්වේ..සජිත් විපක්ෂ නායක ලෙස එදිනම පත්වේ

ජනවාරි මස 03 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසුව එදිනම යළිත් පස්වරු 1.00ට සභාව කැඳවීමට පක්ෂ නායකයින් එකඟවී තිබෙනවා.

අද (23) පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

තමන්ට හිමි බලතල අනුව එදින පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාසව නම් කිරීමටද නියමිත බව කථානායකවරයා අද දිනයේ දී පැවති පක්ෂ නායක රැස්වීමේදී සඳහන් කර සිටියා.

මේ අතර අද දින පක්ෂ නායක රැස්වීමේ දී අවධානයට ලක් වූ තවත් සුවිශේෂී කරුණක් වුයේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේ සිදුවීමයි.

එය මෙතෙක් අනුගමනය කළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝණය කිරීමක් බව පොදුවේ පක්ෂනායක රැස්වීමේ පක්ෂ විපක්ෂ සියළු නියෝජිතයන්ගේ මතය විය. මේ පිළිබදව පොලිස්පතිවරයා ඇතුළු අදාල නිළධාරීන් කථානායකවරයා වෙත කැදවා දැනුවත් කිරීමට පියවර ගැනීමට තීරණය විය.

එම අත්අඩංගුවට ගැනීමේ දී සිදුව ඇති ක්‍රියාවලිය පිළිබදව පොලිස් කොමිසන් සභාවේ අවධානය යොමු කිරීමට ද පක්ෂ නායකරැස්වීමේ දී තීරණය කරන ලදී.