තවමත් නැගිට ගන්නවත් බැරි සන්දීප්ට එරෙහිව ජාතික හෙළ උරුමයෙන් පැමිණිල්ලක්

පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අනතුරට ලක්වූ සන්දීප් සම්පත් තරුණයාට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි.

ඒ සාමාන්‍ය මාර්ගයක ධාවනය කිරීමට අවසර නොමැති යතුරු පැදියක් ධාවනය කිරීම, රාජ්‍ය දේපළ වලට හානි සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් මුල් කරගනිමින්.

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදි සංදීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඉකුත් 18 වනදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනුලැබූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව දෙසැම්බර් 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි.

එවැනි පසුබිමක අනතුරට ලක්වූ සන්දීප් සම්පත් තරුණයා සම්බන්ධයෙන්ද වහා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ජාතික හෙළ උරුමයේ කඩුවෙල නාගරික මන්ත්‍රී බෝසෙත් කළහේපතිරණ මහතා අද පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මේ අතර අදාළ අනතුර සම්බන්ධයෙන් වාහනයේ රියදුරු ලෙස ඉදිරිපත් වූ තුසිතකුමාර නැමැත්තාගේ බිරිඳ ,බිරිඳගේ මව සහ දියණිය කොළඹ අපරාධ කොට්ඨාසයේ උපදෙස් මත ඉකුත් 15 වනදා බලහත්කාරයෙන් කොළඹට රැගෙන ඒමට කටයුතු කිරීම තුළින් ළමා හා කාන්තා හිංසනයක් සිදුව ඇතැයි පවසමින් නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අද මිරිහාන පොලීසියට පැමිණිලි කළේය.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අසනීප බව පවසමින් බන්ධනාගාර රෝහලට ඇතුළත් වීමේ සූදානමක් පවතින බවයි.

අද දෙරණ