අහිංසක තරුණයෙක් බිල්ලට ගත් හාමුදුරුවන්ගේ රථ ගාය

වැද්දාගල ගම හරි ලස්සන ගමකි. සිංහරාජ වනාන්තරයේ සිට වරින්වර ගමට පියඹා එන කුරුල්ලන්ගේ කිචි බිචි නාදය හරියට ඇසෙන්නේ මිහිරි සංගීත රාවයක් ලෙසිනි. එවන් ගමක ඉපදෙන්නට පින් කළ යුතු බව මට සිතේ.

මෙවන් සුන්දර ගමක ඉපදෙන්නට පින් කළ මධුෂ ලක්‍ෂාන් නමැති දහනව හැවිරිදි තරුණයා තුළ තිබූ මිනිස්කම, මිත්‍රශීලී බව හා හික්මීම තුළින් පවා ඉඟි කළේ සුන්දර ගමක හැදුණු වැඩුණු අයකුට එවන් පරිසරයකින් ලැබෙන සන්සුන් බවය.

මධුෂාන් නමැති මේ තරුණයා උපන්නේ 2000 ඔක්තෝබර් 26 වැනිදාය. ඔහුගේ මව අචලා චාන්දනී ආරියරත්න (52), ලක්‍ෂාන්ගේ පියා එම්.ආර්. ආරිසේනය. ලක්‍ෂාන්ට සිටියේ එකම සොයුරෙක් පමණි. ඔහු පවුලේ වැඩිමලාය. විවාහ වී සිටින සොයුරාට ස්ථිර රැකියාවක් නැත.

ලක්‍ෂාන්ගේ මව වන චාන්දනී පාසල් ගුරු මාතාවකි. ඇය මේ වන විට සේවය කරන්නේ උතුරු වැද්දාගල විදුහලේය. දසදහස් ගණන් දරුවන්ගේ නුවණැස පාදාදෙන ඒ ගුරු මාතාවට කොයි කවුරුත් ගරු බුහුමන් දක්වන්නේ ඇයගේ ගරු කටයුතු සේවය අගයමිනි.

ලක්‍ෂාන්ගේ පියා මීට කලකට පෙර හදිසි අනතුරකට ලක්ව තුවාල ලැබූ අතර එම අනතුරෙන් ඔහුට පාදයක් අහිමිවී ගියේ දෛවයේ පළමු සරදම එය යැයි කියමිනි. නමුත් දිරිය ගුරු මාතාව සිතට ධෛර්යය ගෙන දරු දෙදෙනාට අඩුවක් නොවන පරිදි සියලු දේ සරි කර දෙන්නට සමත් වූවාය.

ලක්‍ෂාන් ඉගෙනුම ලැබුවේ කලවාන ජාතික පාසලේය. ලක්‍ෂාන්ගේ කලණ මිතුරා වූයේ ප්‍රසාද් ප්‍රියදර්ශනය. දෙදෙනාම එකම වයසේ පසුවිය. ප්‍රසාද් ඉගෙනුම ලැබුවේ ගාමිණී මධ්‍ය විද්‍යාලයේ වුවත් දෙදෙනාම එකම ගමේ එක ළඟ පිහිටි නිවාස දෙකක ජීවත් වූ නිසා මිතුරුදමට එය හරස් නොවීය.

“අපි ක්‍රිකට් ටූනමන්ට් එකක් කරමු’ ගමේ තරුණ පිරිස එක්ව ඒ තීරණය ගත්තේ මීට දින කිහිපයකට පෙරාතුවය.

අ.පො.ස. උසස් පෙළ විභාගය ලියූ පසු ප්‍රතිඵල එනතෙක් බලා සිටින ලක්‍ෂාන් ඇතුළු පිරිස ක්‍රිකට් තරගාවලියට දින පවා නියම කරගෙන තිබිණි.

දිනය ඉකුත් 13 වැනිදාය. එදින සඳුදා දිනකි. දහවල් වන විට ලක්‍ෂාන් සිය කලණ මිතුරා වූ ප්‍රසාද් සමඟ යතුරුපැදියට ගොඩවූයේ ක්‍රිකට් තරගාවලියට අදාළ කුසලානයක් සඳහා අනුග්‍රාහකයෙක් සොයාගනු පිණිසය.

යතුරුපැදිය වැද්දාගල පිරිවෙන පාර ඔස්සේ ගමන් ආරම්භ කළේය. යතුරුපැදියේ පිටුපස වාඩිවූයේ ප්‍රසාද්ය. යතුරුපැදිය සෙමෙන් සෙමෙන් පිරිවෙන පාර දිගේ ඉදිරියට ගියේ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නිවිතිගල පිහිටි නිවෙස සොයා ගෙනය.

රත්නපුර පාරේ දෙකඩකඩේ ප්‍රදේශයට දෙදෙනා යතුරුපැදියේ නැඟී පැමිණෙමින් සිටිද්දී ලක්‍ෂාන්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබිණි.

යතුරුපැදියේ සැර බාල විය. පාර අයිනේ යතුරුපැදිය නැවතූ පසු මිතුරාද එයින් බැස පාර අයිනට ගියේය.

මේ වන විට දහවල් 12.45 පසුවී යමින් තිබිණි. මාරයාගේ හෝරාව එය බව ලක්‍ෂාන්ට හෝ මිතුරාට දැනුණේ නැත. මාරයා මොවුන් සොයාගෙන ආවේ කැබ් රථයේ නැඟීගෙනය. ඒ වන විට කැබ් රථයේ රියැදුරු අසුනේ වැඩ සිටියේ කහ සිවුරකින් සැරසී සිටි හිමිනමකි.

ශ්‍රී ලංකාව වූ කලී බෞද්ධ රටකි. මෙකී බෞද්ධ රට බෞද්ධ රටක් නොවේ යැයි ඇතැමුන් තර්ක කළ සමයක්ද තිබිණි. ඒ තර්ක විතර්ක මොක වුවත් භික්‍ෂුන්ට රියැදුරු බලපත්‍ර ලබාගැනීමට නීතියෙන් ඉඩක් නැත. ඒ කියන්නේ සිවුරු දරන භික්‍ෂුන්ට වාහන ධාවනයට නීතියෙන් අවසර නැති බවය.

මාරයා ඒ අවසරයෙන් නියම ප්‍රයෝජන ගනිමින් කැබ් රථය මාර්ගයෙන් ඉවතට ගෙන පාර අයිනේ සිටි ලක්‍ෂාන්ගේත් මිතුරාගේත් ජීවිත උදුරා ගන්නට තීරණය කළේය. කැබ් රථය යක්‍ෂ වෙස්ගෙන මේ තරුණයන් දෙදෙනාවද යට කර දමමින් ගොස් නැවතුණේ පොල් ගසක සවිශක්තියද පරීක්‍ෂා කරමිනි.

එකී අනතුරින් ලක්‍ෂාන් ලේ විලකට ඇද වැටිණි. මිතුරාත් විසිවී ගොස් වැටුණේ ලක්‍ෂාන්ට අඩි කිහිපයක් දුරිනි.

දෙදරුම් කමින් සිදුවූ අනතුරත් සමඟ අවට ජනයා දිව ආවේ ඒ මොහොතේය. කැබ් රථයේ රියැදුරු අසුනේ වැඩ සිටි හිමිනම ඉන් බැසවිත් ‘වරද මගේ’ යැයි කියමින් වරදට සමාව ප්‍රකාශ කර ඇත. එම හිමි නම පොතුපිටිය, පිමිඳුතලාව ආරණ්‍ය සේනාසනයේ වැඩ හිඳින උෟරුගම්පොළ කුසලඥාන හිමිය. ඒ හිමි කඩිමුඩියේ වැඩියේ පිරිවෙනක ඉගැන්වීමේ කටයුත්තකට බව සඳහන්ය.

‘මට වාහනය පාලනය කරගන්න බැරිව ගියා’ හිමිනමගේ උත්තරය එය වුවත් ලක්‍ෂාන් රෝහලට ගෙන යන අතරතුර මාරයා සමඟ පොරබදා අවසන් හුස්ම පොදද වාතලයට මුදාහැරියේ හිමිනමකගේ අත්වැරැද්දකට දඬුවම් විඳිමිනි. මිතුරා වූ ප්‍රසාද් ප්‍රියදර්ශනට සිහිය ලැබුණේ රෝහලේදීය.

‘මචං ලක්‍ෂාන් අපිව දාලා ගියා” ගමේ මිතුරන් රෝහලට විත් කී කතාව අසා ප්‍රසාද්ගේ දෙනෙතින් ගලාගිය කඳුළු රෝහලේ ගිලන් ඇඳේ ඇතිරිල්ල තෙත් කර දමන්නට විය. මිතුරන් එකිනෙකා බදාගෙන හැඬුයේ ලක්‍ෂාන්ගේ නිසල සිරුර නිවෙසට රැගෙන ආ මොහොතේය. ලක්‍ෂාන්ගේ ගමේ මෙන්ම පාසල් මිතුරන් සමහරුන් ක්ලාන්ත වී බිම වැටුණේ ඒ තරමට මේ මිතුරා ළෙන්ගතු, හෘදයාංගම අයකු වූ නිසාය.

ලක්‍ෂාන්ගේ මවගේ විලාපය නම් අසන්නට බැරි තරම් ශෝකීය. ඒ හැඬුම් කොයි කාගෙත් නෙත් තෙත් කර දමද්දී ඒ මවගේ කියුම් ඇසෙද්දී නම් පපු කැවුත්ත තුළින් සිහින් වේදනාවක් නැඟෙන්නට වූයේ දරු දුක අප කාටත් පොදු නිසාය.

“මමයි මැරෙන්න හිටියේ. මම දහදුක් විඳලා හදපු පුතා හොරු අරන් ගිහින්. මම ඒ දරුවා ගැන මොන තරම් බලාපොරාත්තු තියාගෙනද හිටියේ. හෙට අනිද්දා ප්‍රතිඵල ආවට පස්සේ අම්මාට මම හොඳට සලකන්නම් කිය කියා හිටිය පුතා. මගේ ඔක්කොම සිහින හොරු අරන්. මට මේ දුක උහුලගන්න බෑ දරුවනේ” කියමින් මේ ගුරු මාතාව තබන විලාපය අසා සිටින්නට බැරි තරම්ය.

ලක්‍ෂාන් හදිසි අනතුරෙන් මියගිය පාඩුව වැඩියෙන්ම දැනෙන්නේ ඒ පවුලටය. මවටත්, පියාටත් හෙටක් තිබුණේ නම් තිබුණේ ලක්‍ෂාන්ගේ සුරතෙහිය. තාක්‍ෂණ විෂය ධාරාවෙන් උසස් පෙළ කර හෙට අනිද්දා එන ප්‍රතිඵලවලින් පසු අලුත් ජීවිතයකට මුල පුරන්නට ඇඟිලි ගනිමින් සිටි ලක්‍ෂාන්ගේ ජීවිතයට තිත තිබ්බේ හිතුවක්කාර හිමිනමකගේ අතකින් වීම මොන තරම් සරදමක්දැයි අසන අයද සිටිති.

රට පුරාම තාප්ප මත සිත්තම් අඳින තරුණ පිරිස් ගැන අපගේ කන වැකිණි. මේ කියන ලක්‍ෂාන්ද තවත් මිතුරු මිතුරියන් සමඟ රක්වාන නගරයේ ඇති තාප්ප මත සිත්තම් කළ බව මිතුරන් සිහි කරන්නේ හැඬු කඳුළිනි. ඒ මතකයන්ද දැන් සිත්තමක් බවට පත්ව ඇත.

ජීවිතයක හැටි ඔහොමය. එහෙම කියා හිත හදාගන්නට ඇතැමුන්ට හැකි වුවද ලක්‍ෂාන්ව තේරුම් ගෙන ඇසුරු කළ මිතුරු මිතුරියන්ට නම් ඔහුව කිසිදාක අමතක කළ නොහැකිව ඇත. කාට කාටත් ලක්‍ෂාන් අමතකව ගියත් මේ මවටත් පියාටත්, සොයුරාටත් ඔහු ගැන තිබෙන මතකය කඳුළක්මය. ශෝකය, වේදනාව අලුත් කරමින් මධුෂාන්ගේ මතකයන් ඒ හිත් පාරන බව දනිමි.

ලක්‍ෂාන් අනතුරට ලක්වූයේ ඉකුත් 13 වැනිදාය. එදින සිට වැල නොකැඩී ආ තරුණ පිරිස හෙළුෑ සුසුම්, කඳුළු අපමණය. ගමක කඳුළු අපමණය. ගමක කඳුළු මධුෂාන්ගේ නමින් ගලා ගියේ ඔහු එපමණට හිත හොඳ මිතුරකු වූ නිසාය. ගතිගුණ අතින් උතුම් තරුණයකු වූ නිසාය.

16 වැනිදා සවස් යාමය උදාවිය. මළහිරු බටහිර අහසින් බැස යමින් තිබිණි.

මේ සුන්දර ගමේ මිනිසුන්ගේ මුවග රැඳුණු සිනහව මැකී ගොසිනි. කුරුලු නාදය මැකී සතර අතින් නැඟුණේ ඉකි බිඳින හඬය. කඳුළැලි දෑස් අග නැති අයකු සෙවීමට මළවුන් නැති නිවෙසකින් අබ ඇට සෙවීම තරම්ය.

අනේ මගේ රත්තරන් පුතේ අපිව දාලා යන්න එපා. අපිවත් අරන් පලයන් පුතේ” කියා මවත්, පියාත් හඬද්දී මේ හිරිමල්, සොඳුරු යෞවනයා සදාකල් නින්දට වැටී සිටි පෙට්ටියේ පියන වැසී ගියේය.

නීතිය අතට ගෙන හිතුවක්කාර, නොහොඹිනා ගමනක් ගිය හිමිනමක කළ අපරාධය සුළුපටු නැත. නමුත් සියල්ල අවසන්ය. වරද පුහුදුන් ගතියක් වුවද ඉන් සදාකල් විඳවන්නේ අහිංසක අසරණ මවුවරුන්ය. පියවරුන්ය. ඒ දුක නිවන්නට යායුත්තේද හිමිවරුන් සොයාගෙනය. සසර ගමනක හැටි එහෙමය.

ශිරාන් රණසිංහ
පසුබිම් වාර්තා හා ඡායා: සේන ජයකොඩි
Source – මව්බිම