වලේ වැටුන චම්පිකව යළිත් වලටම ඇද දාන එජාපයේම උප්පරවැට්ටිය

පාඨලී චම්පික රණවක යනු මෙරට දේශපාලනය තුල කැපී පෙනෙන චරිතයකි.ඔහු අන් අය මෙන් පෙනී සිට පසුව කැපෙන ගණයේ චරිතයකට වඩා මෙරට දේශපාලනය තුල යම් සාධනීය වෙනස්කම් වලට මුල පිරූ චරිතයකි.

2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී පෝස්ටර් වලින් තොරව සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වූ ඔහු එහිදී දෙවැනි වූයේ විමල් වීරවංශට පමණි.

එල් ටී ටී ඊයට එරෙහි සටන විජයග්‍රහණයෙන් කෙලවර කරන්නට මහින්දට ශක්තිය ලබා දුන් විමල්,සෝමවංශ,අතුරලියේ රතන හිමි වැනි චරිත මැද චම්පික රණවක ප්‍රබල වූද බුද්ධිමය වූද චරිතයක් විය.

නමුත් විදුලිබල අමාත්‍යංශයේ යම් යම් ක්‍රියාකාරකම් සමඟ දෙවැනි කැබිනට් සංශෝධනයේදී ඔහුට එම අමාත්‍යංශය අහිමි විය.අහිමි වූවා පමණක් නොව ආණ්ඩුව තුල ඔහුගේ තිබූ කේවල් කිරීමේ බලයද යම් දුරකට නැතිව ගියේය.

ඔහු තීරණයක් ගෙන ඉන්පසුව එජාපය හා පෑහෙන්නේද අනාගත ඉලක්ක සාක්ෂාත් කරගැනීමට බව අමුතුවෙන් කිවයුතු නැත.

බාහිරින් බැලූ කල 2015 දී ඔහු දේදුණු සන්ධානය හෙවත් එජාපය ප්‍රමුඛ බලවේගය බලයට ගෙන එන්නේද යම් අරමුණක් සිතෙහි තබාගෙනය.

ඒ වන විට උච්ච්ස්ථානයේ සිටි මහින්ද රාජපක්ෂ මහතා පරාජයෙන් අනතුරුව දේශපාලන භූමියෙන් ඉවත්ව යන බවට ඔහු ගණන් හදන්නට ඇත.බැසිල් නැමති ප්‍රබල සාධකය පරාජයත් සමඟම අවලංගු කාසියක් වන අතර එම නිසාම 2015 දී විපක්ෂයේ අසුන් ගනුයේ දුර්වල සහ නිසි නායකත්වයක් නොමැති පිරිසක් බවට ඔහුගේ ගණන් හැදීම වන්නට ඇත.ඊලඟ මැතිවරණය වන විට තමාද ආණ්ඩුවෙන් ඉවත් වී එකී විපක්ෂයට ගොස් ඔවුනට නායකත්වය දීම රණවක මහතාගේ අරමුණ වන්නට ඇත.

නමුත් සියල්ල කණපිට පෙරලුනේය.

ජනතාව මහින්ද සොයාගෙන මැදමූලනටම ගියෝය.විමල් ,ගම්මන්පිල ඇතුලු පිරිස මහින්ද සුලඟෙන් සිය පාක්ෂිකයින්ව අවදි කරන්නට විය.බැසිල් යලිත් ලංකාවට පැමිණ මෙරට ශක්තිමත්ම පක්ශ යාන්ත්‍රණය ට යලි පණ දෙන්නට විය. රටම එක හඬින් ගෝඨා ව ඉල්ලන්නට විය.

ඉතින් මෙවැනි තත්වයක් තුල චම්පිකට තිබූ එකම ස්ථානය එක්සත් ජාතික පක්ෂය පමණි.
නමුත් ඔහුගේ ජානමය පැවතුම් අනුව සහ දේශපාලන භාවිතය අනුව ඔහුට හිමි ස්ථානය ජාතික කඳවුර මිස ලිබරල්වාදයේ මහ ගෙදර නොවේ.එවැනි පුද්ගලයින් කිහිප දෙනෙකුම එජාපයේ සිටී.සරත් ෆොන්සේකාද එවැන්නකි.ඔහු සිටිය යුතු බල කඳවුර ජාතිකම වශයෙන් ශක්තිමත් කඳවුර මිස දැන් ඔහු සිටිනා කඳවුර නොවන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවා වැටහේ.

කෙසේ වුවද දැන් චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගත කොට හමාරය.මින් දැනට ලැබූ ප්‍රතිඵල දෙකකි.

එකක් ගමේ එජාප පාක්ෂිකයා අතර “පොරක් නොවූ චම්පික “පොරක් වීමය.

මෙතුවක් කල් ඔහුව වඩාත් හොඳින් අදුනාගෙන තිබුනේ මධ්‍යම පාන්තිකයින්‍ ය.මහ පොළොවේ පය ගහන යූ එන් පී කාරයාට චම්පික ට වඩා නවීන්ලා,හරීන් ලා,කිරි ඇල්ල ලා චරිත විය.නමුත් දැන්නම් ඔවුනටද පෙරට වඩා චම්පික චරිතයක් වනු ඇත.

එහෙත් පොරක් වූ පලියෙන් චම්පික එජාප නායකත්වයට පත් වේ යැයි හෝ ඔවුන්ගේ සගයන් කියන්නාක් මෙන් ආණ්ඩුව වෙනස් කිරීමට තරම් චම්පික ප්‍රබල සාධකයක් යැයි යමෙකු කියන්නේ නම් එය තනිකරම සිහි මුලාවි කරන ප්‍රකාශයකි.පසුගිය ජනාධිපතිවරණයේදීද එජාපයේ සමහරුනට සිදු වූයේ මහ පොලොවේ පය නොගසා සිය ෆේස්බුක් ගිණුමේ සිටින වුන්ගේ මතය අනුව රටේ මතය තීරණය කිරීමට යාමය.අන්තිමට “කෙලවා ගත්තේ හොඳම කෙලවා ගැනීමකි”.

දැන් යළිත් සිදුව ඇත්තේ සිදුව ඇති ප්‍රශ්නයට මුහුන දෙනු විනා “ලබ්බෙ ජාතික නායකත්වයක් ගැන” කතා කිරීමය.

චම්පික කාලයක්ම සිංහල බෞද්ධ නායකයෙකු ලෙස කටයුතු කල බව සැබෑය.කොටින්ට එරෙහි සටනේ ප්‍රබල මතවාදීමය චරිතයක් ද වූ බව සැබෑය.

එහෙත් ගුරුනගර් හිමි නමගේ ආදාහනය වෙලාවේ කට පියාගත් අවස්ථාවේ සිට,මාවනැල්ල බුදු පිලිම කඩන විට නිහඬව සිටින විට,රණවිරුවන්ගෙන් පන්න පන්නා පලි ගන්නා විට ඔය චම්පික සිටියේ කොහේදැයි ප්‍රති පාක්ශිකයින් අසන්නේ ඒ නිසාය.

එම නිසා නීතිය හමුවේ මුහුණ දෙනු විනා ,වෙනත් නාටක රඟ දක්වන්නට ගොස් ඇඳිවත උනා ගැනීම නම් අමුම අමු ගොන් කමකි.

සරත් ෆොන්සේකා මහතාගේ සිරගත කිරීම හා මෙම සිදුවීම යමෙකු සමාන කරයි නම් ඒ තරම් ගොන් කමක් තවත් නැත.එය සිදු කරනා එජාප නායකයින්ට කිවයුතු යමක් ඇත.

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රථිපලය සෑම විටම තීරණය කරනුයේ පාවෙන් ජන්ද දායකයින්ය.ඔවුන් වෙනදාටත් වඩා බුද්ධිමත්‍ ය.රාජිතගේ කිඹුල්ලු දෙන්නා ගේ කතාවලට ඔවුන් හොඳ උත්තරයක් දුන්නේ එහෙයිනි.

එම නිසා එජාප පාක්ශිකයින්ට ආමන්ත්‍රණය කරනු විනා දැන් කිරීමට ඇති හොඳම දෙය නම් මධ්‍යම ජන්ද දායකයින්ට ද ,අඩුම තරමේ මහ මැතිවරණයේදී හෝ තීරණයක් ගත හැකි පරිදි නම්බුකාර ලෙස මෙම ප්‍රශ්නයට මුහුණ දීමය.

නැතුව වෙන වෙන වැල් බයිලා ගැසීම රට්ටු හිනස්සවන කරුණකි.

මෙවර හෝ ඒ බව වටහා ගන්නේ නම් එය ඉදිරි මැතිවරණ වලදී වඩා හොඳ ප්‍රථිපලයක් ගෙන දෙනු ඇත.