අපේ කෘෂි නිෂ්පාදන පිටරට යවයි.IT ක්ෂේත්‍රය වෙනුවෙන් අලුත් පාඨමාලා 3000 ක් -ජනපතිගේ අලුත්ම තීරණ

අලෙවි කරගත නොහැකි ලෙස පොල් මිල අද අඩුවී ඇතැයිද කාලගුණික වෙනස්කම් මත කෘෂි නිෂ්පාදන මිල ඉහළ යාම සාමාන්‍ය දෙයක් බවද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (19 වැනිදා) ප්‍රකාශ කළේය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය.

‘‘ගම නගාසිටුවා එතුළින් රට නැංවීමේ අරමුණ ඇතිව ‘සපිරි ගමක්’ ග්‍රාමීය සංවර්ධන වැඩ සටහන සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. ග්‍රාමීය පහසුකම් සංවර්ධනය කිරීම තුළින් රැකියා සහ ජීවනෝපාය වර්ධනය කිරීමත් එමගින් ගැමි ජනතාවගේ සාමාජ ආර්ථික තත්ත්වය නංවාලීමත් සඳහා ‘සපිරි ගමක්’ වැඩසටහන හඳුන්වා දී තිබේ. මෙම වැඩ සටහන 2020 වර්ෂය තුළ ක්‍රියාත්මක වේ. ඒ අනුව රට තුළ පිහිටි ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,021 ආවරණය වන පරිදි එක් එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට රුපියල් ලක්ෂ 20 ක් වටිනා ව්‍යාපෘති ලබාදෙනවා.

මාර්ග, පාලම්, වේලි, වැව් අමුණු ඇතුළු ගමේ අඩුපාඩු මේ මගින් සම්පූර්ණ කරගත හැකිවෙනවා. අවශ්‍ය කම්කරු ශ්‍රමය ලබාගැනීමට අඩු ආදායම්ලාභීන් ලක්ෂයක් රජයේ සේවකයන් ලෙස බඳවා ගන්නවා. මේ ‘සපිරි ගමක්’ වැඩසටහන පිළිබඳ යෝජනාව අගමැතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යායතනයක් නැහැ. එනිසා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලාවක් හැදෑරීම සඳහා චීනය, ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්ථානය වැනි රටවල පිහිටි ආරක්ෂක විද්‍යායතන වෙත යොමු කිරීමට සිදුවෙනවා.

මේ රටවලින් වාර්ෂිකව ලැබෙන පාඨමාලා සාධනය සීමිතයි. එනිසා අපේක්ෂිත පරිදි නිලධාරීන් පුහුණු කිරීමට නොහැකි වී තිබෙනවා. මේ තත්ත්වය සැලකිල්ලට අරගෙන ආරක්ෂක රාජ්‍ය ඇමැතිතුමා විසින් ජාතික ආරක්ෂක විද්‍යායතනයක් පිහිටුවීමට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණා.

ශ්‍රී ලංකාවේ අධිකරණවලින් වෙනත් රටවල පුද්ගලයන් වරදකරු නම් දඬුවම් ලබාදෙනවා. ඒ දඬුවම එම පුද්ගලයා පුරවැසියකු වන රටේ විඳීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම වෙනත් රටක සිර දඬුවම් විඳින ශ්‍රී ලාංකික පුරවැසියන්ටත් ඒ දඬුවමේ ඉතිරි කාලය ශ්‍රී ලංකාව තුළ විඳීමට හැකියාවක් තිබෙනවා. ඒ 1995 අංක 5 දරන වරදකරුවන් භාර දීමේ පනත අනුව. ඒ සඳහා ශ්‍රී ලංකාව අදාළ රට සමග ගිවිසුමක් ඇතිකරගෙන තිබීම අවශ්‍යයි. ඒ අනුව චෙක් ජනරජයේදී දඬුවම් විඳින තැනැත්තන් මෙරටට සහ මෙරට දඬුවම් ලබන චෙක් ජාතිකයන් එරටට භාරදීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹීමට අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවටත් කැබිනට් අනුමැතිය ලැබුණා.

මෘදුකාංග නිෂ්පාදනය,

තොරතුරු තාක්ෂණය වැනි විෂය ධාරාවන් ඉලක්ක කර ගනිමින් කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර තිබෙනවා. තාක්ෂණික විෂය ධාරාවන් හදාරණ හෝ උසස් පෙළ සමත් වන සිසුන්ට සහතික පත්‍ර, ඩිප්ලෝමා හෝ උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා මෙමගින් පුහුණු අවස්ථා ලබාදෙනවා.

2020 දී මේ යටතේ පුහුණු අවස්ථා 1000 ක් ආරම්භ කර, 2022 වෙද්දී පුහුණු අවස්ථා 3000 ක් දක්වා ගොඩ නැංවීමට බලාපොරොත්තු වෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ දියගම තාක්ෂණ ආයතනය මුල්කරගෙන මේ පාඨමාලා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ කාර්ය සාධන බළකායක් ස්ථාපිත කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව හා විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට තාක්ෂණික හා ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධන බළකායෙන් සිදුවෙනවා.

රටේ නිෂ්පාදනය කළ හැකි සුළු කෘෂි අපනයන භෝග ආනයනය සම්පූර්ණයෙන් නතර කර තිබෙනවා. ඒ අනුව කරදමුංගු, කරාබුනැටි, කහ, ගම්මිරිස්, කුරුඳු, සාදික්කා, වසාවාසි, පුවක්, සියඹලා, උඳු ආදී කුළු බඩු සහ සරුංගල්, පහන් කූඩු, වෙසක් කූඩු සහ හඳුන්කූරු ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. මීට අදාළ ගැසට් පත්‍රය ක්‍රියාත්මකයි. පාර්ලිමේන්තුවෙන් අනුමැතිය නොලැබුණ නිසා නීතිය ක්‍රියාත්මක නොවී තිබෙන්නේ නෑ. ගැසට් පත්‍රය නිකුත් වී තිබෙනවා.

ගම්පහ වෛද්‍ය විද්‍යාලයේ දිගු කලක් තිස්සේ වර්ජනයක් ආරම්භ කර තිබුණා. මා ශිෂ්‍ය සංගමය සමග සාකච්ඡා කළා. ඒ අනුව මහාචාර්ය ජනිතා නිසි බලධරයා ලෙස පත් කළා. දැන් සිසුන් පන්තිවලට සහභාගි වෙනවා. අප ගත් තීරණයට ප්‍රසාදය පළ කරමින් විශ්වවිද්‍යාලය තුළ බැනර් ප්‍රදර්ශනය කර ඇති බව පොලිසිය අපට ප්‍රකාශ කළා. මේ අන්දමටම අප සෞන්දර්ය විශ්වවිද්‍යාලයටත් නිසි බලධරයකු පත් කළා. ඒ මහාචාර්ය අබේරත්න බණ්ඩාර. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට අනුබද්ධව ප්‍රාදේශීය වශයෙන් විද්‍යායතන 10 ක් ආරම්භ කරන්න ඇමැති මණ්ඩල අනුමැතිය ලැබුණා.’’

සම කැබිනට් ප්‍රකාශක, ඇමැති රමේෂ් පතිරණ:

‘‘අධික ණය බරින් සිටින තේ කර්මාන්තකරුවන්ට මෙතෙක් ලබාගත් ණය 20%-30% අතර ප්‍රමාණයකින් කපා හැරීමට අදාළ බැංකු සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම මේ අයගේ ණය ගෙවීම සඳහා මාස හයක සහන කාලයක් ලබාදීමටත්, දේපළ වෙන්දේසි කිරීමට කැඳවීම් කර ඇතිනම් එම වෙන්දේසි වසරක කාලයකට අත්හිටුවීමටත් එකඟ වී තිබෙනවා.

තේ ප්‍රවර්ධන අරමුදලින් මිලියන 500 ක් අදාළ කර්මාන්ත හිමියන්ට ලබාදී තේ වගාකරුවන්ගේ ණය පියවා යළි කර්මාන්තයට පුනර්ජීවයක් ලබා දෙන්නත් තීරණය කළා.

රටේ මාර්ගජාල පද්ධතිය නවීකරණය කිරීම හඳුනාගෙන තිබෙනවා. රථවාහන තදබදය දැඩිව පවතින ප්‍රදේශවල තදබදය සහ රථවාහන අනතුරු අවම කිරීම සඳහා ජාතික මාර්ගවල කිලෝමීටර 3, 5 පරතරයන්හි පසුකර යාමේ මංතීරු ඉදි කෙරෙනවා.

සමස්ත මාර්ග ජාලයේ මතුපිට අලුතින් සකස් කර නවීකරණය කිරීම, ප්‍රධාන මහාමාර්ග හා අධිවේගී මාර්ග වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි කිලෝමීටර ලක්ෂයක විකල්ප මාර්ග ජාලයක් සංවර්ධනය කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවුණා.

උළු, ගඩොල් සහ කුඹල් කර්මාන්තයේ යෙදෙන නිෂ්පාදකයන්ට, තම නිෂ්පාදන ක්‍රියාවලිය තිරසරව පවත්වාගෙන යාමට හැකිවන අයුරින් අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී දැනට පවතින බලපත්‍ර ක්‍රමය තවදුරටත් ලිහිල් කර ඒ වෙනුවට පහසු ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් තීරණය වී තිබෙනවා. ඒ සඳහා 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 28 සහ 30 වගන්ති සංශෝධනය කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබුණා.

තවද, 2020 වසර සඳහා යුද්ධ හමුදාව, නාවික හමුදව සහ ගුවන් හමුදාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට ප්‍රසම්පාදන කමිටුව විසින් ලබාදී ඇති නිර්දේශ පරිදි ක්‍රියා කිරීමට ඉදිරිපත් කළ යෝජනාවක් ඇමැති මණ්ඩලය අනුමත කළා.

නිෂ්පාදන කර්මාන්ත අංශයේ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් සහ ගැටලු තත්ත්වයන් අවම කරගැනීම සඳහා කර්මානත සහ ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බළකායක් ස්ථාපනය කිරීමට අනුමැතිය ලැබුණා. ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් සහ විෂයභාර ඇමැතිවරයාගෙන්, අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් මෙම බළකාය සමන්විත වෙනවා.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ ඒ සඳහා සම මාධ්‍ය ප්‍රකාශකවරුන් ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය:

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බව කියවා. 2016 ජූනි 29 මහෙස්ත්‍රාත් කියා තිබෙනවා පාඨලී රණවකට එරෙහිව පැහැදිලි සාක්කි නෑ කියලා?

පිළිතුර:

කිසිම දේශපාලන පළිගැනීමක්, නීතිය නැමීමක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ සිදුවන්නේ නෑ. පසුගිය කාලයේ නීතියට පටහැනිව මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන අයථා ලෙස රිමාන්ඩ් භාරයේ තැබුවා.

චම්පික රණවක ආන්දෝලනාත්මක රිය අනතුරක් සිදුකළා. ආබාධිත දරුවා මීගොඩ මගේ කොට්ඨාසයේ කෙනෙක්. මේ දරුවා බලන්න එන්න එපා කියා දෙමව්පියන් ඒ දවස්වල මගෙන් ඉල්ලා සිටියා. ඒ තරමට ඒ කාලයේ භීෂණයක් පතුරුවා හැරලා තිබුණා. කොළඹ අපරාධ කොට්ඨාසයට යළි පැමිණිල්ලක් ලැබුණා රාජ්‍ය දේපළ අවභාවිත කිරීම, ව්‍යාජ ලෙස සාක්ෂි වෙනස් කිරීම ගැන. ඒ අනුව තමයි නීතිපතිවරයා නියෝග කළේ ඔහුව අත්අඩංගුවට ගැනීමට. අත්අඩංගුවට ගැනීමට පෙර කථානායකතුමාව දැනුවත් කරන්න උත්සාහ කළා. කථානායකතුමා ලංකාවේ නැති නිසා නියෝජ්‍ය කථානායකවරයා දැනුවත් කර තිබෙනවා. මෙහිදී කිසිම දේශපාලන මැදිහත්වීමක් සිදුවන්නේ නෑ.

ප්‍රශ්නය:

මෙවැනි නඩු තව කීයක් ඉදිරියටත් ගෙන යනවාද?

පිළිතුර:

පැමිණිලි කළොත් යළි පරීක්ෂණ කරනවා. එකල භීෂණය දරුණුව තිබූ නිසා බොහෝ දෙනෙක් විදේශ ගතවුණා. ජීවිතාරක්ෂාවට බොරු සාක්ෂි දී තිබෙනවා. මගේ ලේකම්වරයාත් පෙරේදා පැමිණිල්ලක් කළා රහස් පොලිසියට මහපොළ අරමුදලේ සිදුවී ඇති කොල්ලකෑමක් ගැන.

ප්‍රශ්නය:

දුමින්ද සිල්වා යම් යම් නිර්මාණ කළ සාක්ෂි මත වරදකරු කර ඇති බවට මතයක් තියෙනවා. ඒ නඩුවත් යළි ගන්නවාද?

පිළිතුර:

ඉල්ලීම් තිබුණොත්, අතීත මිනීමැරුම් වුණත් අලුතින් සිද්ධිය මතු වුණොත් ඕනෑම පාර්ශ්වයකට ඉල්ලීම් කළ හැකියි.

ප්‍රශ්නය:

මහ බැංකු මංකොල්ලය ගැන අද කතා නෑ?

පිළිතුර:

බරපතළ ලෙස ඒ ගැන කතා කර තිබෙනවා. විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සිංගප්පූරු රජයට දැනුම් දී තිබෙනවා අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට රැගෙන ඒම ගැන.

ප්‍රශ්නය:

පස් ප්‍රවාහනයේදී ලිහිල් කර තිබූ බලපත්‍රය තවදුරටත් ක්‍රියාත්මකද?

පිළිතුර:

ඒ පිළිබඳ කමිටුවේ පරීක්ෂණ තවම අවසන් වී නෑ. අවසන් වාර්තාව ලබාදී නෑ. දැනට ප්‍රවාහනය ලිහිල් කිරීම එලෙසම ක්‍රියාත්මක වෙනවා.

ප්‍රශ්නය:

මේ දිනවල බඩු මිල ඉහළ ගොස් තිබෙනවා?

බන්දුල ගුණවර්ධන:

ඕනෑම කාලෙක කාලගුණික හා දේශගුණික වෙනස්කම් මත කෘෂි නිෂ්පාදනවල මිල ඉහළ යනවා. ඒ කාලේ පොල් ගෙඩියක් රුපියල් 120 කට ගියා. ඒ වියළි කාලගුණය නිසා. අද පොල් විකුණා ගත නොහැකි ලෙස මිල අඩුවෙලා.

ප්‍රශ්නය:

ඔබතුමා ප්‍රකාශ කළා රුපියල් 2500 කින් පවුලකට ජීවත් විය හැකි බවට?

බන්දුල ගුණවර්ධන:

ඒ මට්ටමට මේ කැබිනට් මාධ්‍ය හමුව ගෙන එන්න එපා. ඒ ප්‍රශ්නය ඕනෑ නම් ඔබට මගෙන් එළියෙදි අහන්න පුළුවන්.

තේ කර්මාන්තකරුවන්ගේ ණය 20% – 30% දක්වා කපා හැරීමේ සූදානමක්

අධ්‍යාපනයට කාර්ය සාධක බලකායක්

කැබිනට්

තීරණ

ගම හදන්න ‘සපිරි ගමක්’ වැඩසටහන අරඹනවා