රාජගිරියේ අනතුර සම්බන්ධයෙන් හිටපු ඇමති චම්පික අධිකරණයට

2016 වර්ෂයේදී රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කරුණු දක්වා තිබෙනවා.

මෙම රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සැකකරුවෙකු ලෙස නම් කරමින් පසුගිය සිකුරාදා පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ගොනු කරනු ලැබූ අතර එහිදී ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

ඒ අනුව පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා ගේ නීතිඥවරුන් මේ සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා.

මේ අතර කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය විසින් ඊයේ දිනයේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා සොයා ගාල්ල, ඉමදුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී එම පුද්ගලයා එම නිවසේ සිටි නොමැති අතර ඔහු බත්තරමුල්ල ජයන්තිපුර ප්‍රදේශයේ සිටින බවට නිවසේ සිටි එම රියදුරුගේ බිරිඳ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.