කලක් තිස්සේ ලංකාව පුරා තාප්ප බිත්ති විචිත්‍රවත් ලෙස සැරසූ, තවත් විටෙක වෘත්තිය අරගලවල සටන්කාමි සටන් පාඨ අරගල මුවහත් කෙරුණු, තවත් විටෙක නාට්‍ය චිත්‍රපට ආදි සෞන්දර්යාත්මක ප්‍රකාශනයන් ප්‍රදර්ශනය කෙරුණු පෝස්ටර් කලාව අද වෙන විට විවිධ අභියෝගයන්ට මුහුණදෙමින් සිටින බව පෝස්ටරය සිය ප්‍රචාරක මෙවලමක් කරගත් බොහෝ දෙනා පවසති.

පෝස්ටරය නාට්‍ය කලාවට, චිත්‍රපට කර්මාන්තයට, වෘත්තිය සමිති ක්ෂේත්‍රයට, සමාගම් ප්‍රවර්ධනයට, මාධ්‍ය කලාවට, ටියුෂන් ව්‍යාපාරයට පමණක් නොව ශිෂ්‍ය ව්‍යාපාර, දේශපාලන ව්‍යාපාර මේ ආදී සෑම ක්ෂේත්‍රයක් පුරාම සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාවිත කෙරුණ ද අද වෙන විට එය ටිකෙන් ටික ඉන් ඈත්වෙමින් පවතින බව ද ඔවුහු පෙන්වා දෙති.

යුගයකදී තාප්ප පුරා ඇලවුණ පෝස්ටරය අද වෙන විට තාක්ෂණය විසි

න් ග්‍රහණය කර තිබේ. අඩුම වියදමක් දරා, අතින් ඇඳ, එක රැයකින්, එක සටන් පාඨයක් රට පුරා පෝස්ටර අලවන්නට සමත්වූ දේශපාලන ව්‍යාපාර පිළිබඳව ද අපි අසා ඇත්තෙමු.

ඡන්ද කාලවලදී විවිධ ලොකු කුඩා සෑම පක්ෂවලින්ම සිය පක්ෂයේ මතය ජනතාවට කියන්නට පාවිච්චි කරන්නේ ද පෝස්ටරයයි. මෙහිදී සමහරුන් ඉවක් බවක් නොමැතිව පෝස්ටර් අලවන අතර අනුන්ගේ වාහනවල ද මෙසේ අලවන පෝස්ටර් දක්නට ලැබෙයි.

කෙසේ වුවද මහ මැතිවරණවලදී මනාප පොරය පැමිණි සැණින්, තොග පිටින් එළියට ඒමට නියමිත පෝස්ටරයට උඩින් පෝස්ටර් තොග පිටින් ඇලවෙන, විටෙක ගැලවෙන, මෙම පෝස්ටර කලාව පිළිබඳව ඔවුන් පළ කළ අදහස් ද බොහෝ ය.

ප්‍රවීණ ලේඛකයෙකු මෙන්ම නාට්‍ය ශිල්පියෙකු ද වන කපිල කුමාර කාලිංග මහතා සිය නාට්‍ය, ප්‍රේක්ෂක ජනතාව අතරට රැගෙන යාමට පෝස්ටරය මාධ්‍යයක්වීම ගැන පවසා සිටියේ, එහි එවකට තිබූ කලාත්මකභාවය සහ නිර්මාණශීලිත්වය පිළිබඳව කරුණු රැසක් පෙන්වා දෙමිනි.

“මම 70 දශකයේදි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසුණා. ඒ කාලේ කොළඹ නගරයේ ප්‍රදර්ශනය කරන නාට්‍ය පෝස්ටර් දැක්කා. ඒවා ඉතාම සුන්දර චිත්‍ර වගේ. බොහෝම නිර්මාණශීලි පෝස්ටර් බිහිකළා. ඒ කාලේ මරදානේ ග්ලෝබ් මාවතේ තිබුණා අයිපීබී මුද්‍රණාලය කියලා එකක්. සෝමපාල හේවා කපුගේ සහ එඩ්වින් හේවා කපුගේ කියන සහෝදරයින් දෙදෙනා විසින් කරගෙන ගියා. ඒ දෙදෙනාත් කලාවට බොහෝම සම්බන්ධ දෙදෙනෙක්. එතැන සිටි පෝස්ටර් නිර්මාපකයා තමයි රැලෙක්ස් රණසිංහ. ප්‍රවීණ නළු ටෝනි රණසිංහ මහතාගේ සහෝදරයා. ඔහු ඉතාම දක්ෂ පුවත්පත් ඡායාරූප ශිල්පියෙක්. දවස ආයතනයේ හිටියේ. ඔහු පෝස්ටර් කලාව වෙනමම තැනකට ගෙනාවා. අපි තරුණ නාට්‍යකරුවන් විදියට අයිපීබී ආයතනයේ පෝස්ටරයක් නිර්මාණය කර ගැනීමේ සිහිනයක් තිබුණා. මගේ පළවෙනි නාට්‍ය මම කළේ මහනුවරදි. මම කොළඹ ඇවිත් අයිපීබී ආයතනයට ගිහින් ශුද්ධවන්තයෙක් කියන මගේ ඒ නාට්‍යයට පෝස්ටරයක් නිර්මාණය කර ගත්තා. විශේෂයෙන් ම කිවයුතුයි ඇත්තෙන්ම ඒ කාලේ කොළඹ ප්‍රදර්ශනය කෙරුණු නාට්‍ය පෝස්ටර් ඉතාම නිර්මාණශීලියි. ඒ පෝස්ටර් තැන් තැන්වල අලවලා තියෙන විට ඒක හරියට චිත්‍ර ප්‍රදර්ශනයක් වගේයි. ඒ තරම් කලාත්මකයි.

සිල්ක්ස්ක්‍රීන් පෝස්ටර් කියලා වෙනම පෝස්ටර් කලාවක් ආවා. තෝමස් තිලකරත්න කියන මහත්තයෙකුගේ තිබුණා T2 කියලා මුද්‍රණාලයක්. එහි චිත්‍රපට පෝස්ටර් තමයි වැඩිය කෙරුණේ. පෝස්ටරයත් ඉතාම කලාත්මක එකක් බවට ඒ කාලේ පත් වී තිබුණා. නිර්මාණශීලි මෙන්ම වාණිජමය පෝස්ටර් ද තිබුණා. නාට්‍යවල ඒ කලාත්මක බව වඩාත් තිබුණා. චිත්‍රපටිවල වාණිජමය තත්ත්වයක් තිබුණා. අයිපීබී මුද්‍රණාලය තරුණ නාට්‍ය ශිල්පීන්ට පමණක් නොවේ බොහෝ දෙනාට උදව් කළා. ඔවුන් මුදල් ගන්න ඉස්සර වුණේ නැහැ. අප වැනි තරුණ නාට්‍ය ශිල්පීන්ට පොඩි අත්තිකාරම් මුදලක් අරන් කරලා දෙනවා. අපි පස්සේ දෙනවා කියලා පෝස්ටර් නිර්මාණය කරගත්තා. හැබැයි සමහරු පස්සේ මුදල් දෙන්නම් කිව්වට මම දන්නවා පස්සේ දුන්නෙත් නැහැ. ඒ අය ඒවා ගන්න බලක​ළෙත් නැහැ. ඔවුන් සේවයක් විදියට සලකලා තමයි බොහෝ විට නාට්‍ය පෝස්ටර් මුද්‍රණය කරලා දුන්නේ. මරදානේ ග්ලෝබ් මාවතේ ඒ ආයතනය තිබුණේ. බොහෝ නාට්‍යකරුවන් හමුවන සොඳුරු තැනක් විදියට තමයි ඒ ස්ථානය තිබුණේ”
ඔහු පවසන ආකාරයට පෝස්ටර්වල ස්වර්ණමය යුගය වී තිබුණේ 70–80 දශකයයි. එහිදී T2 සහ අයිපීබී ආයතනය ඉතාම නිර්මාණශීලි පෝස්ටර් නිර්මාණ කළ ආයතන බව ද ඔහු පෙන්වා දෙයි.

“එදා පුවත්පතයි පෝස්ටරයයි විතරයි අපිට සන්නිවේදන මාධ්‍යයක් විදියට තිබුණේ. ගුවන් විදුලියේ වුණත් ඉතා සීමිත ප්‍රචාරයක් තිබුණේ. සල්ලි තිබුණේ නැහැ දැන්වීම් දාන්න. අද වෙන කොට විද්‍යුත් මාධ්‍ය ප්‍රබලවෙලා තියෙනවා. සමාජ ජාලා තමයි වඩාත් භාවිත කරන්නේ. එදා පෝස්ටරයට තිබුණු තැන අද අහිමිවෙලා තියෙනවා. හැබැයි පෝස්ටරය මුද්‍රණය වෙනවා. අලව ගන්නත් ටිකයි තියෙන්නෙත්. ලොකු කටවුට්ස් තමයි දැන් ගහන්නේ. පෝස්ටරය ටිකෙන් ටික අභාවයට යන බව තමයි පේන්න තියෙන්නේ. ඉස්සර පෝස්ටර් අලවන්නත් වෙනම කණ්ඩායම් හිටියා. හැබැයි නාට්‍යකරුවන් වුණාට අපිම පෝස්ටර් අලවපු අවධින් තිබුණා. පෝස්ටර් අලවපු නැති නාට්‍යකාරයෙක් ඒ දවස්වල නැති තරම්. පාප්ප බාල්දි අරන් ගිහින් ඇලෙව්ව. පසුව වෙන වෙන කණ්ඩායම් විසින් මේ කටයුත්ත කළා. ආචාර ධර්ම සියල්ල විනාශවෙලා ගිහිල්ලා. දැන් නාට්‍ය පෝස්ටරයක් රෑ ගහලා උදේ ගිහින් බැලුවම ඊට උඩින් ටියුෂන් පෝස්ටරයක් අලවලා. ටියුෂන්කාරයින්ගෙන් අපේ නාට්‍ය පෝස්ටරයක් බේරගන්න බැහැ. දැන් තියෙන පරිභෝජන සමාජයේ ඒවා සියල්ල විනාශවෙලා ගිහිල්ලා” ඔහු කිසියම් කම්පාවකින් යුතුව පවසයි.

එසේම වසර 28 කට වැඩි කාලයක් තිස්සේ මේ දක්වා පෝස්ටර් නිර්මාණය කරන ෆාස්ට් ඇඩ් ආයතනයේ අධිපති ප්‍රේම් දිසානායක මහතා පවසන්නේ පෝස්ටර් කලාව එදා මෙදා තුර අරුත්බර සහ නිර්මාණශීලී ලෙස පැවතුණ ද පෝස්ටර් ගැසීමේදී ඇලවීමේ දී වෙන අකටයුතුකම් සහ අවිචාරවත් බව නිසා මෙම පෝස්ටර් කලාව මේ වන විට අභාවයට යාමේ අනතුරක් තිබෙන බව ය.

“ඇත්තටම අපේ පෝස්ටර් කලාවට මුකුත් වෙලා නැහැ. පෝස්ටර් කලාව එදා වගේම අදත් හොඳට කෙරෙනවා. ජනතාවට පෝස්ටරය මගින් කෙරෙන්න තියෙන සන්නිවේදන කටයුතු වෙනත් මාධ්‍යයක් විදියට ඒ විදියටම කෙරෙනවා. ඊට තියෙන ඉඩ අවකාශය පිළිබඳ ගැටලු විතරයි තියෙන්නේ. අපිට පෝස්ටරයක් ගැන එනම් චිත්‍රපටි වේවා, දේශපාලනය වේවා වෙනත් නාට්‍ය පෝස්ටරයක් හෝ වේවා එතැනදි ප්‍රේක්ෂකයාට හෝ පාඨකයාට හෝ වෙන රසිකයාට හෝ පිරිසකටනේ සන්නිවේදන මාධ්‍යයක් විදියට නේ මෙය භාවිත වෙන්නේ. අපි වැඩිපුර මුද්‍රණය කරන්නේ චිත්‍රපටි හා නාට්‍ය පෝස්ටරයි. අවුරුදු 28 ක් පුරා අපි මෙය කරගෙන යනවා.

පෝස්ටර් ඇලවීම පිළිබඳ ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. පෝස්ටර් ඇලවීමට නිශ්චිත ස්ථාන තියෙනවා. ඕනෑම රටක, ඕනෑම නගරයක එය තියෙනවා. අපේ තියෙන්නේ පෝස්ටර් ඇලවීමේදී ඒ පිළිබඳ කිසිම හැදෑරීමක් නැති විචාරත්මක බුද්ධිමත්භාවයක් නැති පිරිසක්. ඒ අය තමන් විසින්ම කලින් දචසේ රෑ අලවන ලද පෝස්ටරයක් උඩින් පහුවෙනිදා ගිහින් මොකක් හෝ තව පෝස්ටරයක් අලවනවා. ඒ අයට ඕනැ මොකක් හෝ තවත් පෝස්ටරයක් ඇලවීම පමණයි. කිසිම විචාරයක් නැතුව අලවනවා.”
එසේම ඔහු පෙන්වා දෙන අන්දමට පෝස්ටර් ඉවක් බවක් නොමැතිව ඇලවීම නතර කිරීමට අදාළ පාර්ශ්වයන් විසින් කටයුතු කළ යුතුව ඇතිවාක් මෙන්ම රජය මගින් ඊට නිශ්චිත ස්ථාන තෝරා දීමට පියවර ගත යුතු බවයි.

“හැමතැනම පෝස්ටර් අලවන්න බැහැ. ඒක රජය මගින් නිශ්චිත ස්ථාන තෝරලා දෙන්න ඕනෑ. නගරේ තියෙන හැම තැනකම ටෙලිෆෝන් පෙට්ටිවලයි ලයිට් කණුවලයි බස්හෝල්ට්වලයි හැම තැනකම ඉවක් බවක් නැතුව පෝස්ටර් අලවන අය ඉන්නවා. සංවරයක් නැතුව පෝස්ටර් ඇලවීම නිසා තමයි විවිධ ගැටලු මතුවෙලා තියෙන්නේ. නමුත් පෝස්ටර් කලාව, පෝස්ටර් සන්නිවේදනය ඒ විදියටම තියෙනවා. හැබැයි පෝස්ටර් ඇලවීමට නිශ්චිත ස්ථාන ලැබිය යුතුයි.

පෝස්ටරයක් නිර්මාණය කිරීමට පෙර ඊට පෙර සූදානමක් ද විය යුතුව තිබේ. ඒ අනුව වඩා නිර්මාණශීලී පෝස්ටරයක් සමාජගත කිරීමට ලැබෙන අවස්ථාව පෝස්ටර් නිර්මාණකරුවාට ලැබෙන බව ද ඔහු පෙන්වා දෙයි.
“චිත්‍රපටයක පෝස්ටරයක් නිර්මාණය කරනවා නම්, අපි පෝස්ටරය නිර්මාණය කිරීමට පෙර චිත්‍රපටය නරඹනවා. එහි ප්‍රේක්ෂකයාව වඩාත් නතු කරගන්න පුළුවන්, ඔහු ආකර්ෂණය කරගන්න පුළුවන් රූපරාමු නිශ්චිත කරගෙන නිර්මාණාත්මක කටයුතු තමයි අපි කරන්නේ. චිත්‍රපටයේ හෝ නාට්‍යයක ඒ පිළිබදව අපි ඒ විදියට තමයි කරන්නේ. ඒක ඉතාම සරල, සංකීර්ණ නැති වාහනයක යන විටදී වුවත් කියවීමට හැකි ග්‍රහණය කරගැනීමට හැකි, ධාරණය කරගත හැකි දෙයක් විය යුතුයි. ඒක ළඟට ගිහින් හිටගෙන කියවන එකක් නෙමෙයි. චාරයක් නැතුව හැමතැනම අලවන එක නෙමෙයි. පෝස්ටර් ඇලවීම විනාශ මුඛයට ගිහින් තියෙනවා. පෝස්ටර් අලවන්න බාර ගන්න පිරිස් කරන විනාශය තමයි.
සමාජ ජාලා මෙයට අභියෝගයක් වි නැහැ. පත්තරයට පස්සේ රූපවාහිනිය ආවට පත්තර අභියෝගයට ලක්වෙලා නැහැ. පෝස්ටරය ඉතාම හොඳ සන්නිවේදන මාධ්‍යයක්. පෝස්ටර් නැතුව චිත්‍රපටි දුවන්න පුළුවන් කියලා කවුරුත් කියන්නේ නැහැ. පෝස්ටර් අලවන පිරිස විසින් වෙන අකටයුතුකම් සහ වැරැදි නිසා තමයි යම් යම් ගැටලු මතුවෙලා තියෙන්නේ. පෝස්ටරයට වලංගුභාවය තවමත් තියෙනවා. මේ ඔහුගේ අදහස ය.

ලිප්ටන් වටරවුම, කොටුව දුම්රියපොළ ඉදිරිපිට, පාර්ලිමේන්තු වටරවුම, බොරැල්ල ආයුර්වේද මංසන්දිය, ටෙක්නිකල් හංදිය මේ ආදි ස්ථාන බොහෝ දෙනාගේ දෑසට හුරුව ඇත්තේ ජවාධික දෑත් ඔසවා, සටන් පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන්කාමි සටන් පාඨ හඬ නගන මිනිසුන්ගෙන් පිරුණු ස්ථාන ලෙසය. ඔවුන්ගේ සටන අරගලය කුමක් හෝ වේවා එය සමාජගත කරන්නට, සමාජය දැනුම්වත් කිරීමට පෙරහැරක කසකරු මෙන් පළමුව ඉදිරියට එන්නේද මෙම පෝස්ටරය ම ය.
වෘත්තිය සමිති ක්ෂේත්‍රයටත්, වැඩකරන පංතියටත් සිය මතවාදය, සටන, අයිතිවාසිකම්, ඉල්ලීම් පිළිබඳව දැනුම්වත් කරන්නට මෙවලමක් වූ පෝස්ටරය පිළිබඳව වෘත්තිය සමිති නායකයෙකු වූ ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

“ලෝක ඉතිහාසය වගේම ලාංකීය ඉතිහාසයේත් වැඩකරන ජනතාව, වැඩකරන පංතිය එම පංතියේ දේශපාලනය වෙනුවෙන් භාවිත වුණේ පෝස්ටරය. මාධ්‍ය අහිමි තමන්ගේ දේශපාලන පණිවිඩය තම සාමාජිකයන්ට කියාගන්න බැරි, වැඩ කරන ජනතාව විශේෂයෙන් පෝස්ටරය තමන්ගේ මාධ්‍ය කරගෙන තිබුණා. ලාංකීය ඉතිහාසයේ දශක ගණනාවක් පුරා මෙය මේ ආකාරයට තිබුණා. මේ හරහා තමන්ගේ සටන් පාඨය ආකර්ශණීය විදියට ජනතාවට සන්නිවේදනය කිරීමට පෝස්ටරය කරපු කාර්යභාරය අතිවිශාලයි. විශේෂයෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ අපේ ශිෂ්‍ය ව්‍යාපාර, ඊළඟට වැඩ කරන ජනතාව, වෘත්තිය සමිති තමන්ගේ සටන් පාඨය සමාජගත කරගන්න, තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ජනතාව දැනුම්වත් කරන්න, පාලකයන්ට එරෙහිව තමන්ගේ ක්‍රියා මාර්ග පිළිබඳව දැනුම්වත් කරන්න, ඒ වගේම තමන්ගේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනතාව දැනුම්වත් කරන්න, තමන්ගේ වැඩකරන පංතිය දැනුම්වත් කරන්න පෝස්ටරය විසින් කරනු ලැබූ ඉතිහාසයේ කාර්යභාරය අතිවිශාලයි” ඔහු පවසයි.
තාක්ෂණය පැමිණීමත් සමග වෘත්තිය සමිති සටන් වෙනුවෙන් පෝස්ටරය විසින් කරන ලද කාර්ය භාරය සමාජ ජාලා මගින් කරන බව ද පෙනෙන්නට තිබේ. එය එසේ වුවත් වෘත්තිය සමිති ක්ෂේත්‍රයට තවමත් ප්‍රබලව බලපාන්නේ පෝස්ටරය පමණක් බවද පෙනෙන්නට ඇත. එම සටන්කාමීත්වය අරගලකාරිත්වය සමාජගත කරන්න පුළුවන් හැකියාව තවමත් ඇත්තේ පෝස්ටරයටම ද යන්න පිළිබඳව කළ විමසුමට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පවතින වටාපිටාව තුළ පෝස්ටරය ප්‍රචාරක කටයුත්තේදී කිසියම් දුෂ්කර කාර්යයක් වී තිබෙන බවයි.

“පෝස්ටරයේ මූලික විෂය වෙන්නේ සන්නිවේදනය. එහිදී අද තාක්ෂණය විසින් සෑම අංශයක්ම ආක්‍රමණය කරමින් තියෙනවා. එහි දිගුවක් විදියට අද පෝස්ටර් ව්‍යාපාරය සමාජ ජාලා දක්වා ගමන් කරමින් තියෙනවා. ඊට වඩා වේගයෙන් තියුණු කාර්යක්ෂම මෙවලමක් බවට පත්වෙමින් තිබෙනවා. ඒක අද දවසේ අපි පාවිච්චි කරමින් තියෙනවා.

වෘත්තිය සමිතිවල අරගලකාරිත්වය සටන්කාමිත්වය මේ සියල්ල සංවිඥානිකව මෙවලමක් විදියට අදත් සමාජයේ තියෙන්නේ. නමුත් අද මේකට තියෙන තරගය නිසා අද පෝස්ටර් ගහන්නේ වැඩකරන ජනතාව විතරක් නෙමෙයි. වැඩ කරන ජනතාව විවිධ ව්‍යාපාර උපකාරක පංතිවල සිට විවිධ ව්‍යාපාරවල පෝස්ටර් පැමිණිලා තියෙනවා. එදා තිබු ඉඩකඩ, අවස්ථාව මේ නිර්මාණශීලි සහ අයිතිවාසිකම් ඉල්ලා සිටින වෘත්තිය අරගලවල සටන්පාඨ පෝස්ටර් විදියට සමාජගත කිරීම, සන්නිවේදනය කිරීම දුෂ්කර කාර්යයක් වෙලා තියෙනවා” ඔහු පවසයි.

ශිෂ්‍ය ව්‍යාපාරය සහ පෝස්ටර් ව්‍යාපාරය ගසට පොත්ත මෙන් බැඳී ඇති අතර ශිෂ්‍ය අරගලවලට අදත් පෝස්ටරය තරම් අන් කිසිදු මාධ්‍යයක් ප්‍රබල වී නැති බව ද පෙනී යයි. එය ටියුෂන් ව්‍යාපාරයට ද ඒතරම්ම ප්‍රබල මාධ්‍යයක් වී ඇත.

කෙසේ වුවද බොහෝ දෙනා මෙහිදී පෙන්වා දෙන අන්දමට පෝස්ටර් ඇලවීමට වෙනමම ස්ථාන ඇත්නම් එය වඩාත් යහපත් ය. එසේම එහිදී බොහෝ දෙනා පෙන්වා දෙන්නේ දැන්වීම් ඇලවීමට කොළඹ නගර සභා සීමාව තුළ දැන්වීම් පුවරු ඇතත් ඉන් පිට පළාත්වල එවැන්නක් දකින්නට නොමැති බවයි.

කෙසේ වුවද තාප්ප පෝස්ටර්වලින් වසන්නට කඩදාසි, පාප්ප දැවැන්ත ප්‍රමාණයක් යන අතර මේවා කුණුවලට එකතුවීම නිසා පරිසර හානියක් වෙන බව මෙහිදී පරිසරවේදීන් පෙන්වා දෙන කාරණයකි.