මම එක වසරට ළමයින් තෝරා ගන්නෙ වෙනස්ම ක්‍රමයකට – ශ්‍රී ලංකාවේ අවංකම රාජ්‍ය සේවකයා සම්මානය දිනූ විදුහල්පතිනියගේ කතාව

ලංකාවේ විදුහල්පතිවරයෙක් වීම යනු මෙකල නම් රත්නපුරයේ මැණික් ඉල්ලමක් පෑදීමක් වැනිය. පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරන සමයේදී මේ ඉල්ලම තවත් සරු වන්නේය. අද විදුහල්පතිවරයෙක් කියූ ගමන් අපගේ මතකයට එන චිත්‍රය වන්නේ ටයි පැලඳගත් හෝ ඔසරිය, සාරිය ඇඳි වතක් නොවේ. අතිසුඛෝපභෝගී නවීන පන්නයේ මෝටර් රථයකින් ඉස්කෝලේ එන අයෙකි. ඒ තරමට විදුහල්පති ධුරය අද ධනය උපද්දවන උල්පතක් බවට පත්ව ඇත්තේය. එහෙව් රටක 2019 වසරේ ලංකාවේ නීතිගරුකම, හා අවංකම රාජ්‍ය සේවක සම්මානය විදුහල්පති තනතුරකට හිමිවීම ඇතැම් විට පුදුමයට හේතුවන කාරණාවක්ද වනු ඇත්තේය.

එහෙත් එය එසේ සිදුවිය.එහි ඇති තවත් සුවිශේෂී කාරණයක් නම් ඇය කාන්තාවක් වීමයි. ලංකාවේ අවංකම රාජ්‍ය සේවිකාව ඒ මතුගම ශාන්ත මේරී විදුහලේ විදුහල්පතිනිය චන්දිමා ප්‍රියදර්ශනීය. ඇය එම සම්මානයෙන් පිදුම් ලැබුවේ ට්‍රාන්ස්පේරන්ස් ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදීය.එය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණේ මහාචාර්ය මොහාන් මුණසිංහගේ ප්‍රධානත්වයෙනි.

වෙනත් විදුහල්පතිවරයෙක් මගේ විදුහලේ ගුරුවරයකුට කියල තිබුණ ඔයගොල්ලන්ගෙ මැඩම් මේකට සුදුසුයි, ඒ නිසා මේ වැඩසටහනට මාව යෝජනා කරන්න කියල. ඒ ගුරුවරයා මගෙන් මේ ගැන විමසුවම මගේ එතරම් ඒ පිළිබඳ කැමැත්තක් තිබුණෙ නෑ. ඇත්තටම මම මේකට අකමැති වුණේ අනවශ්‍ය විදිහට තරහකාරයො, ඊර්ෂ්‍යාකාරයො ඇතිවෙලා ප්‍රශ්නයක් වෙයි කියල. මම හිතුවෙ අමාත්‍යංශ ලේකම්වරු වගේ අය විතරයි මේ වගේ දේවලට යෝජනා කරන්නෙ කියල. මෙම වැඩසටහනේ අවසන් දින ළංවෙද්දි මම මගේ නම යෝජනා කරන්න කියල කැමැත්ත දුන්න.

ගුරුවරු කණ්ඩායමක් මැදිහත්වීමෙන් තමයි මීට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කරල තිබුණෙ. මම දැනුවත්ව තමයි මගේ නම යෝජනා කරන්නෙ කියල මට අත්සන් කරන්න පිටුවක් තිබුණ. ඒකට විතරයි මම අත්සන් කළේ. ඒක එහෙම දාල මාසයක් දෙකක් තිබුණ කිසිම සද්දයක් නැතිව.”

2019 වසරේ අවංකම රාජ්‍ය නිලධාරියා අභිෂේක ගන්වන ඉන්ටග්‍රිටි අයිකන් 2019 සුපිළිපන් ප්‍රණාම සම්මානය සඳහා තම නම යෝජනා වූ ආකාරය ශාන්ත මේරි විදුහල්පතිනිය පැවැසුවේ එසේය.

මෙවර ලංකාවේ අවංක රාජ්‍ය නිලධාරිනිය වූ චන්දිමා ප්‍රියදර්ශනී තම වෘත්තීය ජීවිතය ආරම්භ කරනුයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරියක් ලෙසිනි. පසුව කළුතර දිස්ත්‍රික්කයේ, අගලවත්ත අධ්‍යාපන කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ලෙස රාජකාරි කළාය. බොහෝ විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙන්නේ විදුහල්පති ධුරයෙන් ඉවත්වන විට අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරයට පත්වීමයි. නමුත් චන්දිමා ප්‍රියදර්ශනී අධ්‍යාපන අධ්‍යක්ෂවරියක්ව සිට ශාන්ත මේරි විදුහල්පති ධුරය භාරගන්නීය. ඒ ඇය තමන්ට අකුරු ඉගැන්වූ මව් වෙනුවෙන් කෘතගුණ දැක්වීමටය. ඇය ශාන්ත මේරී ආදි සිසුවියකය.

එනිසා ශාන්ත මේරී විදුබිම ඇයට අලුත් තැනක් නොවීය. 1996 වසරේ සරසවි වරම් හිමිකරගනිමින් ශාන්ත මේරී මවට සමුදුන් ඇය නැවත 2013 වසරේ ශාන්ත මේරී විදුබිමට පය තබන්නේ විදුහලේ ඉහළම අසුනේ අසුන් ගනිමිනි. එතැන් සිට ඇය ශාන්ත මේරී නාමය අධ්‍යාපන කේෂ්ත්‍රය තුළ නංවාලීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරවූවාය.

ඇය වළල්ලාවිට ප්‍රාථමික විදුහලෙනුත්, වළල්ලාවිට මහා විදුහලිනුත් මූලික අධ්‍යාපනය ලබා ශාන්ත මේරී විදුහලට ඇතුළත් වනුයේ 6 වැනි ශ්‍රේණියේදීය. ශාන්ත මේරී විදුපියසේ ඉගෙනුම ලබන සමයේ පාසල් කෙළිබිමේ ‘චන්දිමා’ නාමය රැව්පිළිරැව් දුණි. පාසල් සමයේ බොහෝ කාලයක් ඇය ගත කළේ විදුහල් ක්‍රීඩාපිටියේය. ක්‍රීඩාවෙන් ඇය නැංවූ ජයකෙහෙළි ශාන්ත මේරී නාමය කලාපයේ, දිස්ත්‍රික්කයේ පාසල් අතර ඉහළින් තැබීමට හේතුවිය. ඇය වර්තමානයේ පාසල් කඳු දිවීමේ සංගමයේ උප සභාපතිවරියයි. එම සංගමයේ සභාපති ධුරය වසර දෙකක් ඇය දරනු ලැබුවාය. 1999 වසරේදී ඇය කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වනුයේ එම විශ්වවිද්‍යාල ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක කොටස්කාරිනියක් වෙමිනි.

එනම් කොළඹ ජනමාධ්‍ය පීඨයේ පළමුවැනි විද්‍යාර්ථීන්ගේ කණ්ඩායමේ සාමාජිකාවක් වෙමිනි. එවක එම උපාධි පාඨමාලාව සඳහා දිවයිනෙන්ම බඳවා ගනු ලැබුවේ 50 දෙනෙක් පමණි. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන පශ්චාද් උපාධිය හිමිකරගත් ඇය, විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි ඩිප්ලෝමාව හිමිකර ගැනීමට සමත්වූවාය.

‘මම විදුහල්පතිනියක් ලෙස මුහුණ දුන්න පළමු අභියෝගය තමයි 1 ශ්‍රේණියට පාසලට ළමුන් ඇතුළත් කර ගැනීමේදී එතෙක් පැවැති ක්‍රමවේදය වෙනස් කිරීම. පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගනිද්දි විදුහලට අයදුම්කරුවන්ගෙන් මූල්‍ය පරිත්‍යාග ගැනීමේ නීත්‍යානුකූල හැකියාවක් තියෙනව. නමුත් මේ හැකියාව අයුතු ලෙස භාවිත කරන නිසා තමයි විදුහල්පතිවරුන්ට ළමුන් ඇතුළත් කර ගැනීමේදී මූල්‍ය අක්‍රමිතකා චෝදනා එන්නෙ. ඒව අපි මාධ්‍ය ඔස්සේ නිතර දකිනව. නීත්‍යානුකුල මාර්ගයෙන් පිට ගිහින් මේ වගේ දේවල් කරන්න ගියාම තමයි ඔය ගැටලුව මතුවෙන්නෙ.

පවතින චක්‍ර ලේඛ අනුව අපට යම් අයෙක් මූල්‍ය ආධාරයක් දුන් පමණින් ළමයෙක් පාසලට ඇතුළත් කර ගන්න බැහැ. ඒ මූල්‍ය ආධාර ලබාගැනීම සහ ඒවාට ලකුණු දෙන පටිපාටියක් තියෙනව. විශේෂයෙන්ම ආදි ශිෂ්‍ය පදනමෙන් සහ සහෝදර පදනමෙන් පාසලට ළමුන් ඇතුළත් කර ගැනීමේදී මේ මූල්‍ය ආධාර පරිත්‍යාගවලට ලකුණු දිය හැකියි. නමුත් ඒ සඳහා දිය හැකි උපරිම ලකුණු සීමාවක් තියෙනව. කොපමණ මුදල් දුන්නත් ඒ ලකුණු සීමාව බිඳින්න හැකියාවක් නෑ. මම කළේ මේ චක්‍ර ලේඛයේ තියෙන කරුණු විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීම. මෙතෙක් අවිධිමත්ව කිසිදු විනිවිදභාවයක් නැතිව තිබුණු ක්‍රමයකට විධිමත් විනිවිදභාවයක් ඇති කිරීම. එතනදි මූල්‍ය අක්‍රමිකතා වීමට තියෙන ඉඩකඩ නැතිතරම්. ඒ වගේම මූල්‍ය ආධාර කරන කෙනාට අසාධාරණයක් වෙන්නෙත් නෑ.

මම පාසලට පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයේ ලකුණු දෙන පිළිවෙළ විධිමත් හා ක්‍රමවත් කළා. විශේෂයෙන් ආදි ශිෂ්‍ය පදනමෙන් ළමුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදය. ඒ ලකුණු සටහනේ ආකෘතිය දැක්කම තමන්ට කොතරම් ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්ද කියල ආදි ශිෂ්‍යය පදනමින් පාසලට ළමුන් ඇතුළත්කරන අයදුම්කරුවන්ට බලාගත හැකියි. මේ ක්‍රමවේදය මාව මේ සම්මානයේ අවසන් පස්දෙනා අතරට තේරෙන්න විශාල බලපෑමක් කළා. විනිශ්චය මණ්ඩලයේ විශේෂ අවධානයක් ඒ සඳහා යොමුවුණා. දූෂණ අක්‍රමිකතාවලින් තොර මනා මූල්‍ය විනයක් පාසල තුළ පවත්වාගෙන යෑමට මෙය ඉවහල් වුණා. මම ජීවිතයේ මුහුණදුන්න අමාරුම විනිශ්චය මණ්ඩලය තමයි ඒක.

ඔවුන් මම මීට පෙර සේවය කළ ස්ථානයන්හි රාජකාරීය කළ ආකාරය විමසා බැලුව. ඒ වගේම පාසලේ අධ්‍යාපනය, විෂය සමගාමී ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමට, ඉගෙනුම් ක්‍රමවේදයන්ට තාක්ෂණික පහසුකම් සැලසීම, ප්‍රජාව සමග ගනුදෙනු කිරීම වගේ දේවල් ගැනත් විනිශ්චය මණ්ඩලය මගෙන් විමසුව.”

ඇය තම ප්‍රතිපත්ති සෘජුව ක්‍රියාත්මක කිරීමේදී එයට අකුල් හෙලූ පිරිසක්ද සිටියහ. මේ ඒ ගැන ඇය පැවසූ දේය,

“මහජනතාවට සේවය කරද්දි කිසිදු භේදයකින් තොරවයි කටයුතු කළ යුත්තෙ. නමුත් කාන්තාවක් නොවුණා නම් මම මේ තනතුරේ ඉඳගෙන මුහුණ දුන් ප්‍රශ්නවලට මූණ දෙන්න වෙන්නෙ නෑ නේද කියල හිතුණ අවස්ථා තිබුණා. මේව ක්‍රියාත්මක කරද්දි මට නොයෙකුත් අපවාද, අවලාදවලට මුහුණ දෙන්න සිදුවුණා. ඇතැම් අය කිව්ව පාසලට අවශ්‍ය අය ඉන්නවා ඒ අයගෙ ළමයින් ගන්න ඕන කියල. ඒත් මම කිව්ව දේ තමයි සුදුසුකම් තියෙනව නම් ඒ අයගෙ දරුවන් පාසලට ගැනීමේ කිසිදු බාධාවක් නෑ කියල. මම කළේ නිවැරැදි දෙයක් නිසා ඒ පිළිබඳ මට කිසිදු චකතියක්, භයක් තිබුණෙ නෑ. ඒ නිසා අභියෝග, තර්ජන හමුවේ නොසැලී ඉන්න මට හැකිවුණා. අපේ සංස්කෘතිය ඇතුළෙ සමහර පිරිමි තවමත් හිතාගෙන ඉන්නව කාන්තාව කුස්සියට වෙලා ඉන්න ඕන කියල. කාන්තාවක්ට කෙලින් තීරණ අරගෙන සමාජයේ වැඩකරන්න බෑ කියල. බොහෝදෙනා හිතනව කාන්තාවන් අන් හැමගේ මතයන්ට කන්දීල වැඩකරන්න ඕන කියල. මම නම් හිතන්නෙ අපි සමාජයට යම් මෙහෙවරක් කරද්දි ගෑණු පිරිමි භේද අවශ්‍ය නෑ. අවශ්‍යවෙන්නෙ තමන් කරන රාජකාරියට අවංකවීමයි. ප්‍රජාවට සෙත සැලසීමයි. මගේ පාසල තුළත් මම වැඩකරන්නෙ මේ ආකල්පය අන් අයට දැනෙන විදිහට. මවක්, පරිපාලන නිලධාරිනියක්, සහ සමාජයට නිවැරැදි මග කියන්නෙක් කියන ලක්ෂණ එකතුවුණු අයෙක් තමයි විදුහල්පතිනියක් කියන්නෙ. ඉදින් කොපමණ බාධා ආවත් මම මේ තැන ඉඳන් කරන සේවය ගැන තෘප්තිමත්.”

මතුගම ශාන්ත මේරී විදුහල මෑත කාලයේදී මුළු රටේම අවධානය දිනා ගැනීමට සමත් වූවාය. ඒ පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා 2016 වසරේදී මීගහතැන්න ප්‍රාථමික විදුහලට බලහත්කාරයෙන් ළමුන් ඇතුළත් කිරීමට ගොස් එය ව්‍යර්ථ වූ විට බෙල්ලේ වැලදා ගැනීමට ගිය සිදුවීම නිසාය. එම සිද්ධිය ජනාධිපතිවරයා දක්වා දුරදිග ගියේය. අවසානයේදී එම ළමුන් පිරිස ඇතුළත් කර ගැණුනේ මතුගම ශාන්ත මේරී විදුහලටය.

“ඒ ප්‍රශ්නයෙදි ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් තමයි මේ ප්‍රශ්නය විසඳන්න මැදිහත්වුණේ. ඇමැතිවරයාට අවශ්‍ය වෙල තිබුණෙ අපේ පාසලට මේ ළමුන් ඇතුළත් කර ගැනීමට. ඒත් ඒ කියූ පලියට ළමයින් ඇතුළත් කරගන්න බැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් පවසා තිබුණා විදුහල්පතිනියගෙ කැමැත්තක් නැතිව ළමයින් ශාන්ත මේරී විදුහලට ඇතුළත් කරන්න එපා කියලා. ඒ නිසා මේ ප්‍රශ්නයට මැදිහත්වුණු ළමයින්ගේ දෙමාපියනුත්, මාවත් පර්ලිමේන්තුවේ විශේෂ කාමරයකදි සාකච්ඡා කරල ඇතිවූ එකඟතා මතයි ඒ ළමයින් පාසලට ඇතුළත් කරගත්තේ.”

‘‘ඉන්ටග්‍රිටි අයිකන් 2019 සුපිළිපන් ප්‍රණාම සම්මානය’’ සඳහා අවසන් වටයට මතුගම ශාන්ත මේරී විදුහලේ විදුහල්පතිනි චන්දිමා ප්‍රියදර්ශනීට අමතරව තවත් 4 දෙනකුගේ නම් යෝජනා වී තිබිණි. ඒ ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන කාර්යංශයේ සහකාර රේගු අධිකාරී ඒ. එම්. ඒ. එස්. අමරසිංහ, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බී. කේ. පී. චන්ද්‍රකීර්ති, තිරිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කේ. කුණානාදන් සහ යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති යන අයයි. මේ අය අතරින් අවසානයේදි එස්.එම්.එස්. 20000කට වැඩි සංඛ්‍යාවක් ලබාගනිමින් සුපිළිපන් සම්මානයෙන් පිදුම් ලැබුවේ චන්දිමා ප්‍රියදර්ශනී විදුහල්පතිනියයි.

ඉන්ටග්‍රිටි අයිකන් 2019 සුපිළිපන් ප්‍රණාම සම්මානය අවසන් ජයග්‍රාහකයා තේරීමට එස්.එම්.එස්. මනාප විමසීම පිළිබඳ සමාජයේ නොයෙකුත් විවේචන තිබුණි. එම විවේචන පිළිබඳ චන්දිමා ප්‍රියදර්ශනී විදුහල්පතිනිය පැවැසුවේ මෙවැනි කතාවකි.

“බොහෝ අය කිව්ව දෙයක් තමයි මේකත් හරියට ටී.වී.වල යන රියැලිටි වැඩසටහනක් වගේ කියල. ඒ එස්.එම්.එස්. වලින් ජයග්‍රාහකයා තෝරන නිසා. ඒනිසා විදුහල්පතිනියකට මේ වගේ තරග ගැළපෙන්නෙ නෑ කියල චෝදනා නැගුණා. නමුත් මේ තරගයේ එක කොන්දේසියක් තමයි එස්.එම්.එස්. මනාප. අපි නිතර දකින එස්.එම්.එස්. ජයග්‍රාහකයන් තෝරන තරගයක් නෙමේ මේක. මොකද එක දුරකථනයකින් යොමු කරන්න පුඵවන් එක එස්.එම්.එස්. පණිවුඩයක් විතරයි. අනෙක ට්‍රාන්ස්ප්‍රේරන්සි ආයතනයට අවශ්‍යවෙලා තිබුණ මේ පිළිබඳ පොදු මහජනයාගේ අවධානය දිනාගැනීමට. මේ වැඩසටහන ගැන ජනතාව දැනුවත් කරන්න. එතනදි යම් පුද්ගලයෙක් මේ තේරුණු අයට විරුද්ධව තියෙන චෝදනාවක් ගැන විනිශ්චය මණ්ඩලයට හෝ ඒ ආයතනයට පැමිණිලි කළොත් අපේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමේ බලය ඔවුනට තිබුණ. සම්මානය ලැබුණායින් පස්සෙ වුණත් එහෙම පැමිණිල්ලක් ලැබුණොත් එය සත්‍ය නම් ඒ සම්මානය අහෝසි කිරීමේ හැකියාවත් ට්‍රාන්ස්පේරන්සි ආයතනයට තියෙනව. ඒ නිසා මේ එස්. එම්. එස්. රියැලිටි තරු තෝරන තරගවලට වඩා වෙනස් සහ විධිමත්.”

“රාජ්‍ය සේවකයන් තෘප්තිමත් නොවීමට හේතු දෙකක් තියෙනව. එකක් ලද දෙයින් සතුටු නොවීම, අනෙක දේශපාලන බලපෑම් වගේ අයුතු බලපෑම් නිසා වැරැදි කිරීමට සිදුවීම. අපට පොත් දෙකක් තියෙනවා. ඒ දෙකට ඇතැම් රාජ්‍ය සේවකයො කියනව ‘බැහැ පොත’ සහ ‘නැහැ’ පොත කියල. ඒ තමයි ආයතනික සංග්‍රහය හා මුදල් රෙගුලාසි. මේ දෙක අනුගමනය කරල තමයි අපි රාජකාරී කරන්න ඕන. මේ දෙක අනුගමනය කරල ජයග්‍රහණය කළ නිලධාරීන් තමයි මේ තරගයේ අවසන් වටයට තේරිලා තිබුණෙ. රාජ්‍ය සේවකයන් ලෙස අපි බලාපොරොත්තු වෙන්නෙ ජීවත්වෙන වැටුප, ගෞරවය හා පිළිගැනීම. රාජ්‍ය සේවයෙදි අපිට මුහුණදෙන්න වෙන තාඩනපීඩන, නින්දා අපහසාවලට ලක්වෙද්දි අපිව කවුරු හරි අගයනව නම් ශක්තියක් ලැබෙනවා සමාජය වෙනුවෙන් ප්‍රජාව වෙනුවෙන් දැනෙන වැඩක් කරන්න. මේ සම්මාන ඊට පිටුබලයක්.”

ඇය කියන්නීය. චන්දිමා ප්‍රියදර්ශනී විදුහල්පතිනිය අවිවාහකය. රටේ පොදු මතය වන්නේ ජීවත් වීමට සල්ලි වැඩියෙන් ඕනෑ කරන්නේ විවාහ වී දරු පවුල නඩත්තු කිරීමට බවය. එහෙත් ඇය කියන්නේ අනුන්ගෙන් අල්ලස් ගෙන තම දරුවන්ගේ බඩකට පිරවීම රජයෙ කිසිදු සේවකයකුට නොවටිනා දෙයක් බවය. තමන්ගේ අම්මා තාත්තා අල්ලස් අරන් හිරේ ගියා කියලා ප්‍රසිද්ධ වුණාම ඒ දරුවන් කොහොමද සමාජයට මුහුණ දෙන්නේ. අපි රජයේ සේවකයෝ. ඒ වෙනුවෙන් අපට වැටුපක් ලැබෙනවා. එම වැටුපට අපි ජීවිතය සකසා ගත යුතුයි. ඇය සියලු රාජ්‍ය සේවකයන්ට කියන්නීය.

ලක්මාල් බෝගහවත්ත