වෛද්‍ය සාෆි ගැන හොයන්න අලුතෙන් CID කණ්ඩායමක් පත් කරයි

මව්වරුන් වන්ද්‍යාකරණයට ලක් කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහාබ්දීන් සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සිදුවීමට අදාළ නඩුව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (12 වැනිදා) විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට දැනුම් දෙන ලදී. එම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ එම්. තිලකරත්න විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුව සාක්ෂි රැස් කරන බවද ප්‍රකාශ කළේ ය.

නඩුවෙහි ඉදිරි කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණය වෙත දන්වා සිටි අතර අගතියට පත් පාර්ශ්වය මගින් ඉදිරිපත් කරන ලද සාෆි සහාබ්දීන් වෛද්‍යවරයා සතු දේපොළ හා ආදායම් පිළිබඳ නිසි පරීක්ෂණයක් ඉදිරියේදී සිදු කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී එකඟ විය.

එමෙන්ම වෛද්‍ය සාෆි විසින් ඇඳ ඉහපත් මාරුකර දරුවකු විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද ඉදිරියේ අධිකරණයට කරුණු වාර්තා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

තවද මෙම නඩුව සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීමට දැනට පවතින දුර්වල සාක්ෂි පිළිබඳවද කරුණු හෙළි කළ අධ්‍යක්ෂවරයා අවශ්‍ය වන්නේ නම් පරීක්ෂණ කටයුතු නැවත මුල සිට ආරම්භ කිරීමට සූදානම් බවද ප්‍රකාශ කළේ ය. විත්තිකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තම සේවාදායකයාට ඇප ලබා දීමේ කොන්දේසියක් ලෙස ඔහුට සෑම මසකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියම කර ඇති බැවින් ඒ සඳහා මඩකලපුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
එම ඉල්ලීමට අගතියට පත් පාර්ශ්වයේ නීතිඥයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර ඔවුන් කියා සිටියේ විත්තිකාර වෛද්‍යවරයා මේ වන විට අවස්ථා කීපයකදී එම ඇප කොන්දේසි කඩකර ඇති බවය.

වෛද්‍යවරයා සම්බන්ධ ගිණුම් පරීක්ෂණ කටයුතු සිදුකර ඒ සම්බන්ධව නඩු පැවරීම් සිදු කිරීමටද එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර සිටියේය.

ඒ අනුව නඩු විභාගය 2020 ජනවාරි මස 16 වැනි දින දක්වා කල් තබනු ලැබීය.
නඩු විභාගය අවසන් වීමෙන් පසු මාධ්‍යට කරුණු දැක්වූ යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංවිධානයේ සභාපති නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්නද ඉදිරියේදී මෙම නඩුවට අදාළ පරීක්ෂණ කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදුවන බවට සහතික විය හැකි බව කීය. එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විවිධ නිලධාරින් මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියද එහිදී යුක්තිය ඉටු නොවූ බවත්, නව අධ්‍යක්ෂවරයා යටතේ ඉදිරියේදී විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට හැකිවන බවත් කියා සිටියේය. නඩුව සම්බන්ධයෙන් පවතින කළු පැල්ලම ඉදිරියේදී ඉවත්කර ගැනීමට හැකිවන බවද කියා සිටියේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර සඳහන් කර සිටියේ මහ රෝහලේ සිදු කළ පරීක්ෂණ අනුව 521 දෙනකු මඳසරුභාවයට පත් කිරීම පිළිබඳ හෙළි වී තිබෙන බවත් අධිකරණ නියෝග අනුව පත් කරන ලද මහාචාර්ය පරීක්ෂණ කමිටුව මව්වරුන් සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් කළ යුතු බවට යෝජනා කර තිබෙන බවත් ඉදිරියේදී ඒ අනුව කටයුතු සිදු කළ යුතුව තිබෙන බවත්ය.

අරුණ පුවත්පත