අති දුර්ලභ සූර්යග්‍රහණයක් 26 වෙනිදා ශ්‍රී ලංකාවට

විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක් මෙම මස (26) වන දින පෙරවරු8.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමට අවස්ථාව උදා වී ඇතැයි ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කරයි.

මේ වසරේ නිමාවත් සමග ශ්‍රී ලංකාවාසීන්ට අත්විදීමට ලැබෙන මෙම වලයාකාර සූර්යග්‍රහණයේ මධ්‍ය රේඛාව උතුරු ප්‍රදේශයේ යාපනය නගරයට සහ කිලිනොච්චි නගරයට දකුණින් වැටී ඇති අතර මෙම ප්‍රදේශ යා කරන රේඛාවක සිට නරඹන්නෙකුට මෙම වලයාකාර සූර්යග්‍රහණය සමමිතිකව නිරීක්ෂණය කළ හැකි වේ.

එසේම ශ්‍රී ලංකාවේ වාකරේ නගරය සහ තලෙයිමන්නාරම යා කරන රේඛාවෙන් උතුරු ප්‍රදේශයට මෙම සූර්යග්‍රහණය වලයාකාර සූර්යග්‍රහණයක් ලෙසත් මෙම රේඛාවෙන් දකුණු ප්‍රදේශයට අර්ධ වලයාකාර සූර්යග්‍රහණයක් ලෙසත් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබී තිබේ.

මෙම සූර්යග්‍රහණය වලයාකාරව දිස්වීම විනාඩි 4 කට ආසන්න කාලයකට සීමා වන අතර එහි උපරිම අවස්ථාව වවුනියාවට පෙ.ව 9.36ට, කිලිනොච්චියට පෙ.ව 9.36 ට, යාපනයට පෙ.ව 9.35 ට සහ ත්‍රිකුණාමලයට පෙ.ව 9.38 ට පමණ දිස්වන බව ආතර් සී ක්ලාක් ආයතනය කියයි.

ඒ අනුව මෙම සූර්යග්‍රහණය කොළඹ සිට නිරීක්ෂණය කරන්නෙකුට චන්ද්‍රයාගේ ඡායාවෙන් සුර්යයා වැසෙන ප්‍රමාණය 84%ක් පමණ ද, අනුරාධපුරය ප්‍රදේශයේ සිට නරඹන්නෙකුට 87%ක් පමණද,වලයාකාර සූර්යග්‍රහණය සිදුවන මධ්‍ය රේඛාවේ සිට නරඹන්නෙකුට 94% ක්පමණ සුර්යයා වැසී යන ආකාරයක් නිරීක්ෂණය කළ හැකි වේ.

මෙම සූර්යග්‍රහණය පෙනීමේ අවස්ථාව සෞදි අරාබියෙන් ආරම්භ වී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාව හරහා ගමන් කර ඉන්දියන් සාගරය ඔස්සේ ඉන්දුනීසියාවෙන් පස්වරු 12.20 පමණ අවසන් වේ.

මෙම සූර්යග්‍රහණ අවස්ථාව කිසිසේත් පියවි ඇසින් නිරීක්ෂණය නොකළ යුතු අතර ඒ සදහා විශේෂිත සූර්ය පෙරහන් සහිත කණ්ණාඩි, වෑල්ඩින් කිරීමේදී භාවිතා කරන නොම්බර 14 කණ්ණාඩි, කඩදාසියක සිදුරක් සාදා එමගින් ලැබෙනඡායාව සුදු තිරයක් මත ප්‍රක්ෂේපණය කිරීමෙන් හෝ ජල බේසමක් ආධාරයෙන් නිරීක්ෂණය කළ යුතු වේ.

එක එල්ලේ පියවි ඇසින් මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමෙන් ඇස් වලට හානි සිදුවිය හැකි බව ආතර් සී ක්ලාක් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය මගින් මෙමසූර්යග්‍රහණය නිරීක්ෂණය සදහා උතුරු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පර්යේෂණ මට්ටමින් කදවුරු පැවැත්වීමට කටයුතු සූදානම්කරමින් පවතින අතර ඒවා මන්නාරම, වවුනියාව, යාපනය වැනි නගර කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතය.

සූර්යග්‍රණන යනු මොනවාද?

සූර්යයා සහ පෘථිවිය අතරින් චන්ද්‍රයා ගමන් කිරීම හේතුවෙන් චන්ද්‍රයාගේ සෙවනැල්ලෙන් සූර්යයාවැසී යන ආකාරය අනුව පූර්ණ සූර්යග්‍රහණ, අර්ධ සූර්යග්‍රහණ සහ වලයාකාර සූර්යග්‍රහණ ලෙස සූර්යග්‍රණහ ප්‍රධාන වර්ග 3 කට වෙන්කර දැක්වේ.

චන්ද්‍රයාගේ සෙවනැල්ලෙන් සූර්යයා සම්පූර්ණයෙන් වැසී යන්නේ නම් එය පූර්ණ  සූර්යග්‍රහණයක් ලෙස ද සූර්යයා අඩකින් වැසී යන්නේ නම් අර්ධ සූර්යග්‍රහණයක් ලෙස හදුන්වන අතර සූර්යග්‍රහණ අමාවක දිනයන් හිදී පමණක් සිදු වේ.

පූර්ණ සූර්යග්‍රහණ සහ අර්ධ සූර්යග්‍රහණ ඇතැම්විට එක් වර්ෂයකදී එකක් හෝ කිහිපයක් සිදුවන අතර සුර්යයා, චන්ද්‍රයා සහ පෘථිවිය ඒක රේඛීයව පිහිටීමෙන් ඇතිවන වලයාකාර සූර්යග්‍රහණලෙස හදුන්වන සූර්යග්‍රහණයක්  සිදු වන්නේ ඉතාම අල්පවශයෙන් වේ.

මෙහිදී චන්ද්‍රයාගේ සෙවනැල්ල සූර්යයා වටා ආලෝක වළල්ලක හැඩයක් දිස්වන ආකාරයක් දක්නට ලැබෙන අතර එම වලයාකාර බව  සමහර ප්‍රදේශ වලට අර්ධ සූර්යග්‍රහණයක් ලෙස දිස්වේ.

වලයාකාර සූර්යග්‍රණවල අතීතය

වලයාකාර සූර්යග්‍රහණ පිළිබද අතීතය දෙස බැලීමේදී 1955 වසරේ ජුනි මස 20 වන දින සිදු වූ සූර්යග්‍රහණය විශේෂ වේ. එහිදී සූර්යයා විනාඩි 7 ක් සහ තත්ත්පර 8 ක් පමණ සදින් වැසී තිබුණි.

1955 සිදුවූ මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවේ සුවිශේෂි සිදුවීම් ඇතිකළ එකකි.ජ්‍යෙතිර්වේදීන්ගේ අනාවැකි අනුව කාන්තාවන් වදකහ පානය කිරීමද ඉන් එකකි.
ශ්‍රී ලංකා වාසීන්ට වලයාකාර සූර්යග්‍රහණයක මෑත යුගයේ අත්දැකීම ලෙස 2010 වසරේ ජනවාරි 15 වන දින දර්ශනය වූ වලයාකාර සූර්යග්‍රහණයයි හඳුනාගත හැකිය.

එය විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට වඩාත් හොදින් දර්ශනය වූ අතර එය දකුණු ප්‍රදේශවලට දිස් වූයේ අර්ධ සුර්යග්‍රහණක් ලෙසිනි. එදින වලයාකාර සුර්යග්‍රහණ අවස්ථාව පෙ.ව 9.35 ට ආරම්භ වී ප.ව 3.37 ට අවසන් වූ අතර සූර්යයාගෙන් 94% ක් පමණ චන්ද්‍රයාගේ සෙවනැල්ලෙන් ග්‍රහණය විය. එහි උපරිම අවස්ථාව ප.ව 1.24 ට පමණ සිදු විය.

2010 වසරේ ජනවාරි 15 වන දින දැකගැනීමට හැකි වූ මෙම වලයාකාර සූර්යග්‍රහණය මධ්‍යම අප්‍රිකාවෙන් ආරම්භ වී ඉන්දියානු සාගරය මතින් මාලදිවයිනට ආසන්නයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වී දකුණු ඉන්දියාව, බුරුමය, මියන්මාරය, ලාඕසය හරහා ගමන් කර චීනයේ නැගෙනහිර වෙරළින් අවසන් වූ බවට වාර්තා වී ඇත.

ලංකාදීප