බටහිර ඕස්ට්‍රේලියාවේ මන්ත්‍රීවරුන්ගෙන් ආන්දෝලනාත්මක තීන්දුවක්

ඔස්ට්‍රේලියාවේ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේද ආධාරක මරණය නීතිගත කර තිබේ.

ඒ අනුව මේ වන විට ආධාරක මරණය නීතිගත කර ඇති ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සංඛ්‍යාව 2කි.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය තුළ ආධාරක මරණය නීත්‍යානුකූල බවට පර්ත් පාර්ලිමේන්තුව විසින් පනතක් සම්මත කරගෙන තිබේ.

මහජන ගැලරියේ ප්‍රීතිඝෝෂා සහ සංවේදී දසුන් මධ්‍යයේ ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනුමැතිය ලබාදුන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

ආධාරක මරණය නීතිගත කළ දෙවන ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය වන්නේද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයයි.

දරුණු ලෙස රෝගාබාධයකට ගොදුරුවී සිටින අයෙක් සිය ජීවිත කාලය අවසන් කළ යුතු බවට තීරණය කරන්නේනම් ඊට සහාය ඉල්ලීම සඳහා ආධාරක මරණය නීත්‍යානුකූල කිරීමෙන් අවස්ථාව හිමිවෙයි.

මීට පෙර වික්ටෝරියා ප්‍රාන්තයද ආධාරක මරණය නීතිගත කරනු ලැබුවේය.

ඒ පිළිකා රෝගයකින් දීර්ඝ කාලයක් පීඩා විඳිමින් සිටි කාන්තාවක්, ආධාරක මරණය සඳහා තමාට අවසර දෙන්නැයි අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් සලකා බලමින්ය.

මෙම පනත සම්මත කර ගැනීම සඳහා පර්ත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැය පහක පමණ කාලයක් ගතවී තිබුණි.

එමෙන්ම මෙම ආන්දෝලනාත්මක නීති කෙටුම්පත සම්බන්ධයෙන් සති කිහිපයක් පුරා උණුසුම් විවාද පැවති බවත් විදෙස් වාර්තාවල සඳහන්ය.

කෙසේ නමුත් මෙම පනත යටතේ ආධාරක මරණය ලඟාකරගැනීමට උත්සහ කරන පුද්ගලයා දරුණු ලෙස රෝගාතුරව පීඩාවිඳින්නෙක් විය යුතු අතර ජීවත්වීම සඳහා මාස හයක් පමණ කාලයක් පමණක් ඇති අයකු විය යුතුයි.

එමෙන්ම වසරක පමණ සිට ස්නායු විකෘතිතාවලින් පීඩා විඳින අයටත් ආධාරක මරණය සඳහා ඉල්ලුම් කළ හැකියි.