මැති ඇමතිවරු කෝටි ගානක සැප නිවාසවල ඉද්දී , සුසාන භූමියක් අද්දර දිවි ගෙවන පවුලක දුක්බර කතාව

අප රටේ ඇතැම් නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ජනයා බොහෝ සැප පහසුකම් සහිත ජීවිත ගත කරද්දී සො​හොන් කනත්තක් දෙපස ජලය, විදුලිය මෙන්ම මූලික අවශ්‍යතාවත් නොමැතිව කටුමැටි, පොල් අතු, ඉටි රෙදිවලින් වටවූ පැල්පත්වල දිවි ගෙවමින් යාන්තම් එදාවේල පිරිමසා ගන්නා, නමක් නැති ගමක දරු පැටවුන් සමඟ අපා දුක් විඳින ගම්මුන් පිරිසක් පොළොන්නරුව, දිඹුලාගල නැගෙනහිර මනම්පිටිය ගම්මානයේ කෙළවරින් අපට හමුවූහ.

මෙලොව උපන් ඕනෑම සත්වයෙකුට, ජීවත්වීමට අවශ්‍ය මූලික අයිතිවාසිකම් ලබාදීමට පවතින ඕනෑම රජයක් බැඳී සිටින බව බලධාරීන්ට පසක් කරමින්ම අනම්, මනම්, නොමැතිවම මනම්පිටියේ මේ සොඳුරු මිනිසුන්ගේ අඳුරු ජීවිත කතාවන් අප මෙලෙස හෙළිදරව් කරන්නේ අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත්, අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය මේ අසරණ මිනිසුන්ට යම් සහනයක් ලබාදෙනු ඇති බවට විශ්වාසය ද අවදි කරවමිනි.

වැස්ස වළාහක දෙවියන් දිවෙස් හෙළා අමෝරා වර්ෂාවක් කඩා හැළෙන්නට ඔන්න මෙන්න තිබියදී මේ ගම්මානයේ අසරණයින්ගේ හදවත් කම්පාවට පත්ව දෑස්වලින් කඩා හැළෛන්නේ දුක් කඳුළැලිය. එ් තම කිරිකැටි දරුවන් මෙන්ම තමන්ද වහලේ පොල් අතු, ඉටි රෙදි අතරින් ගෙබිමට ගලා හැළෙන වැසි ජලයෙන් බේරීමට නොහැකිව තෙත් බරිත වෙන නිසාවෙනි.

මේ දිනවල පවතින වර්ෂාවෙන් වහලෙන් ගෙබිමට බේරෙන වැසි ජලය දොර අද්දරින් එළියට ගලා යන්​නේ මෙකී අසරණ පවුල්වල දෑසින් කඩා හැළෙන කඳුළු බිඳුද සමගිනි.
ඒ මෙකී පවුල් වැසි දිනවල ලක්වෙන අපහසුතාවන් හා පීඩාවන්වල කරුණු කිහිපයක් පමණි.
රටපුරා, ගම් දනව් සිසාරා ගම්උදා සංකල්පය යටතේ පසුගිය කාලයේ නිවාස ව්‍යාපෘති ඉදිවුව ද මේ අසරණ දුගී ජනතාවගේ පොල් අතු – කටුමැටිගේ වෙනුවට ස්ථීර නිවසක් ඉදිකිරීමට බලධාරීන්ගේ, දේශපාලකයින්ගේ දෑස් විවර නොවීම පුදුමයට කරුණකි.
පොළොන්නරුවෙන් රටට බිහිවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ස්ථීර නිවාස ඉදිවෙද්දී නැගෙනහිර මනම්පිටිය වසමට අයත් අපා දුක් විඳින මේ ගම්මුන්ගේ දුක් ගැහැට බලධාරීන්ට නොපෙනීම ද විමතියකි.

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නැගෙනහිර මනම්පිටිය පොදු සුසාන භූමියට යාබදව දැඩි අාර්ථික දුෂ්කරතාවන් මෙන්ම මූලික අවශ්‍යතාවන් නොමැතිව දුෂ්කරතාවන්ගෙන් මිරිකී දිවි ගෙවන පවුල් 35ක සාමාජිකයින් එකසිය පනහකට වැඩි පිරිසකගේ ජීවිතද අනාරක්ෂිත භාවයට පත්වෙන්නේ මෙහි දිවා, රාත්‍රී සැරිසරණ වන අලි නිසාවෙනි.

නැගෙනහිර මනම්පිටිය සුසාන භූමියට ළඟින්ම මහා දුක් ගින්දර ගොඩක් මැද ඉතා අසීරුවෙන් ජීවත්වන විසි එක් වියැති එක් දරු මවක වන පී.ඩී. තක්‍ෂිලා හංසමාලී මහත්මිය ගමේ කාන්තාවන් විඳින පීඩාවන් හැඬූ කඳුළින් අපට මෙලෙස දිග හැරියාය.
‘‘මහත්ත​යෝ අපි වෙනත් ලෝකයකින් මේ ගමට කඩා වැටුණ පිරිසක් හැටියට තමා ජීවත් වෙන්නේ. මේ දරු පැටියත් සමග මහා අපායක පාප කර්මයක් ගෙවනවද කියලා අපිට හිතෙනවා. අපිට බොන්න වතුර ටිකක් නැහැ. විදුලිය නැහැ. ගමට එන්න පරක් නැහැ. ලොකුම ගැටලුව තමා ස්ථීර ගෙවල් නැති එක. මේ ඉඩම් මිනුම් කටයුතු කරලා අපිට බලපත්‍ර දීලත් නැහැ. අපි වැස්සට තෙමෙනවා. අව්වට වේළෙනවා. රෑ වෙනකොට වල් අලි කරදර. රෑට හරියට නින්දක් නැහැ. මේ ගමට නමක් නැහැ. පාරක් නැහැ. ග්‍රාම නිලධාරිතුමිය ඇවිත් අපේ දුක් ගැනවිලි ලියාගෙන ගිහිං බලධාරීන්ට දුන්නත් අපි මේ කනත්ත අයිනේ ලොකු බයකින් ජීවත් වෙනවා’’ තක්‍ෂිලා තම කිරිකැටි දරුවා ඇකයේ තබාගෙන එලෙස විඳින පීඩාවන් ඉදිරිපත් කළාය.

මේ ගමේ ඉන්නේ කුලි – මලී කරලා ජීවත් වෙන අය. කොටසක් කුලියට ගඩොල් කපලා ජීවත් වෙනවා. තවත් පිරිසක් කැලේ ගිහිං වේවැල් කපලා ජීවත් වෙනවා. ගොඩක් දෙනෙක් මනම්පිටිය මහවැලි ගඟෙන් කුලියට වැලි ගොඩ දාලා ජීවිතය ගැට ගහ ගත්තා. ඒ රස්සාවන් සියල්ල තහනම් කළා. දැං හරියට එදා වේලා හොයා ගන්න, කුලී රස්සාවක්වත් නැහැ. අපිට කියලා කුඹුරු ඉඩම් නැහැ. ගමේ ගොඩක් අයට සමෘද්ධි සහනාධාරයවත් නැහැ. අපි ජීවත් වෙන්නේ ගොඩක් ගැටලු මැද. අපේ දුක කියන්න කවුරුත් නැහැ.’’
තක්‍ෂිලා හංසමාලී දෑසින් පො​ෙළාවට රූරා වැටෙන කඳුළු බිඳු පිසලමින් තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කළාය.


‘‘උපන්නාට මේ ලොව වැනෙනවා විනා’’ අපි කන හැටි ලිපා දනී යන ප්‍රස්ථාව පිරුළ ද සිහිපත් කරමින් රට කරවන ඇත්තන්ට පොළොන්නරුවේ ඓතිහාසික දිඹුලාගල නැගෙනහිර මනම්පිටිය සුසාන භූමිය අද්දර දුක් ගැහැට විඳින මෙකී සිහල මිසුන්ගේ අසරණ ප්‍රාර්ථනා, සිහිනයන් දැනේවා, පෙනේවා කියා අපි අපේක්‍ෂා කරන්නෙමු.

‘‘මැතිවරණ කාලයට විතරක් මනාපය ගන්න අපේ ගමට පක්‍ෂ විපක්‍ෂ මැති ඇමැතිවරු එනවා. ඡන්දය ගත්තාට පස්සේ පැත්ත පළාතේ එන්නේ නැහැ. අපේ ගෙවල් හදලා ගමට ලයිට්, වතුර පහසුකම් දෙනවා කියලා අවුරුදු ගාණක් අපිව රැවැට්ටුවා. පහුගිය යහපාලන රජයෙන් මේ පළාතේ ගම්උදාවල් හැදුවා. නමුත් අපිට ගෙයක් හැදුවේ නැහැ.

හිටපු ජනාධිපතිතුමාත් පොළොන්නරුවේ සමහර පැතිවල විශේෂ නිවාස ව්‍යාපෘති ආරම්භ කළා. සමහරවිට අපි කනත්තක් අයිනේ ඉන්න නිසාත්, ගමට නමක් නැති නිසාත් එතුමන්ලාට අපිව නොපෙනෙන්න ඇති. අපිට හැම රජයකින්ම මහා ලොකු පොරොන්දු දෙනවා. ඒත් අපිට කිසිම සහනයක් නැහැ. අලුතින් පත්වුණ රජයෙන්වත් අපිට යම් සහනයක් ලැබෙයි කියලා විශ්වාස​යෙන් ඉන්නවා. අපි ජීවත්වෙන මේ කනත්ත අයිනේ දිළිඳු පවුල් දහයක් විතර ඉන්නවා. කනත්තට එහා තවත් පවුල් විසි පහක්, විතර මේ වගේම ගෙවල්වල ඉතා අමාරුකම් මැද ජීවත් වෙනවා. අපේ දුක් ගැනවිල්ල ඉරිදා ලංකාදීපයෙන් රටේ බලධාරීන්ට බලන්න ඉදිරිපත් කිරීම ලොකු පිනක්.

අපේ දුක බලලා, කියවලා පරිත්‍යාගශීලීන්, දානපතීන්, යම් ආයතන, සංවිධානයක් අපිට ස්ථීර ගෙයක් හදලා දුන්නොත් වැඩෙන පිංකමක්. අඩුම තරමේ අපිට වියළි සලාකයක්, දරුවන්ට ඉගෙන ගන්න පාසල් උපකරණ ටිකක් ලබා දුන්නත් ලොකු පිනක් මහත්තයෝ.’’
දිගු හුස්මක් හරිමින් සොහොන් කනත්ත අසල තවත් පැල්පතක ඉතා අසීරු​වෙන් ජීවත්වෙන තිදරු පියකු වන 38 වියැති බී.ජී. සුසන්ත රත්නායක මහතා එලෙස රටවාසීන්ගෙන් ආයාචනයක් කළේය.

වේලක් ඇර වේලක් කන, බොහෝ දිනවල කුසට අහරක් නොමැතිවම රාත්‍රි නින්දට වැටෙන මෙකී මිනිසුන්ගේ දුක් අඳෝනාවන්ට කවුරුත් පිහිටක් වේවිද? කිරිකැටි දරුවන් මෙන්ම පාසල් ගමන ආරම්භ කිරීමටත් පාසල් යන වයසේ දරුවනුත් සිටිනා මේ අති දුෂ්කර ගම්මානයේ පවුල්වලින් ඇසෙනා දුක්ඛිත, සංවේදී කතාවන් අප රටේ ධනපතීන්ට, පරිත්‍යාගශීලීන්ට මෙන්ම දේශපාලන ඉහළ පුටුවල වැජඹෙන උගත්, බුද්ධිමත් සැමට ඇස් පෙනී කළ හැකි උපරිම සත්කාරයන් කිරීමට මෙම කතාවන් ආශිර්වාදයක්ම වේවා යන්න අපි ද ප්‍රාර්ථනා කරමු.
පොල් අතු – ඉටි රෙදි තහඩු ඇතැම්විට ගඩොල් කැට කිහිපයකින් වටවූ අබලන් පැල්පත්වල දිවි ගෙවන මේ අඩුආදායම් ලාභීන්ගේ ජන ජීවිතය කවදා සංවර්ධනය කරා ගමන් කරයිද යන්න අප හමුවේ ඇති ප්‍රශ්නයකි.

එහෙත් මොවුන්ගේ ජීවිත මෙලෙස ආපස්සට ගමන් කිරීමටත්, නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය වෙද්දී මෙකී ගමට පමණක් ඒ අරුණලු උදා නොවන්නට පැවැති ආණ්ඩු – රජයන්, මෙන්ම බලයට පත් සෑම රජයක්ම, බොහෝ ආයතනයනුත් මෙහී වගකීම භාරගත යුතුව ඇත.
බීමට පිරිසිදු වතුර පොදක් නොමැතිවත්, රාත්‍රියේ අඳුරු දුරලා දරුවන්ට පොතක් පතක් පාඩම් කිරීමට විදුලි බුබුළක් දල්වා ගැනීමට විදුලිය නොමැතිනම්, ඉඩම් සඳහා බලපත්‍රත්, බොහෝ පිරිසකට සමෘද්ධි සහනාධාරත්, රජයෙන් හිමිවිය යුතු වරප්‍රසාද හිමිකම් නොමැතිනම් ඊට වගකිවයුත්තේ කවුරුන්ද යන්න නැවත නැවතත් සිහිපත් නොකරන්නෙමු.

බලයට පත්වන රජයන් මෙන්ම පළාතේ පරිපාලන බලධාරීන්ගේ වගකීම, යුතුකම හරි හැටි ඉටුවූවානම් බොහෝවිට මේ දුක් විඳින මිනිසුන් සංවර්ධනයෙන් පෙරට පැමිණ හමාරය.
ප්‍රාදේශීය සභාවේ සිට පළාත් සභාව දක්වාත්, මෙරටේ පාර්ලිමේන්තුවේ වැජඹෙන පක්‍ෂ – විපක්‍ෂ දේශපාලකයින්ට මෙවන්වූ කටුක, දුෂ්කර ගම්මානවල දිවි ගෙවන මිනිස් ජීවිතවලට වගකිවයුතු බව ද ඡන්දදායකයින් නාමයෙන් අපි සිහිපත් කර සිටිමු.
සංවර්ධනය වූවා යැයි, වෙනවා යැයි කියන පොළොන්නරුවේ දිඹුලාගල මනම්පිටියේ නමක් නැති ගමක සො​හොන් කනත්ත අද්දර දිවි ගෙවන මේ ගම්මුන්ට මැතිවරණ කාලවලදී හොල්මං කරයන පක්‍ෂ, විපක්‍ෂ පළාතේ දේශපාලනඥයිනට දැන්වත් මෙකී අසරණ පවුල්වල ඉල්ලීම් සපුරාලීමට සිත්සතන් පෑ​දේවා කියා අප සටහන් කරන්නේ ගමට සංවර්ධනයේ අරුණලු කැන්දාගෙන ඒම සඳහාමය.

හතළිස් පස් වියැති දෙද​රු මවක වන ඩී.පී. නිරෝෂා ශ්‍යාමලී මහත්මිය ද නමක් නැති ගමේ සුසාන භූමියට යාබදව දැඩි දුෂ්කරතා මැද දිවි ගෙවන කාන්තාවකි. ගමේ කාගේත් දුකට – සැපට පිහිටවෙන නිරෝෂා ශ්‍යාමලී මෙම ගමට පැමිණෙන්නේ මීට වසර දහයකට පෙරය. ගම්මුන්ගේ ජන ජීවිතයේ අඳුරු කතාව ඇය මෙලෙස අප හමුවේ දිග හැරියාය.

‘‘මහත්තයෝ අපි මේ ගමේ පදිංචියට ඇවිත් දැන් අවුරුදු දහයකට වැඩියි. අපිත් මේ පළාතෙම ඉපදිලා දුක් වින්ද අය. අපි පුදුම දුකක් විඳිනවා, ගමට පහසුකම් නැතිව, ගමට එන්නේ ග්‍රාම නිලධාරිතුමිය විතරයි. මේ සැරේ ඡන්දකාඩ් එක ගන්නත් අපිට තැපැල් කාර්යාලයට යන්න වුණා. ගමට එන්න හරිහැටි පාරක් නැහැ. මනම්පිටිය පානීය ජල යෝජනා ක්‍රමයේ වතුර ටැංකිය පෙනි පෙනී සමහර අයට බොන්න වතුර ටිකක් නැහැ. ගමට ලයිට් කණු දැමීමට ලයිට් ගන්න වරම් නැහැ. මොකද අපිට මේ ඉඩම්වලට තවම බලපත්‍ර ලැබිලා නැහැ. ඉල්ලීම් කරපු වාර අනන්තයි. සමහර ඉඩම් මැනලා නැහැ. වැසිකිළි පහසුකම් නැහැ.

‘‘අපිට ටී.වී. එකක් බලන්න රටේ ප්‍රවෘත්තියක් දැන ගන්න ක්‍රමයක් නැහැ. ඉඩෝර කාලයට තහඩු ගෙවල් රත් වෙනවා. එතකොට රෑට ගෙයින් එළියට බැහැලා හුළං ටිකක් වදින්න ඉද්දී වල් අලි අැවිත් ගහලා මරණවා. වැසි දිනවල මේ හැම පැල්පතකම වහළෙන් ගෙබිම තෙත් වෙනවා. පැල්පතේ එකම කාමරයයි. නිදා ගන්නත්, උයා ගන්නත් තියෙන්නේ එ්ක විතරයි. පාසල් යන දරුවනට පොතක් පාඩම් කර ගන්න විදියක් නැහැ. පංතියේ වැඩවලදී ටි.වී. එකේ ගිය ප්‍රවෘත්තියක් ලියාගෙන එන්න කියලා ගුරුවරු කියනවා. ඉතිං මේ ගමේ දරුවන්ට ඒ දේ කරන් යන්නත් පහසුකම් නැහැ. අපේ ගමේ ගොඩකට සමෘද්ධියවත් නැහැ. ඉතිං ගෙයක්, දොරක් හදා ගන්න බැංකු ණයක්වත් දෙන්නේ නැහැ, අඩු ආදායම්ලාභීන් කියලා. අපිට කාගෙන්වත් සහනයක්, පිිළිසරණක් නැහැ. අපි මේ ගමට වෙන ලෝකයකින් කඩා වැටිලා ජීවත්වෙන පිරිසක් කියලයි දේශපාලකයෝ, බලධාරීන් හිතාගෙන ඉන්නේ. ඡන්දේ කාලයට ගමට එන අය බොරු කියලා රවට්ටලා ඡන්දේ අරං ගියාට පස්සේ ආයේ දකින්නවත් නැහැ.’’
නිරෝෂා ශ්‍යාමලී මහත්මිය දැඩි වේදනාවකින් තම සංවේගය එලෙස පිට කළාය.

‘‘අපේ ගමට ගම්උදාවක් හදලා ​දෙන්න කියලා ලිඛිතව දැනුම් දුන්නා. ඒකෙන් වැඩක් වුණේ නැහැ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් මේ පළාතේ හැම දේශපාලනඥයෙක් ගාවටම ගිහිං මාස ගණන් වැඳ වැටුණා. ලිඛිතව දුන්නා අපිට ලයිට්, වතුර ටිකක් දීලා ස්ථීර ගෙවල් ටිකක් හදලා දෙන්න කියලා. ඒත් අදටත් නැහැ. බලයට පත්වුණ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාගෙනුයි – අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙනුයි අපි වැඳලා ඉල්ලනවා අපේ ගමේ මූලික ගැටලු විසඳලා දෙන්න කියලා. අපි විශ්වාස කරනවා පොළොන්නරුවේ දිඹුලාගල මනම්පිටියේ තියෙන නමක් නැති ගමට නමක් දාලා අපිට ස්ථීර ගෙවල් ටිකක් හදලා සොහොන් කනත්තෙන් අපිව නිදහස් කර ගනියි කියලා. ඒ වගේම ​අපේ දුකට රට වටේ සිටින විවිධ දානපතීන්, පරිත්‍යාගශීලීන් අපිට මොනවා හෝ ආධාර, උපකාර කරයි කියලත් අපි ඉතා කරුණාවෙන් පිංදීමෙන් ඉල්ලා සිටිනවා.’’
නි​රෝෂා ශ්‍යාමලීගේ දෑස්වලටත් හොරා ගලා ආ කඳුළු දෑතින්ම පිස දමමින් සිය සංවේදී කතාව හමාර කළාය.
වැස්සෙන්, අව්වෙන් බැට කන, සතා සිව්පාවන්ගෙන් පවා එල්ලවෙන පීඩාවන් හමුවේ දුෂ්කර ජීවිත ගත කරන මෙකී දරු පවුල්වල මව්පියවරුන් අහස දෙස බලමින් හූල්ලමින් ඉල්ලා සිටින්නේ ජීවත්වීමේ අයිතිය මිස යාන වාහන, රැකී රක්‍ෂා, මහ මන්දිර නම් නොවන බව ඔවුන්ගේ දුක්ගැනවිලි වලින් ඔප්පුවෙන කරුණකි.
නාගරික ප්‍රදේශවලත්, මහ මන්දිරවලත් සැප පහසුකම් මැද සුඛෝපභෝගී ජීවිත වෙනුවෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ දරු පැටවුන් සමග තුන්වේල කා ස්ථිර නිවසක් යට ජීවත්වීමේ අයිතියයි.

අප මෙම ගම්මුන්ගේ ඉඩම්වල ගැටලු සේම බලපත්‍ර නොමැතිකමෙන් පීඩාවට පත්ව සිටින තත්ත්වයට ලබාදෙන විසඳුම් කවරේද යන්න දිඹුලාගල මහවැලි කොට්ඨාස කළමනාකාර තුසිත හේරත් මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ එම ඉඩම් මිනුම් කටයුතු කර ඉතා ඉක්මනින් ඉඩම්වලට බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවයි.
මෙම ගම්මුන්ගේ මූලික අයිතිවාසිකම් සහ අනිකුත් ගැටලු සම්බන්ධව අප දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් පී.ටී.එම්. ඉර්ෆාන් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ එම ගම්මුන්ගේ මූලික ගැටලු සම්බන්ධව සොයා බලා ග්‍රාම නිලධාරිතුමිය හරහා වාර්තාවක් ලබාගෙන සමෘද්ධි සහනාධාරය ඇතුළු අනෙකුත් පහසුකම් ඉතා ඉක්මනින් ලබාදීමට මැදිහත්වෙන බවයි.
පොදු මහජනයා උදෙසා රජයෙන් උරුමදේත් ලබා ගැනීමට කරුමය ගෙවන මේ මිනිසුන්ගේ දුක් කම්කටුලු, ඔවුනට අරුමයක් නම් නොවේ.
සැබැවින්ම මෙකී දෙලොවක් අතර තනි වී සිටින දුගී, දුප්පත් අසරණ ගම්මුන්ගේ එකම ඉල්ලීම වනුයේ ජලය, විදුලිය, නිවාස හා රජය මගින් ලබාදෙන මූලික පහසුකම් පමණි.
එකී අයිතිය ඉතා කඩිනමින් මේ ගම්වාසීන්ට ලබාදීමට වත්මන් රජයේ සියලු මැති ඇමැතිවරුන්ගේ ප්‍රබල වගකීමක් මෙන්ම යුතුකමක් බව අපි එම ගම්වාසීන්ගේ නාමයෙන් සටහන් කරන්නෙමු.

ආර්ථික දුෂ්කරතා මෙන්ම දුප්පත්කමෙන් පෙළෙන මෙම ගම්මුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ඔබට යම් වියළි සලාක පාර්සලයක් හෝ පාසල් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යම් උපකාරයක්, සහනයක් වීමට හැකිනම් එය නිවන් මග විවර කර ගැනීමට වැඩෙන පිංකමක් වෙනවා නොවනුමානය.

සටහන හා ඡායාරූප
මනම්පිටිය නිමල් ජයරත්න

Leave a Reply

  Subscribe  
Notify of