අපායවල් වැනි කඩවල් වල නතර කරන දුර ගමන් බස් වලට වැඩ වරදී

දුරගමන් සේවා ක්‍රියාත්මක වන මාර්ග ආශ්‍රිතව සියලු පහසුකම් සහිතව බස් රථ නවතන පරිශ්‍ර කිහිපයක්, ඉදිරි දෙමස තුළ ආරම්භ කිරීම සඳහා, මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

දැනට දුරගමන් සේවාවේ යෙදෙන පෞද්ගලික සහ ශ්‍රී ලංගම බස් රථ 2නවතන ස්ථානවල මගීන් සඳහා,
ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති වීම,
සනීපාරක්‍ෂක පහසුකම් ගැටලු,
අපිරිසිදුකම, ආබාධිත පුද්ගලයන්ට උචිත නොවීම හා
ආහාර-පාන කළු කඩ මිලට විකිණීම වැනි කරුණු හේතුවෙන් මගීන් විසින් දිගින් දිගටම ප්‍රවාහන අමාත්‍යාංශයට කරන ලද පැමිණිලිවලට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගෙන තිබේ.

නිදහස ලබා වසර හැත්තෑවක් ඉක්මවා ඇතත් මෙරට ප්‍රවාහන සේවයතවමත් ඇත්තේ යටත් විජිත යුගයටත් එහා ගිය තැනක ය.මන්ද බස් කොම්පැනි තිබූ සුද්දාගේ පාලන සමයෙන් පසුව බණ්ඩාරනායක යුගයේදී බස් රථ සේවාව ජනසතු කළ නමුත් මගී ජනයාට පහසුකම් සලසන බස් රථ නැවතුම් ස්ථාන මේ දක්වාම සිහිනයක් පමණක්ම වී ඇති නිසා ය.

රියදුරාට සහ කොන්දොස්තරවරයාට බත්පැකට් සිගරට් බුලත් විට නොමිලයේ ලබාදෙන අවුරුද්ද අන්තිමට හා සිංහල අලුත් අවුරුද්දට සරම් කමිස, අරක්කු බෝතල්ද සංතෝෂම් ලෙස ලබාදෙන කඩ කෑලි හා රෝග-වසංගත තිප්පලවල බස්රථ නවතන බස් සේවකයන්, කිසිදාක මගී ජනයා ගැන වගේ වගක් තකන්නේ නැත.මගීන් කෑව ද, බීව ද, ආහාර පාන සෞඛ්‍යාරක්‍ෂිත ද, වැසිකිළි-කැසිකිළි පහසුකම් ඇත්ද, ආබාධිතයන්ට පහසුකම් තිබේ ද, බස් සේවකයන් තියා, වෙනයම් ‍ප්‍රවාහන බලධාරියකු සොයා බලන්නේ ම නැත.

ශ්‍රී.ලං.ගම මෙහෙයුම් අංශය පවසන පරිදි දිනකට පිටකොටුව මධ්‍යම බස් නැවතුමෙන් පමණක්, බස් රථ 1,500ක් දුර ගමන් සඳහා යොදවා ඇත.අනිකුත් නගරවලදී තවත් 500ක් පමණ දුරගමන් සඳහා එක්වේ.ජාතික ගමනා ගමන කොමිසම මඟින් දුරගමන් සේවා සඳහා පෞද්ගලික බස් රථ 3,100කට බලපත්‍ර ලබාදී ඇත.

මේ අනුව අවම වශයෙන් දිනකට බස් රථ 5,000ක් දුර ගමන් සේවාවල යෙදෙන අතර, ප්‍රධාන මාර්ගවල අවම වශයෙන් ඉන් අඩක්වත් ධාවනය වන්නේ යැයි සිතුවහොත් මගීන් ලක්‍ෂයකට වඩා දුරගමන් සේවා පහසුකම් අපේක්‍ෂා කරති..

දැනට මෙවැනි විවේක පහසුකම් පරිශ්‍රයක් ඇත්තේ, දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පමණි.එසේ හෙයින් පහසුකම් සහිත දුරගමන් සේවා බස්රථ පරිශ්‍ර ඉදිකිරීමේ යෝජනාව කාලෝචිත හා අත්‍යවශ්‍ය වූ කාරණයක් සේ සැලකිය යුතු ය.එසේම එය දියුණු රටක හෝ දියුණුවෙමින් පවතින රටක හෝ ලක්‍ෂණයකි.එනිසා, මෙය යථාර්ථයක් මිස සිහිනයක් නොවේවා.

දිවයින…
(උපුටා ගැනීමකි)

Leave a Reply

  Subscribe  
Notify of