ආණ්ඩුව මේ යන විදිහ වැරදියි – ටිල්වින්

රාජපක්ෂවරුන්ට හිතවත් කණ්ඩායම් රටේ ජනතාව සහ ආයතන බියවද්දමින් පාලනයක් ගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ​ලේකම් ටිල්වින් සිල්වා පැවැසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (4 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

හෙතෙම මෙලෙසද පැවැසීය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ සමාජයේ සැකයක් තිබුණා ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණීම ප්‍රජාතන්ත්‍රවාදයට කිසියම් බලපෑමක් වෙන්න පුළුවන් කියලා.

ඔවුන් බලයට ආපු ගමන්ම සුපුරුදු ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියා ආරම්භ කරලා තියෙනවා.

මේකට තවදුරටත් ඉඩ නොදිය යුතුයි. ආණ්ඩුව රාජ්‍ය යාන්ත්‍රණය පාවිච්චි කරලා බිය වැද්දීම් කරනවා. ඔවුන්ගේ ගෝලයොත් බියවැද්දීම් කරන වෙනම යාන්ත්‍රණයක් පවත්වාගෙන යනවා.

ජනාධිපති විශේෂ ගැසට් නිවේදනයක් මගින් යුද හමුදාවේ නිලධාරීන් සිවිල් සේවයට ගත්තා.

ඒක මේ වගේ වෙලාවක රටක වෙන්න ඕන දෙයක් නෙවෙයි.

ස්විට්සර්ලන්ත, තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගිහින් කියලා ප්‍රවෘත්තියක් තියෙනවා.

ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරලට එරෙහිව දඩයමක් යනවා. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය අකුලන මිලිටරි පාලනයට යන උත්සාහයක් දක්නට තිබෙනවා.

මෙය ආරම්භයේදීම පරාජයට පත්කළේ නැත්නම් හැමකෙනෙක්ගේම ගෙදරට අපරාධකාරයෝ ඇවිත් තට්ටු කරන්න පුළුවන්.

රට තුළ කලබලකාරී තත්ත්වයක් තියෙනවා නම් තමයි සන්නද්ධ හමුදාව කැඳවන්නේ සිවිල් කටයුතුවලට. අපේ රටේ යුද්ධයක් නෑ. සාමාන්‍ය තත්ත්වයක රට තියෙන වෙලාවක ජනාධිපති ඔහුගේ බලතල පාවිච්චි කරලා හමුදාව ගන්නවා, සාමාන්‍ය පොලිසිය කරන වැඩවලට.

මේකෙන් අඟවන්නේ හමුදාව මුල්කරගත්තු හමුදාමය පාලනයකට යන්න උත්සාහ කරනවා කියන එකයි. මෙය රටට හොඳ පූර්වාදර්ශයක් නොවෙයි.

-වරුණි පෙරමුණ-

Leave a Reply

  Subscribe  
Notify of