වසර 45 කට පෙර සප්ත කන්‍යා කඳු වැටිය සිපගත් ගුවන් යානයේ අබිරහස් කතාව

“කන්දේ හැපුන මහ වනන්තරේ

ඩී.සී 8 ගුවන් යන්තරේ

මරු ආ කල මිතුරේ

බේරෙන්න බෑ සසරේ

කාගෙද මට වරද නොතේරේ”

මෙම ගීතය දසක හතරකට ඉහතදී මෙරට ගීත ක්ෂේත්‍රයට එක් වුවත් අදටද නොනැසුන ජනප්‍රියත්වයකට හිමිකම් කියනු ඇත. එම ගීතය නිර්මාණය වීමට හේතු පාදක වු සිදු වීමට අදට (4) අවුරුදු හතළිස් පහක් සපිරෙනු ඇත. ඒ මෙරට බරපතළම ගුවන් අනතුර ලෙස වාර්තා වන බැවින් අපි ඒ පිළිබඳව මතකය අවදි කරන්නටත් ඒ දිනයේ අත්විඳීම් ඇති පුද්ගලයන්ගේ මතකය අවදි කරන්නටත් සිතුවෙමු.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඒ සුන්දර පරිසරය වෙත පිය නැගුවෙමු. මෙරට ප්‍රථම ජල විදුලි බලාගාරය වන විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය පිහිටි නොර්ටන් බ්‍රිජ් නගරය පසුකර බිංදුව කණුව පිහිටි ඩබල් කටින් නම් මංසන්ධියෙන් වමට හැරී ඉදිරියට ගමන් කරන විට අලංකාර ලක්ෂපාන දියඇල්ල දකින්නට ලැබේ. එම මාර්ගයේ ඉදිරියට ඇදෙන විට දකුණු පසින් අපට ඒ මනරම් කඳුවැටිය දැකිය හැකිය. සහෝදරියන් ලෙස එක පෙළට පිහිටා ති‌​ෙබන කඳු හතක් නිසා ඕ සප්ත කන්‍යා නම් ලැබුවාය.

දවසේ වැඩි කාලයක් මිහිදුම් සළුවක සැඟවී සිටින පරිසරයක සුන්දරත්වයෙන් හෙබි සුන්දර කඳු වැටියක් සේම කඳු තරණය කරන්නන්ගේ පාරාදීසයක් වු සප්ත කන්‍යා කඳු වැටිය එදවස ලොවම කම්පා කළ හා බහුතරයකගේ නෙතට කඳුළක් එක්කළ මතකයකට හේතු පාදක වන්නට විය. ඒ 1974 දෙසැම්බර් හතර වැනිදාය, බදාදා දිනයකි, වෙලාව රාත්‍රි 10.10 ට පමණ ඇත. ප්‍රදේශයම ගිනියම් කරමින් දෙදරුම් හඬනගමින් ගිනිජාලාවක් සප්ත කන්‍යා කඳු වැටියේ සිව්වන කන්දේ ගල් පර්වතයක ගැටින. ඉන්දුනීසියාවේ සිට මක්කම බලා බැතිමතුන් රැගෙන යමින් සිට D.C 8 නම් ගුවන් යානය මෙසේ අනතුරට පත්ව තිබිණ. එහි ගමන් ගනිමින් සිටි පුද්ගලයින් 191 ගේ ජීවිත මරු තුරුලට ගත් අතර ඔවුන්ගේ ශරීර කොටස් ලෙසට පත්වී ගස් ගල් උඩ විසිරී තිබිණි.

පසු දින සිට මෙරට මෙන්ම විදේශික ජනයාගෙන්, ආරක්ෂක අංශවලින් එම ප්‍රදේශයම පිරී ඉතිරී ගියහ. ඔවුන්ගේ ඥාතීන් මිතුරන් පැමිණ හැඬූ කඳුළින් සිය මව, පියා සහෝදරයා සෙවූ මුත් කිසිවකු හඳුනා ගැනීමට නොහැකි වී තිබේ. එම පිරිස අතර කාන්තාවන් 59 ක් සිටි බව පසුව අනාවරණය වූ අතර මියගිය පිරිසගේ ශරීර කොටස් එකතු කර කඳුවැටිය පාමුලම මිහිදන් කළ බවත් එය සිහි ගැන්වීමට ස්මාරකයක්ද ඉදිකරන ලදී. එමෙන්ම ගුවන් යානය පිපිරී යාමත් සමග විසිරී ගිය ගුවන් යානයේ කොටස් හා රන් ආභරණ, මුදල් ඇතුළු නොයෙකුත් ද්‍රව්‍ය එම ස්ථානය නැරඹීමට පැමිණි පිරිස් විසින් අහුලාගෙන ගිය බව පැවසෙන අතර එලෙස රැගෙන ගිය ගුවන් යානයේ කොටස් තවමත් ඇතැම් පුද්ගලයන් සන්තකයේ පරිස්සම් කර තබාගෙන සිටියදී අපට දකින්නට හැකි විය.

ඒ අතර ගුවන් යානයේ ටයරයක් නෝර්ටන් බ්‍රිජ් පොලිස් ස්ථානය ඉදිරිපිට තැන්පත් කර තිබෙන අයුරු දක්නට ලැබේ. එමෙන්ම ගුවන් යානයේ දොර පියනක කොටසක් හා තවත් කොටස් කීපයක් කීපදෙනකු සන්තකයේ තිබියදී දකින්නට හැකි විය. එහිදි හමුවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදෙනෙක් සිය අත්දැකීම මෙසේ පැහැදිලි කරන ලදී. ගම්ලත් රාළලාගේ පුංචි සිඤ්ඤෝ නමැති කොත්තැල්ලෙන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු ලංකා විදුලිය බලමණ්ඩලයේ සේවය කර විශ්‍රාම ලබා වෙළෙඳසැලක් පවත්වාගෙන යන්නෙකි. 1941 ජුනි මාසයේ උපත ලද්දෙක් වන ඔහු, මම ලංකා විදුලිය බල මණ්ඩලයේ විදුලි බලාගාරයේ වැඩ කරමින් සිටියේ රෑ 10.15 ට පමණ පොළොවත් එක්ක හෙල්ලුනා, රෑ ආවේ නෑ. පහුවදා උදේ මම එනකොට හමුදාවේ කට්ටියක් හම්බ වුණා ඒ අයත් එක්කම ගල යටට ගියා. ඒ යනකොට දැක්කේ මස් කඩයක වගේ මිනිස්සුන්ගේ කෑලි ගස්වල එල්ලෙනවා. මට ඒක බලන්න බෑ. මම ගෙදර ගියා. දවස් දෙක තුනකට පස්සේ ආයේ ආවා. එතකොටත් හොයන්නේ කළු පෙට්ටිය. මමත් හමුදාවේ කට්ටියත් එක්ක ගල මුදුනට ගියා ඒ ගිය වෙලාවේ ගලක් යට තියෙන කොටසක් පෙන්නුවා. පස්සේ කඹයක් දාලා හමුදාවේ අය මාව එතන්ට බැස්සුවා. ඒක කළු පෙට්ටියේ කෑල්ලක්. එතැනදී මාව ලිස්සලා ගිහින් ගහක රැඳුනේ. මම තමයි කළු පෙට්ටියේ ඉතිරි වුණ රෝල් කොටස හොයලා දුන්නෙ.

ඔය ගලට එහා පැත්තෙන් තමයි ගුවන් යානා යන්නේ. මේ ගුවන් යානය මේ පැත්තෙන් වැරදිලා ඇවිල්ල. එ්ක නිසා තමයි ගලේ හැපිලා තියෙන්නේ.

සප්ත කන්‍යා කඳුවැටිය පාමුල පිහිටි කොත්තැල්ලෙන මුරුත්තැන්න ගම්මානයේ පදිංචිකරුවකු වන සුමනදාස මහතා සිය අත්දැකීම විස්තර කළේ මෙලෙසය. එම කාලය වන විට ඔහුගේ වයස අවුරුදු 21 ක් පමණ වු අතර එදින රාත්‍රියේ එම ප්‍රදේශයේ නිවසක පැවති ප්‍රියසාදයක් සඳහා සහභාගි වී එමින් සිටියදී නිවස ආසන්නයේදීම ශබ්දයක් ඇහුනා.

ගිනි පත්තුවෙමින් ආව ගුවන් යානයක් මේ කන්දේ හැපුනා. ඒ කන්දේ තියෙන්නේ බට පඳුරු ඒවා ගිනි ගන්න ගත්තා. පහුවදා අපි බලන්න ගියා. යනකොට ගුවන් යානයේ සුන්බුන් විසිරිලා තිබුණා. මිනිස්සු ඔක්කොම මැරිලා. කෑලි කෑලි වෙලා හැම තැනම මළකඳන්. එ්වා ටිකක් ගෙනත් කඳු පාමුල භූමදානය කළා. අනික් එ්වා එහෙම්මම තිබුණා. අපි යනකොටම හෙලිකොප්ටරයක් ආවා. එ්ක දලු මඩුව ළඟ තමයි ගොඩ බෑවේ. එතැන මමයි රාමසාමියි, සත්තිවේලුයි හිටියේ. සත්තිවේල් කොළඹ රත්මලාන පැත්තේ ගේක වැඩ කරලා තිබුණේ. සත්තිවේල් තමයි අත් දෙකෙන් සංඥා කළා. එතකොට හෙලිකොප්ටරය දලු මඩුව ළඟ පිට්ටනියේ ගොඩ බෑවා. ඒ වුණාට එ්ක ආයේ උඩ නග්ගන්න බැරි වුණා. ඊට පස්සේ බලන කොට එ්කේ කාර්මික දෝෂයක්. ලන්සි මහත්තයෙක් ඇවිල්ලා දවස් ගානක් එතන තියාගෙන හැදුවා. අපි උදව් කළා ඒකෙ වැඩවලට. ඒ වෙනුවෙන් අපිට සුදු ලාම්පුතෙල් බෝතල් තුන ගානේ දුන්නා. අපිට ලොකු දෙයක් ඉතිං ඒක. අපේ ගෙවල්වලත් පාචිච්චි කළේ ලාම්පුනේ.

පහු වෙනකොට ඉතිං ගමේ මිනිස්සු විතරක් නෙමෙයි. පිට පළාත්වල මිනිස්සුත් ඇවිත් හැම තැනම ඇවිද්දා. ඒ අතරෙදි ඉතිං ගුවන්යානයෙන් කඩා වැටුන කොටස්, වගේ දේවල් මිනිස්සු අහුලගෙන ගියා.

ලංකාවේ හමුදාවෙන් ඇවිත් හිටියා. ඒ ආපු හමුදාවේ අය කොත්තැල්ලෙන ඉස්කෝලේ තමයි නැවතිලා හිටියේ. ඒගොල්ලෝ හෙව්වේ කළු පෙට්ටිය. ඒකෙ ටේප් කෑලි වගයක් තමයි හම්බවෙලා තිබුණේ. ඒ ගොල්ලෝ එ්ක අරගෙන ගියා. එතැනදී අමබදුවේ කියලා මේ ළඟ තේ වත්තේ හිටිය මනුස්සයෙක් ජැක් එකකට යටවෙලා මැරිලා තිබුණා.

එම අනතුරට 45 වසරක් ගෙවෙන මුත් තවමත් එම ප්‍රදේශයේ පැරණි පුද්ගලයන්ට එය අද ඊයේ වූවා වාගේය. එමෙන්ම ගුවන්යානයෙන් විසිරුණ කොටස් මතක සටහන් ලෙස බොහෝ නිවෙස්වල තබාගෙන සිටිති. ඇතැම් වර්ෂවලදී මිය ගිය පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් එම මෘත දේහයන් මිහිදන් කළ ස්ථානයට පැමිණ ඔවුන් සිහිකර ආගමික වතාවත් කරන බවද පැවසීය

•චන්දන ජයවීර – හැටන්

Leave a Reply

  Subscribe  
Notify of