ජාතික ජන බලවේගයට ඔයිට වැඩිය ජන්ද එයි කියලයි මම හිතුවේ -ආචාර්ය නිර්මාල් රංජිත්

ෙමවර ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත් අපේක්ෂයා වූ අනුර කුමාර දිසානායක හිමිවූයේ 3.16% ඡන්ද ප්‍රතිශතයකි. එවැනි අඩු ප්‍රතිශතයක් ලැබීමට හේතුව පිළිබඳ ජාතික ජනබලවේගය වෙනුවෙන් තම බුද්ධිමය ශ්‍රමය වැයකළ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග කළ සංවාදය පහතින් පළ වේ.

ජාතික ජන බලවේගයට මෙවර ජනාධිපතිවරණයෙදි ලැබුණු ප්‍රතිඵලය ගැන සෑහීමකට පත්වෙනවද?

මේ ප්‍රතිඵලය ගැන සෑහීමකට පත්වෙන්න බෑ. ඕනම කෙනෙක් ඡන්දයකට ඉදිරිපත්වෙන්නෙ තමන්ගෙ වැඩපිළිවෙළට ඡන්ද දායකයෙක්ගෙම හැම ඡන්දයක්ම ගන්න බලාපොරොත්තුවෙන්. එහෙම සියයට සීයක ප්‍රතිඵලයක් ලැබුණොත් තමයි සෑහීමකට පත්වෙන්නෙ. ඊට මෙහා පැත්තෙ කොහොමත් සෑහීමකට පත්වෙන්න බෑ. ඒ නිසා සෑහීමකට පත්වෙන්න පුළුවන් කියන ප්‍රශ්නය නෙමේ ඒ ප්‍රතිඵලය තේරුම් ගන්න පුළුවන්ද කියන එකයි වැදගත්.

මෙවැනි ප්‍රතිඵලයක් ජාතික ජනබලවේගයට ලැබෙන්නෙ එහි තිබුණු යම් අඩුපාඩුවක් නිසාද?

කිසිම අඩුපාඩුවක් නෑ. සාමාන්‍යයෙන් මම වුණත් හිතුව මීට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් එයි කියල. මිනිස්සු සමහර තැන්වලදි ඡන්දය පාවිච්චි කිරීමේ රටාවන් තියෙනව. එතැනදි සමහර රටාවන් හඳුනගන්න පුළුවන්. සමහර ඒවා බෑ. අප මැතිවරණයකට පෙර යම් යම් පුරෝකථන කරනවනෙ. ඒ පුරෝකථන කරන්නෙ මීට පෙර මිනිස්සු ඡන්දය පාවිච්චි කළ ආකාරය ගැන විපරම් කරල සහ ඊට පසුව ඇතිවන සමකාලීන දේශපාලන ප්‍රවණතා දිහා බලල. මේ මැතිවරණයෙදි තිබුණෙ පුරෝකථන කළ නොහැකි ප්‍රවණතා. මේ මැතිවරණය ව්‍යාපාරය තුළ ජයග්‍රහණය සඳහා යම් බලාපොරොත්තුවක් තැබිය හැකි අපේක්ෂකයෝ හිටියෙ දෙන්නයි. ඒ ගෝඨාභය රාජපක්ෂයි, සජිත් ප්‍රේමදාසයි. සජිත් ප්‍රේමදාසගෙ තත්ත්වය කොහොමත් පහළ මට්ටමකයි තිබුණෙ.

තමන් ඡන්දය දෙන අපේක්ෂකය​ෙග ජයග්‍රහණය ප්‍රාර්ථනයම ප්‍රාර්ථනා කරල ඡන්දය දෙනව නම්, මේ දෙන්න සම්බන්ධයෙන් තමයි ඒක යථාර්ථවාදී වුණේ. මේ මැතිවරණයෙදි ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්න අය හිතුව ඔහු අනිවාර්යයෙන්ම දිනන්න ඕන, ඔහු දිනීම ඇතුළෙ තමයි මේ රට ගලවා ගැනීමට, ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමට හැකිවෙන්න කියල. අනෙක් පැත්තට තිබුණ අදහස තමයි ගෝඨාභය රාජපක්ෂගෙ පැමිණීම ප්‍රජාතන්ත්‍රවාදය, ජනවාර්ගික සමගිය පැත්තෙන් යම් භයානක තත්ත්වයක් තියෙනව, ඒ නිසා ඔහු පරාජය කරන්න ඕන කියන එක. එහෙම අදහස් දෙකකට දෝලනය වෙලා තිබුණ. එවැනි තත්ත්වයක් තියෙද්දි සාමාන්‍යයෙන් තුන්වැනි අපේක්ෂකයකුට තියෙන අවස්ථාව නැතිව යනව. මොකද තුන්වැනි අපේක්ෂයකුට සාමාන්‍යයෙන් ඡන්දය දෙන්නෙ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් නෙමේ. ඒ අපේක්ෂකයා ඉදිරිපත් කරන අදහස් දිහා බලල. ඒ අදහස්වලට යම් වලංගුතාවක් ලබාදීම සඳහා. විශේෂයෙන් අනුර කුමාර දිසානායකට ඡන්දය පාවිච්චි කිරීමට යම් නැඹුරුවක් තිබුණු ඒ සඳහා යම් සූදානමක් තිබුණු පිරිස් අතර තිබුණ නැඹුරුව තමයි ගෝඨාභය රාජපක්ෂ දිනන එක වැළැක්විය යුතුයි කියන එක. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම මූලිකයි කියල අදහසක් තිබුණ. ජනාධිපතිවරණයෙදි ඡන්ද දායකයා ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනව යම්කිසි අපේක්ෂකයෙක් ජයග්‍රහණය කළ යුතුයි කියල. එතකොට ජයගත යුතු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම පළමුවැනි බලාපොරොත්තුව වෙනව. ඒක සාධකයක් වෙන්න පුළුවන් මේ ප්‍රතිඵලයට. ඒක උඩ තමයි මම මේ ප්‍රතිඵලය තේරුම් ගන්නෙ. කොහොම වුණත් මේ ප්‍රතිඵල ගැන මගේ කිසිම පුදුමයක් නෑ.

ඔබ තවමත් විශ්වාස කරනවද ජන බලවේගයෙ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න තෝරගත්ත පුද්ගලය නිවැරැදියි කියල…

කොහොමත් එක් පුද්ගලයෙක්නෙ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න ඕන. කණ්ඩායමක් නෙමෙයිනෙ. ඒක තීරණය වෙන්නෙ පුද්ගලය මත නොවේ. බොහෝ ජනමාධ්‍ය ජාතික ජන බලවේගයට විරුද්ධවනෙ කටයුතු කළේ. බොහෝ මාධ්‍යවල අනුර කුමාර ඉලක්ක කරපු ව්‍යාපාරයක් තිබුණනෙ. ඔවුන් පවසනව අනුර කුමාර නිසයි මේ ඡන්ද අඩුවුණෙ කියල. මට අනුව නම් ඒක කිසිම තේරුමක් නැති කතාවක්. ජාතික ජන බලවේගයට ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම අපේක්ෂකය සහ ඉතාම හොඳට අපේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් පුද්ගලය තමයි අනුර කුමාර දිසානායක කියන්නෙ. ඒනිසා ඒක අපේක්ෂකයා පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. එතන තිබුණේ ජනාධිපතිවරණයෙ ස්වභාවය.

අනුර කුමාර දිසානායක මෙවර මාක්ස්වාදයෙන් ඉවත්වෙලා මැද මාවතකට පැමිණ තමයි මෙම වැඩපිළිවෙළ උදෙසා නායකත්වය දෙන්නෙ. නමුත් ජනතාව ඒ පිළිබඳවත් දක්වා තිබෙන ප්‍රතිචාරය සුබවාදී නෑ නේද?

මිනිස්සුන්ට වැදගත් මාස්ක්වාදය තියෙනවද නැද්ද කියන එක නෙමේ. ඕව එක එක්කෙනා නිකං කියන කතා. මාක්ස්වාදී අදහස් සම සමාජ පක්ෂයෙ තදින් තියෙන කාලෙ මිනිස්සු ඡන්දය දුන්න. 1947 මැතිවරණයෙන් විශාල බලයක් වාමාංශික පක්ෂවලට ලැබුණ. බුදුදහමට විනය කරනව කියල ඔවුන්ට විවේචන තිබුණත්, ඒ අයට බලය තිබුණු ප්‍රදේශවල ජනයා විශාල වශයෙන් ඔවුන්ට ඡන්දය දුන්න. අනිත් පැතිවල දුන්නෙ නෑ. ඒ වගේ ජනතා විමුක්ති පෙරමුණ ගත්තත් ඒක පටන් ගත්ත කාලයෙ ඉඳල මේ වෙද්දි විවිධ වෙනස්කම් හරහා ගමන් කරල තිබෙනවා. ඒ අයගෙ අදහස් විතරක් නෙමේ, ඔවුන් ආමන්ත්‍රණය කරන සමාජ කොටස මේව වෙනස්වෙලා තියෙනව. නවසිය හැත්තෑ ගණන්වල, අසූ ගණන්වල වගේ ජවිපෙට ආකර්ෂණය වුණේ ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න දිළිඳු පවුල්වල තරුණ කොටස්. ඒ නිසා තමයි ඔවුන් කැරලි ගහන්න පෙලඹුණෙ. එහෙම තරුණ පිරිසක් ලංකාවෙ දැන් නෑ. ඒ කාලයෙ වගේ නෙමේ දැන් විශාල ආර්ථිකය වෙනසක් වෙලා තියෙනවා. විශාල පෞද්ගලික අංශයක් ඇතිවෙලා තියෙනව. ඒ දවස්වල තිබුණු රැකියා හිඟය, තරුණ අසහනය හැත්තෑ ගණන්වල, අසූ ගණන්වල තිබුණු ආකාරයට නෙමේ දැන් තියෙන්නෙ. ඒ කාලෙ වගේ අවස්ථා නැතිකමක් දැන් නෑ. ඒ කාලෙ තිබුණ දෙයක් තමයි අධ්‍යාපනය ලැබුණු තරුණයන්ට අවස්ථා නැතිවීම. ඒ නිසා අය තුළ පවතින ක්‍රමයට විරුද්ධව විශාල කලකිරීමක් තිබුණ. අද පවතින ක්‍රමයට තියෙන කලකිරීම එදා තිබුණු විදිහට නෙමේ තියෙන්නෙ. ඒ නිසා ජවිපෙ වගේ ක්‍රම විරෝධී දේශපාලන පක්ෂයකට ඒ කාලයෙ තිබුණු ආකර්ෂණය අද නෑ. අද පැරණි ජනතා විමුක්ති පෙරමුණේ දැක්ම නියෝජනය කරනව පෙරටුගාමී සමාජවාදී පක්ෂය. නමුත් ඔවුන්ට මේ මැතිවරණයෙදි ඡන්ද 8000ක් වගේ තමයි ලැබුණෙ. ඒකෙන් තේරෙනවා ඒ ආකර්ෂණය අද වමට නෑ කියල.

ඒ නිසා අද මහජනයාගේ දේශපාලන ක්‍රියාකාරිත්වයේ විශාල වෙනසක් වෙලා තියෙනව. ඒ වෙනස්කම් ඇතුළෙ තමයි ඒව තේරුම් ගන්න ඕන. මම දිගටම ජාතික ජන බලවේගයත් එක්ක වැඩකරනවා. මම නම් බලන්න ඔය විදිහට නෙමේ. සමහර දේශපාලන ව්‍යාපාරවලට විවර වන අවස්ථා කලින් තීරණය කරන්න බෑ. 1951දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටෙව්වා, නමුත් 1952 තිබුණු මැතිවරණයෙදී ඔවුන්ට ලොකු බලයක් ලැබුණෙ නෑ. නමුත් 1956දී ඒ අය ආණ්ඩුවක් පිහිටෙව්ව. ඒ වගේම 1956දී එක්සත් ජාතික පක්ෂය විශාල කඩාවැටීමකට ලක්වුණා. නමුත් 1977 ඔවුන් අතිවිශාල බලයක් ලබාගත්ත. 1982 ඉඳල ගත්තම එජාපය විශාල පරිහානියකට ලක්වෙලා තියෙනවා. එජාපයේ වර්තමානයේ තිබෙන මේ කඩාවැටීම රනිල් වික්‍රමසිංහ නිසා ඇතිවූවක් නෙමේ. අසූදෙකේ පටන් ගත්ත එකක්. මම හිතන්නෙ එක්සත් ජාතික පක්ෂයට ආයෙත් ගොඩඑන්න බෑ කියල. තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට ලංකාවෙ දේශපාලනයෙ පවතින්න හේතුවක් නෑ. මේ ජනාධිපතිවරණයෙදි උතුරු නැගෙනහිරින් ලැබුණු විශාල ඡන්ද ප්‍රමාණය එජාපයට ලැබුණු එකක් නෙමේ. ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ලැබුණු ඡන්ද ප්‍රමාණයක්. ඒ නිසා ඒව අයින් කරල බැලුවොත් එජාපයට සියයට 30 වගේ ඡන්ද ප්‍රමාණයක් තමයි තියෙන්නෙ. ඒකෙත් පාක්ෂික ඡන්ද ප්‍රමාණය හුඟක් අඩුයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයෙ විශාල අර්බුදයක් තියෙනව. ඒ අර්බුදය ඇතුළෙ ගෝඨාභය රාජපක්ෂගෙ නායකත්වයෙන් තියෙන පෙරමුණ ශක්තිමත් වෙනව. ඒක ඉදිරියට තවත් ශක්තිමත් වෙනව. මම හිතන්නෙ ඊළඟ මහ මැතිවණයේදි ඔවුන්ට ජනාධිපතිවරණයට වඩා ඡන්ද වැඩිවෙන්න පුළුවන්.

දේශපාලනයෙදි එක් පාර්ශ්වයක් විතරක් ඉන්නබෑ. ඒකට ප්‍රතිපක්ෂ කඳවුරක් තිබිය යුතුයි. ඒ නිසා මම හිතන්නෙ එජාපයෙ දියවීම මගින් ඇතිකරනව නව විවරයක් අපේ දේශපාලනයෙ. ඒක පුරවන්න දැනට හැකියාව වැඩිපුරම තියෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණට සහ ඒකත් එක්ක ගොඩනැගෙන ජාතික ජනබලවේගයට කියල තමයි මගේ අදහස. ඒ දැක්ම අනුවයි මම වැඩකරන්නෙ.

ශ්‍රී ලාංකීය දේශපාලන ව්‍යාපාරය තුළ වමේ දේශපාලනය තවදුරටත් වලංගු නැතිද?

සාම්ප්‍රදායික වමේ දේශපාලනය ඉවරවෙලා දැන් ගොඩක් කල්. මගේ අදහස නම් පැරණි වම එනම් සමසමාජ, කොමියුනිස්ට් ව්‍යාපාරය වගේ ව්‍යාපාරවල මූලික වශයෙන් පරිහානිය පටන්ගත්තෙ 1953 හර්තාලයෙන් පස්සෙ. මැතිවරණ ව්‍යාපාරවලදී යම් බලයක් තිබුණ නායකත්වය ගොඩනගාගෙන තිබුණු යම් බලයක් නිසා. 1977න් පස්සෙ ඒකත් නැතිම වෙලා යනව අපි දැක්ක. ඊට කලින් 70දි වගේ මැතිවරණ සමගි පෙරමුණ වගේ සන්ධාන නිසා යම් බලයක් ගොඩනගා ගන්න පුළුවන්වෙලා තිබුණ. වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ වමේ තිබුණු බලය 80න් පස්සෙ අඩුවුණා. ජනතා විමුක්ති පෙරමුණෙත් පැරණි වාම විප්ලවකාරී නැඹුරුව 1989 පස්සෙ නැතිවෙලා ගියා.

ජනතා විමුක්ති පෙරමුණ ජාතිකවාදී මතවාදය නියෝජනය කළ අයත් සමග අත්වැල් බැඳගත් සමයක් තිබුණ. ඒ සමය ගැන ඔබගේ අදහස කුමක්ද?

ඔව්, 1989 පස්සෙ ඒ අයට යම්කිසි ශක්තියක් ගොඩනගා ගන්න පුළුවන් වුණේ අනූ ගණන්වල අග හා 2000 මුල් භාගයේ ජාතිකවාදී වීම නිසා. එල්.ටී.ටී.ඊ. යුද්ධය පැවති කාලයෙ එල්. ටී. ටී. ඊ. එකට විරුද්ධව අදහස් පාවිච්චි කරල ඒවායින් තමයි උඩට ආවේ. නැතුව පැරණි වාමාංශික ප්‍රවේශයකින් නෙමේ. හැබැයි ජාතිකවාදී අදහස් නිසාම විතරක් නෙමෙයි මේ පිබිදීම තිබුණෙ. ප්‍රධාන ධාරාවේ දේශපාලනයත් එක්ක තිබුණු කලකිරීමත් එක්ක. ඒවත් එක්ක තමයි ඒව හැදුණෙ. ආයෙත් සාම්ප්‍රදායික වාමාංශික දේශපාලනය කියන එක තියෙන්න බෑ. නමුත් ධනවාදයට තියෙන විරෝධය වගේ දේවල් තවදුරටත් තියෙන සහ අවශ්‍ය දේවල්. ඒකට වාමාංශික කියල ලේබලයක් අමුතුවෙන් අවශ්‍ය නෑ. උදාහරණයක් විදිහට එංගලන්තයෙ කම්කරු පක්ෂයෙ ජෙරමි කෝබන් විසින් ඉදිරිපත් කරපු වැඩපිළිවෙළ ගත්තම ඒවයෙ විශාල වශයෙන් තියෙනව ධනවාදී ලෝක පර්යායයට තියෙන විරෝධය. එහෙම ඒව තියෙනව. යම් යම් අවස්ථාවල ඒව මතුවෙනව.

ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දියාවෙ මෝදි, රුසියාවේ පුටින්, මහතීර් මොහොමඩ්, ඉම්රාන් ඛාන් වගේ නායකයන්ට තියෙන ජනප්‍රියත්වය තමයි, ලෝක නව දේශපාලන ප්‍රවණතාව. මේක කෙනකුට කියන්න පුළුවන් දක්ෂිණාංශ ජනප්‍රියවාදයක් කියල. ඒ වගෙ එකක් තමයි ලංකාවෙ දැන් දේශපාලනයෙ අධිපති වෙලා තියෙන්නෙ. ඒක තව ටිකක් කල් එහෙම තියෙනව. පාරවල්වල චිත්‍ර අඳින එක වගේ දේවල් බලද්දි ඒව හරහා මතුවෙන්නෙ ඒ කැමැත්ත. හැබැයි ගෝඨභය රාජපක්ෂට ඉදිරියෙ තියෙන ආර්ථික අභියෝගත් එක්ක ගත්තම ලේසි නෑ ඒවා පවත්වගෙන යන්න. ඒවා මගින් අපේක්ෂා කරන ඉලක්කවලට ළඟාවීම ලේසි නෑ. අධිපති සංවර්ධන මාදිලිය කියන එක මූලික වශයෙන් අසමත් වෙච්ච එකක්. ඒ නිසා ලංකාවටත් ඒක වීමට නියමිතයි.

වම නැති බව ඔබ කීවත්, පෙරටුගාමී වගේ පක්ෂ තවමත් මෙරට ක්‍රියාකාරී දේශපාලනයේ නියැළෙනව. වමට තවදුරටත් පැවැතිය යුතු නම් සිදුවිය යුතු වෙනස්කම් මොනවාද?

වම කියන වචනය ගැන මට එච්චර උනන්දුවක් නෑ. වම නෑම කියල මම කියන්නෙ නෑ. දේශපාලනය කියන්නෙ යහපත කියන්සානෙ මොකක්ද කියල සාමූහිකව තීරණය කිරීම. එනම් අපි යහපත වෙනුවෙන් තමයි වැඩ කරන්නෙ, අපේ සමාජය යහපත් විදිහට සකස් කරන්න ඕන කියල. ඒකට විවිධ අර්ථකථන තියෙනව. 2015 ජනාධිපතිවරණයෙදි මහින්ද රාජපක්ෂත්, 2019 ගෝඨාභය රාජපක්ෂත් පෙනී සිටියෙ ජාතික ආරක්ෂ‌ාව, ජාතික ස්වෛරීභාවය, ඒකීයත්වය සීග්‍ර ආර්ථික සංවර්ධනය, විනයගරුකත්වය ලංකාවෙ තියෙන සිංහල බෞද්ධ ජාතිකත්වය වගේ දේවල් මුල්කරගෙනයි. ඒ මගින් ඇතිකරගන්න යම්කිසි දේශපාලන අදහස් පද්ධතිය තුළින් අපට යහපත ළඟා කරගත හැක්කේ කියන එක තමයි ඔවුන් අදහස් කළේ. ඊට වෙනස්ව තව අදහසක් තිබුණ. 2015 මැතිවරණ ව්‍යාපාරය තුළ මහින්ද රාජපක්ෂ පරදවමු කියන සටන් පාඨය ඇතුළෙ ඒක හැංගිලා තිබුණෙ. මම දන්න විදිහට ඒක සෝභිත හාමුදුරුවන්ගෙ ව්‍යාපාරය ඇතුළෙ යම්කිසි මට්ටමකින් ඒක තිබුණ. ඒ තමයි සමාජ සාධාරණත්වය, යහපාලනය, ප්‍රජාතන්ත්‍රීයකරණය, විවිධ ජනවර්ගයන් අතර සහජීවනය වගේ දේවල්. ඒක ගෝඨාභය රාජපක්ෂගෙන් නියෝජනය වන අදහස් පද්ධතියට වෙනස්. 2015 ආණ්ඩුව මේ අපේක්ෂාවන් ඉටුකළේ නෑ. ඒක නිසා මේක නියෝජනය කළ අයට ලොකු කලකිරීමක් ඇතිවුණා. ඒක නිසා තමයි 2019දි 2015 පෙරමුණ ආපහු හදන්න බැරිවුණේ. මෛත්‍රිපාලයි, රනිල් වික්‍රමසිංහයි අතර තියෙන අදහස් පද්ධතිය යුක්ති සහගත වන ආකාරයෙන් නෙමේ කටයුතු කළේ. ඒ නිසා ඒ සන්ධානය විනාශ වුණා. මං දකින විදිහට වර්තමානයෙ ඒ අදහස් පද්ධතිය යම්කිසි ආකාරයකට නියෝජනය කළේ, කරන්නෙ ජාතික ජන බලවේගය. ඒක වාමාංශිකද කියන එක වැදගත් නෑ. ඒක තුළ තියෙනව යහපත කියන එක. ගෝඨාභය රාජපක්ෂ ව්‍යාපෘතියෙ තියෙන සංවර්ධන මාදිලියෙ තියෙන ප්‍රශ්න මතුවෙද්දි ඒකට ආකර්ෂණයක් වෙන්න පුළුවන් අපේ සමාජයේ. ඒ අසහනය නියෝජනය කිරීමේ හැකියාව තියෙනව යහපත කියන මං මේ කියන අදහසට. ඒක තමයි ඉදිරියට ගෙනි යන්න ඕන.

බොහෝ මාධ්‍යවල අනුර කුමාර ඉලක්ක කරපු ව්‍යාපාරයක් තිබුණනෙ. ඔවුන් පවසනව අනුර කුමාර නිසයි මේ ඡන්ද අඩුවුණෙ කියල. මට අනුව නම් ඒක කිසිම තේරුමක් නැති කතාවක්. ජාතික ජන බලවේගයට ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම අපේක්ෂකය සහ ඉතාම හොඳට අපේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් පුද්ගලය තමයි අනුර කුමාර දිසානායක කියන්නෙ

එජාපයේ වර්තමානයේ තිබෙන මේ කඩාවැටීම රනිල් වික්‍රමසිංහ නිසා ඇතිවූවක් නෙමේ. අසූදෙකේ පටන් ගත්ත එක. මම හිතන්නෙ එක්සත් ජාතික පක්ෂයට ආයෙත් ගොඩඑන්න බෑ කියල. තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට ලංකාවෙ දේශපාලනයෙ පවතින්න හේතුවක් නෑ

••ලක්මාල් බෝගහවත්ත

Leave a Reply

  Subscribe  
Notify of