බයික් එක හදලා දෙන්නම් කියා රවටා දූෂණය කොට පණ පිටින් මරා දැමූ පශු වෛද්‍යවරියගේ කතාව

සාහසිකයින් සිවු දෙනෙකු විසින් දුෂණය කොට පණ පිටින් පුලුස්සා මරා දැමූ ඉන්දීය පශු වෛද්‍යවරිය ගැන දැන් ලෝකයම කතා වෙන්නට පටන් අරගෙන.තිරිසනුන්ටත් වඩා අන්ත නරුමයින් පිරිසක් සිදු කල මෙම ක්‍රියාව සමස්ත ස්ත්‍රී පරපුරටම කල නිගාවක් බව කිව යුතුමය.මවුරට වෙබ් අඩවිය පහතින් පල කරනු ලබන්නේ මෙම සිදුවීම පිලිබඳව ෆේස්බුකියේ පලව තිබූ සංවේදී සටහනක්.

වෛද්‍ය ප්‍රියංකා රෙඩ්ඩි දූශණය කර පණපිටින් පුලුස්සා දමා දින කිහිපයකින් ලියමි.

26 හැවිරිදි වෛද්‍ය ප්‍රියංකා රෙඩ්ඩිගේ පිළිස්සුන සිරුර හද්‍රාබාද්හි පාළු මාවතකින් සොයා ගනු ලැබුණේ නොවැම්බර් 26 වෙනිදාය. ඇයව දූශණය කොට බොහෝ වදහිංසා පමුණුවනු ලදුව තම නිවසට කිලෝමීටර් 30 එපිටින්ම පණ පිටින් දවා දමන්නට සාහිකයන් විසින් කටයුතු කොට තිබිණි.

ට්‍රක් රථ රියදුරු මොහොමඩ් අරීෆ් 26, ශෝධක( cleaner) ජෝලූ ශිවා20, රියදුරු ජෝලූ නවීන්20,සහ චෙන්නකේශවුලු 20 මේ සම්බන්ධව චෝදනා ලබා සිටින්නෝය. ගඩොල් පුරවාගෙන ගත් ට්‍රක්රථය රියදුරු සැකකරුවන් විසින් රැගෙන විත් ශිවා සහ චෙන්නකේශවුලු නැමති අනෙක් සැකකරුවන් දෙදෙනා අතරමගදී මුණ ගැසී ඇති බවත් ඔවුන් සියලු දෙනාම වෛද්‍ය ප්‍රියංකාගේ ජීවිතය බිල්ලට ගැනීමට පෙර පදමට මත්පැනින් සප්පායම් වී ඇති බවත් විමර්ශණ අනාවරණය කරගෙන ඇත.

තම පශු ශල්‍යාගාරයේ සිට නිවසදෙසට පුද්ගලික මෝටර් සයිකලයෙන් ගමන් කරමින් සිටි වෛද්‍ය ප්‍රියංකා රෙඩ්ඩිගේ ජීවිතයේ මූසලම හෝරාවේදී රාත්‍රී 9.30 ට පමණ ඇගේ මෝටර්සයිකලයේ රෝදයක කුඩා සිදුරක් ( puncture) ඇති වෙමින් ඇගේ නිවස කරා යන ගමනද ජීවන ගමනද අඩාල කරවන්නට මුල පුරන්නේය.
සාහසිකයන් ඈට සමීපවන්නේ රෝදය සකසා දෙන මුවාවෙනි.

ඇගේ සොයුරියට රාත්‍රී 10 පමණ ගත් අවසාන දුරකතන සංවාදයේදි සොයුරිය ටැක්සියක් රැගෙන නිවසට එන ලෙස ප්‍රියංකාගෙන් ඉල්ලිමක් කර ඇතත් ඒ මාරයාගේ හෝරාවේදී
වෛද්‍ය ප්‍රියංකාගේ අවසාන වාක්‍ය වී ඇත්තේ
” මට බයක් දැනෙනවා” යන්න පමණය.
දූශණය වූ තැනට කිලෝමීටර් පහලවක් එපිටින් ඇගේ දැවී ගිය සිරුර හමුවන තුරු ඇය ගැන කිසිදු හෝඩුවාවක් දැනගැනීමට කිසිවකුට හැකියාවක් ලැබුනේ නැත.

ජීවිතය අයදිමින් ඇය මිය යන්නට ඇත. වේදනාත්මක මිනිත්තු බර ගණනක් ඇය පසු කරන්නට ඇත.දූශණයේ වේදනාවෙන්ම මියෙන්නට ඇත.

දැන් ඉන්දියාව පුරා
#justiceforpriyankareddy, #prayforpriyankareddy ඇතුලුව හෑශ් ටෑග්ද සාහසික දුශක මිණීමරුවන්ට හෙන ඉල්ලන පුවත්ද හුවමාරු වන්නේය. කලකට පෙර ඉන්දියාවේ නිර්භයාද, ලංකාවේ විද්‍යාද, සේයාද, හිස කුඩු කල ඉවෝනිද , මීගමුවේ රෝහලක මියැදුන චමිලාද, තවත් නම් නොකියවුන දහසක් දෙනා මියෙන්නට ඇත්තේ මේ ආකාරයෙන්මය. ගරු මරණයක්වත් හිමිකර ගැනීමට ගෑනුන්ට අකැපද.එල්ලා මැරුවද , දැඩි දඩුවම් සහිතව ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කලද මේ කිසිදු ජීවිතයක් යළි පණ ගැහෙන්නෙ නැත.

ගෑනු දූශණය වන්නේ ඇදුම් නිසා බව කතිකාවතක් ඇති වූවා මතකය. ලෝකයේ කායිකව පමණක් ගැහැණුන් දූශණය වන්නෙ නැත. වාචිකවද සියදහස් වර දූශණය වන්නේය.

සමාජයේ සහ සමාජ මාධ්‍ය වල නම්

👉තමන්ගේ ගෙදර ගැහැණුන් ඇර පිට සියලු ගැහැණුන් දා‍ර බඩුය.
👉තමන් inbox හි hi කිව් විට hi නොකියන ගැහැණිය පට්ට වේ$ වේ.
👉තමන්ගේ විවාහ හෝ ආදර යෝජනාවට අකමැති ගැහැණියගේ පින්තූර
“බඩුවක් ඉන්නවා “පාඨයෙන් ඇගේ දුරකතන අංකය සහිතව, සමාජ මාධ්‍යට ක්ශණිකව යයි.
👉තමන් කැමති දේශපාලන මතවාදයක් දරන ගැහැණිය අනිවාර්යයෙන්ම ඒ දේශපාලන පක්ශයේ කා සමග හෝ යහන් ගත වී ඇත.
👉ගෘහස්ත හිංසනය කිසි අවුලක් නැත.මිනිහා කන්න ගෙනත් දේ නම් මිනිහා හද පෙන්නා ඉර කීවොත් එයට යලි කිසි දින හද කිව යුතු නැත.
👉මිනිහා ගෑනි හදාගන්නට පොඩි පාරක් දෙකක් ගැහුවාට කමක් නැත.

අම්මලාද තාත්තලාද පුතාලාට බොහෝ ආදරය කරන බව දනිමි. පුතාලාද අම්මලාට තාත්තලාට බොහෝ ආදරය කරන වග දනිමි. අම්මලා පමණක් නොව ලෝකයේ සියලුම ලේලි වරුවන්ටද, සොයුරියන්ද, අසල්වැසි ගැහැනුන්ටද මනුශ්‍යත්වයට උරුම අවම ගෞරවයවත් දීමට ඔබ ඔබේ පිරිමි දරුවාට කියා දෙන්න. ගැහැණුන් පගා දැමීමට හැකි බව පිරිමිකම නොවන බව කියාදෙන්න.

ගැහැණු ලිංගයකින් ඉපදෙන්නේ පව්කාරයන් බව හෝ පිරිමින් වන්නට මේ ආත්මයේදී බොහෝ පින් කලයුතුය වැනි මරි ගොන් අදහස් සිත් වල වැපිරීම වළක්වන්න. ගැහැණියක් හෝ ගැහැණු ඇදුමක් දුටු විට පවා වචනයක් වත් සංයමයෙන් හසුරවාගන්නට බැරි ඔබේ පිරිමි දරුවා ඔබට අනාගතයේදී ආභරණයක් වන්නේ නැති බව තේරුම් ගන්න. මවත් පියත් ගහයි වැලයි සේ මල් හැදුවාට වැඩක්වන්නේ එයින් අවැඩක් නොවන ඵල හැදුනොත් පමණක්මය.

නිර්භායාලාට, ප්‍රියංකලාට, සේයලාට, චන්දිමාලාට දෙව්ලොවදි බෙදාගන්නට ලස්සන මතකයක් ඉතිරි නොකල මනුශ්‍ය වර්ගයා ගැන කම්පාවෙනි.
-ඉශාරා දසනායක-

පින්තූරය සහ විස්තර අන්තර්ජාලයෙනි

Leave a Reply

  Subscribe  
Notify of