ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන  කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ සැප්තැම්බර් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කළා. අධිකරණය මඟහැරියේ යැයි කුරුණෑගල මහාධිකරණය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුට වරෙන්තු නිකුත් කර තිබුනා.

පිස්තෝලයක් පෙන්වා පුද්ගලයකු බිය ගන්වා මුදල් කොල්ලකෑ බවට කුරුණෑගල නගාරාධිපතිවරයා ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ විභාග වන නඩුවක පළමුවැනි විත්තිකරු ලෙස නීතිපතිවරයා විසින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නම්කර තිබෙනවා.

පසුගිය 25 වැනිදා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදි පළමු විත්තිකරු වන කුරුණෑගල නගරාධිපතිවරයා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විනිසුරුවරිය වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

එදින විත්තිකාර නගරාධිපති අධිකරණයට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ නගරාධිපතිවරයා කොරියානු රජයේ ආරාධනාවකට අනුව කොරියාවේ සියොල් නුවර පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා යාමට සිදුවූ බැවින් මෙදින නඩු වාරයට ඉදිරිපත් වීමට නොහැකිවූ බවය.

ලබන සැප්තැම්බර් 17 වැනිදා නඩුව යළි විභාගයට ගැනීමට නියම කර තිබියදී නගරාධිපතිවරයා අද අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරිය නියෝග කලේ.

Leave a Reply

  Subscribe  
Notify of