ජන්දයදා මහ රෑ එජාප ඇමතිවරු සජිත් හා රැය පහන් කල හැටි

ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමෙන් පසුව මැතිවරණයට පෙර දින කිහිපය ගත කළේ ඡන්ද දිනයේ සිදුවන වැඩකටයුතු ගැන වැඩි අවධානයක් යොමු කරමිනි. සජිත් සමග තිස්ස අත්තනායක මෙන්ම ඉම්ටියාස් බාකීර් මාකර් ද සිටියේ ඔවුන් දෙදෙනා මැතිවරණ මෙහෙයුම් ප්‍රධානීන් ලෙස කටයුතු කිරීම නිසාය.

මැතිවරණයට පෙර දිනයේ දී සජිත් පැමිණියේ රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිවරයාගේ නිල නිවසටය. මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට පෙර අභ්‍යන්තර සාකච්ඡා සඳහා එම නිවස භාවිත කළත් මැතිවරණ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමෙන් පසුව වෙනත් තැනකට එම මෙහෙයුම් කටයුතු රැගෙන ගොස් තිබුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා නිල නිවස භාවිත නොකරන ලෙස සජිත් උපදෙස් දී තිබීම නිසාය. රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිවරයාගේ නිවසට පැමිණි සජිත් ඡන්ද පොළ නියෝජිතයන් එම ස්ථානවලට යොමු කර තිබෙන ආකාරය ගැන සොයා බැලුවේය.

‘‘සමහර තැන්වල ඡන්දපොළ නියෝජිතයන් කටයුතු කරන ආකාරය ගැන ගැටලුවක් තිබෙනවා’’ තැන් තැන්වලට දුරකථන ඇමතුම් ලබාදුන් තිස්ස අත්තනායක කීවේය. ඒ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට දක්වන දායකත්වය පිළිබඳ ගැටලු කතාබහ වෙමින් තිබුණේය.

‘‘පක්ෂයක් විදියට හරියට පෙනී නොසිටින බවක් පේනවා. ඒත් අපේ විකල්ප යාන්ත්‍රණයන් භාවිත කරන්න’’ සජිත් තිස්සට උපදෙස් දුන්නේය.

එම සාකච්ඡාව අවසන් කළ සජිත් හම්බන්තොට බලා පිටත්ව ගියේය. ඒ ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබුණේ හම්බන්තොට වන නිසාය. ඡන්ද දිනයට පෙර දින රාත්‍රියේ කිරිවෙහෙර වැඳපුදා ගත් සජිත් කතරගම දේවාලයට ගොස් ආශිර්වාද ගැනීමටද අමතක කළේ නැත. ඡන්දය දිනයේ උදෑසන තිස්සමහරාමයේ සිය නිවසින් පිටත්ව ඡන්ද පොළට ගිය සජිත් ඡන්දය ප්‍රකාශ කළේ සිය බිරිඳ ජලනි ප්‍රේමදාස සමගය. හම්බන්තොට සිට ඡන්ද ප්‍රකාශ කළ සජිත්ට ඉක්මනින්ම කොළඹ පැමිණීමට අවශ්‍ය වී තිබුණි. ඒ රට පුරාම ඡන්ද විමසීම් කටයුතු ගැන මෙන්ම ඡන්ද ගණන් කිරීමේ කටයුතු ගැනද විමර්ශනය කිරීමේ යාන්ත්‍රණය කොළඹ කේන්ද්‍ර කරගෙන පැවතීම නිසාය. මේ නිසා සජිත් ඡන්දය ප්‍රකාශ කර හම්බන්තොට තමන්ගේ පාක්ෂිකයන් සමග ටික වේලාවක් ගත කර කොළඹ බලා පැමිණියේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයකින් ඔහු කොළඹ බලා පැමිණියේය.

මේ වන විට කොළඹින් පිට ඡන්දය ප්‍රකාශ කිරීමට ගොස් සිටි මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානීන්ද නැවත කොළඹ බලා පැමිණියේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු දෙවැනි අදියර ලෙස ක්‍රියාත්මක කළ යුතු නිසාය. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට ලබාගන්නා දත්ත එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ මෙන්ම වොක්ෂෝල් ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේදී ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ මෙහෙයුම් මධ්‍යස්ථානය අකිල විරාජ් කාරියවසම්ගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වන විට වොක්ෂෝල් මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ අධීක්ෂණ කටයුතු සිදු කළේ තිස්ස අත්තනායකය. එහි මෙහෙයුම් කටයුතු පැවරී තිබුණේ අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයාටය.

ඡන්දය ප්‍රකාශ කළ මැති ඇමැතිවරු සවස් වන විට රංජිත් මද්දුබණ්ඩාර ඇමැතිවරයාගේ නිවසට පැමිණියහ. ඒ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීමටය. සවස හයට පමණ තිස්ස එරාන් වික්‍රමරත්නත්, ඉම්ටියාස් බාකීර් මාකර්, අජිත් පී. පෙරේරා ඇතුළු කණ්ඩායමක් හමු විය. ටික වේලාවකින් පාඨලී චම්පික රණවක ඇමැතිවරයාද එහි පැමිණියේය. එහෙත් සජිත් ප්‍රේමදාස එම සාකච්ඡාවට පැමිණියේ නැත. ඒ වන විටත් දැඩි ලෙස වෙහෙස වී සිටි සජිත් ඔවුන්ට කියා තිබුණේ මඳ විවේකයක් ලබා ගැනීමට නිවසට යන බවය. ඒ අනුව සිය බිරිඳ ජලනි ප්‍රේමදාස සමග රෝයල් පාර්ක් තට්ටු නිවාස සංකීර්ණයේ ඇති තමන්ගේ නිවසට සජිත් ගියේය.

පාඨලී චම්පික රණවක පැමිණියේ ඡන්දය ප්‍රකාශ කර තිබෙන ආකාරය ගැන තරමක අසුබදායී ආරංචියක්ද රැගෙනය. සිංහල බෞද්ධ ඡන්ද පදනමේ ඇති දෙදිරීම ගැන පාඨලී අවධානය යොමු කරන්නට විය.

‘‘දකුණේ ඡන්ද ප්‍රකාශවීම් ඉහළ මට්ටමක තිබෙනවා. දකුණේ ඡන්ද ප්‍රකාශ කිරීම් සියයට හැත්තෑවට වඩා වැඩි වුණේ නැතිනම් අපිට පැහැදිලි වාසියක් තිබෙනවා. හැබැයි දකුණේ ඡන්ද ප්‍රකාශ කිරීම සියයට හැත්තෑව පැනලා. මේක අපිට තරමක් අවාසි තත්ත්වයක්’’ පාඨලී තත්ත්වය පැහැදිලි කළේ ය.

මේ තත්ත්වය හමුවේ කරුණු දෙකක් ගැන අවධානය යොමු කිරීමට සජිත්ගේ මැතිවරණ මෙහෙයුමේ සිටි ප්‍රධානීන්ට සිදු විය. සජිත් ජයග්‍රහණය කළහොත් කටයුතු කරන්නේ කෙසේද යන්න ගැනත්, සජිත් පරාජයට පත් වුවහොත් කටයුතු කරන්නේ කෙසේද යන්න ගැනත් අවධානය යොමු කිරීමට සිදු විය.

මේ සාකච්ඡාව ඉදිරියට යන විට තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වී තිබුණි. ඇතැම් ගණන් කිරීමේ මධ්‍යස්ථානවල තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසන් වී තිබූ අතර ඒවායේ ප්‍රතිඵල තිස්ස අත්තනායකට දුරකථනයෙන් ලැබෙමින් තිබුණි.

‘‘තැපැල් ඡන්ද එන විදියේ ට්‍රෙන්ඩ් එක නම් අපට හොඳ නෑ’’ ඉම්ටියාස් බාකිර් මාකීර් කීවේ තමන්ගේ දේශපාලන අත්දැකීමෙන්ය.

රංජිත් මද්දුමබණ්ඩාරගේ නිවසේ සාකච්ඡාව අවසන් කළ කණ්ඩායම වොක්ෂෝල් මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත පැමිණියේය. පාඨලී නැවත ඔහුගේ නිසට ගිය නමුත් අනෙක් සියලුදෙනාම වොක්ෂෝල් කාර්යාලයට පැමිණ රාත්‍රී ආහාරය ගත්හ. ඒ වන විට ආසන මට්ටමින් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවෙමින් තිබූ අතර නිල නොවන ඡන්ද ප්‍රතිඵල මගින් පෙන්නුම් කළේ සජිත්ට ජය ගැනීමට නොහැකි තත්ත්වයක් තිබෙන බවය. උතුරු නැගෙනහිර පළාත්වලින් සජිත්ට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලැබුණත් දකුණේ ආසන බරපතළ ලෙස පසුබෑම තුළ ජයග්‍රහණය පහසු නොවන බව තේරුම් යමින් තිබුණි.

ඒ වන විට රෝයල් පාර්ක් නිවසේ සිටි සජිත් මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධ වෙමින් අලුත් තොරතුරු විමසා සිටියේය. සැබෑ තත්ත්වය සජිත්ටද පැහැදිලි කරමින් තිබූ අතර තමන්ට ජයග්‍රහණය කිරීම පහසු නොවන බව ඔහුටද තේරුම් යමින් තිබුණි. මේ නිසා ඉදිරියේදී ගත යුතු පියවර ගැන සජිත් වොක්ෂෝල් මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානීන් සමග දුරකතනයෙන් සාකච්ඡා කරන්න විය.

‘‘මට ජය පරාජය දරාගන්න පුළුවන්. අපේ පාක්ෂිකයන් මේ වෙලාවේ රැකගත යුතුයි. ඔවුන්ට කරදරයක් වෙන්න නොදී ඔවුන් රැක ගැනීමට අපි කටයුතු කළ යුතුයි’’ සජිත් දැඩි ස්ථාවරයක පසුවිය.

මැතිවරණ දිනයට පසුදා උදෑසන වන විටත් නිකුත් වී තිබූ ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේ සජිත් ඉදිරියෙන් සිටින බවය. උතුරු පළාතේ ආසන රැසක ප්‍රතිඵල මුලින්ම නිකුත් වූ අතර එය සජිත් ඉදිරියෙන් සිටින බව පෙන්නුම් කරන්නක් විය. කෙසේ වෙනත් සැබෑ තත්ත්වය ගැන තක්සේරුවක සිටි සජිත් ඉදිරි පියවර ගැන අවධානය යොමු කරමින් සිටියේය. තමන්ගේ සමීපතමයන් කිහිප දෙනෙක් සමග සාකච්ඡා කළ සජිත් පරාජය පිළිගනිමින් පක්ෂයේ තමන් දැරූ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේය. ඒ බවට වන නිවේදනයක් නිකුත් කිරීමටද සජිත්ට අවශ්‍ය විය.

‘‘මම පක්ෂයේ දරන නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත් වෙනවා. ඒ වගේම සමීපතමයන් සමග සාකච්ඡා කරමින් ගත යුතු ඉදිරි පියවර ගැන තීරණයක් ගන්නවා’’ සජිත් කීවේය.

මේ නිවේදනය නිකුත් කරන විට සජිත්ගේ අදහස වී තිබුණේ දේශපාලනයෙන් සමු ගැනීමටය. පරාජයන් දුසිම් ගණන් ඉදිරියේ පක්ෂ නායකත්වය අත්නොහැර යනවාට වඩා එක් පරාජයක් හමුවේ වුවත් තමන් දරන නියෝජ්‍ය නායකත්වයෙන් ඉවත් වීම වඩාත් සුදුසු බව ඔහුගේ ස්ථාවරය විය. එතැනින් නොනැවතී දේශපාලනයෙන් සමු ගන්නා තැනකට යාමටද ඔහු සූදානමින් සිටියේය.

ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගැනීමට මැතිවරණ දිනයේ රාත්‍රියේ දී ගත් තීරණය කරළියට පැමිණියේ පසුදා ගෝල්ෆේස් හෝටලයේදී මන්ත්‍රීවරුන්ට දුන් දිවා භෝජන සංග්‍රහයේදීය.

‘‘මම රටට නායකත්වය දිය යුතු අයෙක් කියලා මම විශ්වාස කළා. මගේ තරුණකමින්, මගේ ජවයෙන් රටට දෙයක් කිරීමට අවස්ථාව ලැබේවි කියලා මම දැඩි විශ්වාසයක හිටියා. ඒත් ජනතාව මා ඡන්දයෙන් පරාජයට පත් කර තිබෙනවා. ඒ නිසා මම ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වෙනවා’’ සජිත් සංවේදී කතාවක් කරමින් කීවේය.

‘‘ඒක වෙන්න දෙන්න බෑ’‘ මන්ත්‍රීවරු සජිත්ගේ කතාවට බාධා කළහ.

‘එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරියට යන්නට නම් මට බලයක් අවශ්‍යයි. බලයක් නැතිව ඉදිරියට යන්න බැරි බව මේ මැතිවරණයේදීත් පෙනුණානේ.’’ සජිත් කීවේය.

‘‘අපි ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හා විපක්ෂ නායකත්වයට පත් කරනවා’’ මන්ත්‍රීවරු පැවසූහ.

සජිත්ට විපක්ෂ නායක ධුරය ලබා දෙන්නැයි ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හතළිස් පස් දෙනකුගේ අත්සනින් යුතු ලිපියක් කථානායකවරයාට ලබා දුන්නේ ඒ අනුවය. පක්ෂ නායකත්වය සජිත්ට ලබාදිය යුතු බවට වන සටනත් ඒ අනුව ඉදිරියට යනු ඇත.

සංජය නල්ලපෙරුම

Leave a Reply

  Subscribe  
Notify of