මම මේ ලිපිය ලියන්නට පටන් ගත්තේ අගෝස්තු තුන් වැනිදාය. මන්ද, සිදුවන්නට යන දෙය පිළිබඳ මට කිසි දෙගිඩියාවක් තිබුණේ නැත. ජාතික ජන බලවේගයට මා තබනා ලන්සුව එක ආසනයක් බව එහි සටහන් කළෙමි. ඒ ජාතික ලැයිස්තු ධුරය පමණකි. එහෙත් ජවිපෙ ජාතික ජන බලවේගය නමින් අසන 3ක් දිනාගත්තේ කෙස් ගහෙනි. ගම්පහන් ලැබුණ ඡන්ද 61,833 යනු 5.03% කි. එය 4.9 වූවානම් ආසනය නැත. කොළඹ ලැබුණ ඡන්ද ගණන 67,600 යනු 5.72% කි. කොළඹද එය 4.9 වූවා නම් ආසනය නැත. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයේදී ගත් ඡන්ද ප්‍රතිශතය 3.1% කි. රටේ ඡන්ද ලක්‍ෂ 2ක් පවා වැඩි වුවද මෙවර ජාතික ජන බලවේගය ගත්තේ 3.84% කි.

ජනතා විමුක්ති පෙරමුණ වූ කලි මෙවන් ඛේදනීය ඉරණමකට ගොදුරු විය යුතු පක්ෂයක් නොවේ. නමුත් ජවිපෙ මේ ඉරණමට ගොදුරුවෙන බව පසුගිය වසර 20 පුරාම මා දිගින් දිගටම ප්‍රසිද්ධියෙත් අප්‍රසිද්ධියේත් පැවසු කරුණකි. එය ඇතුළතින් විනාශ කරමින් පවතින බවට මා පළකළ අදහස් ගඟට කැපූ ඉණි මෙන් විය.

මා ප්‍රසිද්ධියේ ලියූ ලිපි අතරින් අවසන් වරට ලියූ ලිපි එනම් 2019 නොවැම්බර් 03 ‘සති අග අරුණ’ පුවත් පතින් ඡන්දෙන් පස්සේ ‘අනුරට හැරවුම් ලක්ෂ්‍ය හමුවනු ඇත’ ලිපියෙන්ද, 2019 නොවැම්බර් 24 ‘සති අග අරුණ’ පුවත් පතින් ‘අනුර දිසානායකට හැරවුම් ලක්‍ෂ්‍ය හමුවෙයි’ ලිපියෙන්ද නැවත නැවතත් මොනවට කරුණු පැහැදිලි කර ඇත.

මේ මා ජවිපෙ පිළිබඳ පළකරන අවසාන අනාවැකියයි. ජවිපෙ විනාශය ප්‍රර්ථනා නොකළ, එය සතු සාධනීය භූමිකාව වෙනුවෙන් පෙනී සිටි කෙනකු හැටියට, මේ එකොළොස් වන පැයේ කළයුතු වන්නේ එක්සත් ජාතික පක්ෂයට මෙන්ම එහි නායක රනිල් වික්‍රමසිංහට අත්වූ ඉරණමට ජවිපෙ තවදුරටත් ගොදුරු නොකර අපොහොසත් නායකත්වය වන අනුර දිසානායක එය සුදුස්සකුට භාරදී දේශපාලනයෙන් ඉවත් වීමයි.

1994 දී තනි මන්ත්‍රීවරයකුගෙන් ඇරඹී, සුන්නත් දූවිලි අතරින් මතු වූ ජවිපෙ වසර 10 කට පසු 2004 දී තමන් ඉදිරිපත් කළ අපේක්ෂකයන් 42 දෙනකු අතරින් 41 දෙනකු තේරී පත්වී (39 නොවේ) සිරිසඟබෝ භූමිකාව නිවැරදිව රඟ දක්වමින් ආසන 2 ක්ද සන්ධානයට පිදීමට තරම් ජවිපෙ නිහතමානී මෙන්ම ආත්ම විශ්වාසය හා ආත්ම ශක්තිය සහිත පක්ෂයක් විය. ජවිපෙ අනුගාමිකයන් පමණක් නොව මේ රටට අතිශයින් ආදරය කරන සමගි පෙරමුණු අනුගාමිකයන්ගේද ඉහළ මනාපය, බොහෝ දිස්ත්‍රික්ක තුළදී තිබුණේ ජවිපෙ අපේක්ෂකයාටය. ඊළඟට ජවිපෙ ඉතිහාසයේ වඩාත්ම නිවැරදිම දේශපාලන තීන්දුව ගත්තේ 2005 දීය. ඒකීය ශ්‍රී ලංකාව,​ භෞමික අඛණ්ඩතාව හා බෙදුම්වාදී යුද්ධයට එරෙහිව මහින්ද රාජපක්ෂ දිනවීමේ වැඩපිළිවෙළයි. ඉතාම පරාර්ථකාමී ලෙස, මහින්ද දිනවීමේ වැඩපිළිවෙළ ජවිපෙ අතට ගත්තේ එදා ශ්‍රීලනිප මූලස්ථානයද මහින්දට අහිමි කර තිබියදීය.

2004 දී ජවිපෙට ඉහළම ජනතා ප්‍රතිචාරය ලැබුණේ, ජනතාව රාජපක්ෂ පරම්පරාවේ වහලුන් නිසා නොව රනිල් වික්‍රමසිංහ ප්‍රභාකරන් සමග හොර ගිවිසුම් ගසා රට දෙකඩ කිරීමට ගත් උත්සාහය ජවිපෙ නිවැරදි උපාය උපක්‍රම යොදාගෙන රට පුරා කළ දැවැන්ත විරෝධතා ගමන් වැනි දේ හරහා පරාජය කළ නිසාය.

එහෙත් ඒ ආදරය, ගෞරවය, විශ්වාසය බිඳ දමා ගනිමින් ගන්නා ලද ඉතිහාසයේ බරපතළ වැරදි තීන්දු 2 ක් ඇත. එනම් භාග තීන්දුවක් තුළ රාජපක්ෂ පාලනයේ පළමු වටයේදී පලායාම හා ඊටත් ඔබ්බට ගොස් විජේවීරයන් දිවි හිමියෙන් පෙනී සිටි ඊළම් විරෝධී සටන, යුදමය අදියරේදී පලායාම මගින් එම කාර්ය භාරයේ කීර්තිමත් කොටස්කරුවන් වීමේ ඓතිහාසික අවස්ථාව පැහැර හැරීමත්ය. ඊට පසුව ඊටත් එහා ගොස් යුද ජයග්‍රහණවලට මෙන්ම රටටද සතුරු ස්ථානයක පෙළ ගැසීමය.

එක වරදක් වසා ගැනීමට නැවත නැවතත් කළ වැරදිවලින් පාඩම් ඉගෙන ගැනීමට නොහැකි ජවිපෙ අද බලය හොබවන නායකත්වය ඊටත් වඩා බරපතළ වැරැද්දක් කර ගත්තේය. එනම් ජවිපෙ නායකයන් ඇතුළු 60,000 ක් බිලිගත් එජාපය සමගත්, සරත් ෆොන්සේකා සමගත් පමණක් නොව බෙදුම්වාදීන් හා ෆෙඩරල්වාදීන් සමගද කිසිදු හිරිකිතයකින් තොරව පෙළ ගැසීමත්, ඒ පමණක් නොව ඔවුන්ගේම වචනවලින් කිවහොත් 1989 මර්දනයේදී තිරයේ පිටුපස සිටි ද්‍රෝහීන්, පාවා දෙන්නන් හා අවස්ථාවාදීන් ලෙස හණ්වඩු ගැසූ උදවියද සමග වේදිකා ගත වීමය.

එහෙත් මෙම බරපතළ වැරදි කිසිවකින් ජවිපෙ වත්මන් නායකත්වයේ බහුතරය සැබෑ ලෙසට පාඩමක් ඉගෙන ගෙන නොතිබීම බරපතළ ගැටලුවකි. මේ සඳහා මහා දේශපාලන විග්‍රහයක් අවශ්‍ය නොවේ. සරල අංක ගණිතය තේරුම් ගැනීම වත් බහුතර ජවිපෙ නායකත්වයට වුවමනා නොවූවද අව්‍යාජ සාමාජිකයා ඒ පිළිබඳව බරපතළ ලෙස සිතා බැලීමේ වගකීම තමා අතට දැන්වත් ගත යුතුව ඇත.

ජවිපෙ යනු රටේ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටීම බෞතීස්ම කළ පක්ෂයකි. රටේ ඒකීය භාවය හා එල්ටීටීඊ ත්‍රස්තවාදය පැරදවීමට ජවිපෙ එකහෙළාම කැප විය යුතුව තිබූ පක්ෂයකි. එහෙත් එම වගකීමෙන් පලා ගොස් ඓතිහාසික පිළිගැනීම තුළ ජවිපෙ කරගත් මහා වින්නැහිය, පක්ෂයට පමණක් නොව රටේ පැත්තෙන් බැලූ කලද බරපතළ හානියකි.

2001 දී බලයට පත් වූ රනිල් වික්‍රමසිංහගේ පාලනයත්, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමත් ඇතුළු ගිවිසුම් පරාජය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින්ය. එල්ටීටීඊ විරෝධී බෙදුම්වාදයට එරෙහිව යුද පෙරමුණ පරාජය කිරීමේ භූමිකාව ජවිපෙ උරුමයයි. විජේවීරයන් තහනම යටතේ ලියූ ‘දෙමළ ඊළමට විසඳුම’ තීසිසයේ උරුමයයි. එයින් බැහැර වීමට හා ඊට පටහැනිව කටයුතු කිරීමට ජවිපෙ ගත් තීන්දුව ජවිපෙ නැවත විමසා බැලිය යුතුය. යුද ජයග්‍රහණයේ ප්‍රතිලාභ ලැබුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් මිනිසුන්ට පමණක් නොවේ. එජාපය, ජවිපෙ පමණක් නොව උතුරු නැගෙනහිර ජනතාවට මෙන්ම එල්ටීටීඊ රුදුරු ත්‍රස්තවාදයට ගොදුරු වූ ළමා සොල්දාදුවන් බවට පත් වූ ජාතියේ දූ පුතුන්ටත්, මව්පියන්ට ඉන් ලද සහනය අහස උසය. එම නිසා එම ජයග්‍රහණයට එරෙහිව පෙළ ගැහීමේ කුහකකම වෙනුවෙන් ගෙවූ වන්දිය බරපතළය.

විජේවීරයන් බිහිකළ ජනතා විමුක්ති පෙරමුණේ තිබූ සුවිශේෂී ගුණාංගයන් වූයේ ඒකීය ලංකාවක් පිළිබඳව තිබූ කැප කිරීම හා මාතෘ භූමියට තිබූ පක්ෂපාතීත්වය, ජීව ගුණය හා අවංකකමට පිටුපා ඊළාම් බෙදුම්වාදී යුද්ධයට එය ජයග්‍රහණය කරා යමින් තිබූ මොහොතක ලාංකීය ජනතාවගේ අති බහුතරය සියලු ආර්ථිද අපහසුකම්, දුෂ්කරතා විඳ දරා ගනිමින් යුද්ධයට පක්ෂව කැපකිරීම් කරද්දී, ජවිපෙ මහා වැඩ වර්ජන කැඳවන විට, තමන් සතුව තිබූ ආසන 41 අහිමි කොටගෙන ඒ හරහා පිළිබිඹු ජන පදනම අහිමි කොටගෙන අවසානයේ ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීකම් කීපයකට ලඝු වීමේ විනාශය සිදු වන විට, සෝමවංශ අමරසිංහ ජවිපෙ නායකයා වශයෙන් සිටි මොහොතක ඔහු නිහඬව බල සිටීම අහම්බයක් නොවීය. ජවිපෙ ඇතුළතින් විනාශ කිරීමේ කුමන්ත්‍රණයේ නිහඬ ක්‍රියාවලිය එවකටත් වෙමින් තිබිණ.

2007 වන විට රාජපක්ෂ ආණ්ඩුවේ අයවැය පරාජය කිරීමට දැරූ උත්සාහයද මෙම කුමන්ත්‍රණයේ කොටසක්ය. විමල් වීරවංශ ඇතුළු ජවිපෙ මන්ත්‍රීවරු 11 ක් එදා පක්ෂයෙන් එළියට එන්නේ එය ජාතියේ ඉදිරි ගමන උදෙසා තීරණාත්මක සාධකයක් බව තේරුම් ගත් නිසාය. මෙලෙස ජනතාව සමග සිට ගැනීම නිසාම, විමල් වීරවංශ නව දේශපාලන පක්ෂයක්ද බිහිකර වර්ධනය කර ගත්තේය. එදා 2001 සිට 2004 දක්වා ජවිප තුළ ක්‍රියාකාරී වෙමින් ජනතාවට ඉදිරියෙන් සිට දේශපාලනයට මග පෙන් වූ ඔහු 2015 පරාජයෙන් පසුවද එම මගේ ම යමින් ජනතාවට ඉදිරියෙන් හිටගත්තේය.

මේ 11 දෙනා එළියට බැසි වේලේ ජවිපෙ හිටපු කීර්තිමත් මන්ත්‍රීවරයකු වූ තංගල්ලේ රණවීර වලව්ව අතහැර ජවිපෙ ගොඩනැගීමට දායක වූ විජිත රණවීර හම්බන්තොට හිටපු මන්ත්‍රීතුමා මා හා සමග පැවැසූ දෙයක් මට මතකය. ඒ විමල් සමග එළියට ආ එවකට රත්නපුර මන්ත්‍රී දීපාල් ගුණසේකර ගැනය. දීපාල් වැනි කෙනකු ජවිපෙට අහිමි වීම ගැන ජවිපෙ තදින් හිතා බැලිය යුතු බව විජිත මා සමග පැවැසීය.

1994 දී පාර්ලිමේන්තුවට ආ නිහාල් ගලප්පත්තිට නැවත පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස දේශපාලනයේ නිරත වීමට සිදුවීම, තිස්සමහාරාමයේ ප්‍රාදේශීය සභාව අහිමි වීම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගෙන කුඩා කර්මාන්ත ඇමැතිවරයා ලෙස ප්‍රශංසනීය මෙහෙවරක නිරත වූ කේ.ඩී. ලාල්කාන්තට කොළඹ පළාත් සභාව හරහා යළි දේශපාලනයේ නිරතවීමට සිදුවීම, මා සමග මරණය හමුවේ එකට සිට 1990 දී ජවිපෙ යළි ගොඩනැගීමට අත්වැල් බැඳි මාතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස කිතුලේගොඩට පළාත් සභාව හරහා ජවිපෙ ගොඩගැනීමට සිදුවීම ප්‍රගමනයක්ද?

ජවිපෙ ලාංකික දේශපාලන කරළියේ ඉහළින්ම වැජඹීමට තිබූ පක්ෂයකි. පීලි නොපැන්නා නම් යුද ජයග්‍රහණයේ සාතිශය ප්‍රතිඵල ජනතාව සමග බෙදා හදා ගනිමින් මීට වඩා යහපත් දේශපාලනික කොටස්කරුවන් ජාතියට සේවයක් කිරීමට තිබූ අවස්ථාව පැහැර හැරි ජවිපෙට අත්වූ ඉරණම කිසි ලෙසකින්වත් අහම්බයක් නොවේ.

මේ ආරාධනය හා ආයාචනය අදටත් ජවිපෙ ඉතිරි වී ඇති බිම් මට්ටමේ සාමජිකයන්ටය. ඒ මිනිසා තවමත් මේ රටට දැවැන්ත කාර්යභාරයක් කළ හැකි ගුණාත්මක බලවේගයකි.

අහිමි වූ ජන පදනමත්, විශ්වාසයත් යළි ස්ථාපිත කළ හැකි වන්නේ කෙසේදැයි දැන්වත් සිතා බැලිය යුතුය.

දේශපාලකයන්ට හා දේශපාලන පක්‍ෂවලට පැවැත්මක් ඇත්තේ, දැනුවත් ජනතාවගේ පැත්තේ හිට ගත්තොත් පමණකි. පාර්ලිමේන්තුවට නුසුදුසු පුද්ගලයන් තෝරා යවන වැරැද්ද ජනතව මතම පමණක් පැටවීම බොහෝ දෙනකු අතින් සිදුවන්නකි. එතනින් නොනවතින සමහරු ජනතාව මෝඩයන් තකතීරුවන් සේ සලකා ගරහනු ලබයි. ජවිපෙ විසින් ඉන් ඔබ්බටද ගොස් ජනතාව දේශපාලන වහලුන් ලෙස ද මෑතකදී හඳුන්වන ලදී.

1977 සිට පැවති එක්සත් ජාතික පක්ෂයේ මර්දනකාරී පාලනය ඉවසීම ප්‍රතික්ෂේප කළ ජනතාව චන්ද්‍රිකා කුමාරතුංග 62% ඡන්ද ප්‍රතිශතයක් ලබාදී බලයට ගෙනාවේය. එහෙත් ඇයගේ ජනතා විරෝධී දේශපාලන ක්‍රියාකාරීත්වය විසින් ඇය දේශපාලන වේදිකාවෙන් සහ මුලින්ම ඉවත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද අත්වූයේ මෙවැනිම ඉරණමක්මය. ප්‍රධාන දේශපාලන පක්ෂ 2 අතර තිබූ ශ්‍රීලනිපය පහළ තැනට වැටුණේ 2015 දී පක්‍ෂයක් වශයෙන් ගත් ජනතා විරෝධී වැරදි දේශපාලන තීන්දුව නිසාය. නමුත් එජාපය සමග හවුල් දීගයක යාම ශ්‍රී ලනිපයේ ජන පදනම බිඳ ගැනීමේ හේතුව බව ඔවුහු අවසාන පැයේ දී හෝ තේරුම් ගෙන ඇත.

ඒ ලෙසින්ම ජවිපෙ ජන පදනම නැති කර ගැනීමේ හේතුව 2010 දී එක්සත් ජාතික පක්‍ෂය සමග අමු අමුවේ එළිපිට සිට ගැනීමත්, 2015 දී වහෙන් ඔරෝ සහයක් පුද දීමත්, ඊට පසුව ගත වූ අවුරුදු පහ තුළ එක්සත් ජාතික පක්ෂයට විවෘතව මෙන්ම ආවෘතව වාසිදායක ක්‍රියාකාරීත්වයක නිරත වීමත්, අපකීර්තිමත් FCID දේශපාලන දඩයමේදී UNP දඩයක්කාරයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමත් හා මැතක MCC ගිවිසුමට ප්‍රමාණවත් ලෙස එරෙහි නොවීමත්ය. මොන තරම් කෙස් පැළෙන තර්ක විතර්ක ඉදිරිපත් කළද කටුක සත්‍යය නම් එයමය.

දැක්මක් ඇති දේශපාලන පක්ෂ හා නායකයන් විටකදී ජනතාවට ඉදිරියෙන් සිට නිවැරදි ලෙස ජනතාව මෙහෙය වීමට කටයුතු කරයි. එවැනි පරිණත පක්ෂ හා දේශපාලන නායකයන් තවත් විටකදී ජනතාව සමගද තවත් වරෙක ජනතාව පිටුපසින්ද සිට ඔවුනට ඇහුම් කන් දෙමින්ද කටයුතු කරයි. 2000 සිට 2004 දක්වා ජවිපෙ කටයුතු කළේ ජනතාව ඉදිරියෙන් සිට ජනතාවට මග පෙන්වමින් ඉටුකළ මහෞෂධ භූමිකාවයි.

නමුත් ජවිපෙ දේශපාලන පීලිපැනීමේ හා වැටීමේ ආරම්භය හොඳින් සනිටුහන් වන්නේ 2006-2009 වකවානුව තුළය. ජනතාව සමග, ජනතා අභිලාෂයන් සමග හෝ ජනතාව පසුපසින් ඔවුන් තේරුම් ගෙන ඔවුනගේ අභිලාෂයන් තේරුම් නොගෙන තීරණාත්මකම වෙලාවක දේශපාලන සිය දිවි නසාගැනීමේ තීන්දුවකට ජවිපෙ අවතීර්ණ වූයේ අහම්යකින් යැයි මා කිසිසේත් පිළි නොගනිමි. වතාවන් ගණනාවකදී එළියෙන් විනාශ කිරීමට නොහැකි වූ ජවිපෙ ඇතුළතින් විනාශ කිරීමේ ක්‍රියාදාමය ජවිපෙ දේශපාලන ගමනේ උච්චම අවස්ථාවෙන් පටන් ගැනීම ජවිපෙ විනාශයේ වැඩි කොටස තහවුරු කළ හැකි හොඳම ක්‍රමය බවට උපාය මර්ගික විශේෂඥයන් තීරණය කළ බව මගේ තේරුම් ගැනීමයි. එක්තරා ඔත්තු සේවයක් මේ සඳහා සක්‍රියව මැදිහත් වූ බව වගකීමකින් ප්‍රකාශ කරමි.

2010 දී රනිල්-ෆොන්සේකා සමග එකම වේදිකාවට ගොඩ වීම ඉතිහාසයේ කළ බරපතළම දේශපාලන වරද නිසා ජනතව ජවිපෙන් ඈත්වීම ඔවුන්ගේ ඡන්ද පදනම කඩා වැටීම තුළ ඉතා හොඳින් පිළිබිඹු වුවත් ඒ බව තේරුම් ගැනීමට ඔවුහු අපොහොසත් විය.

පාර්ලිමේන්තු අසන 2010 දී 7 කට සීම වීමත්, 2015 6 කට බැසීම පමණක් නොව ඉන් ඔබ්බට ගොස් ලංකාවේ ඔවුනට හිමි වූ එකම ප්‍රාදේශීය සභාව තිස්සමහාරාමය, ජවිපෙ නිර්මාතෘ විජේවීරගේ දේශපානලනය ඇරඹි තිස්ස, අධිෂ්ඨානශීලි පුරවරය ලෙස ජවිපෙ හැඳින්වූ තිස්ස, ද ඔවුන්ගේ බලයෙන් ගිලිහි යාමයි. 1982 ජනපතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රිකයෙන් රෝහණ විජේවීරයන් ඡන්ද 28,000 ක් ගත් අතර එය දිස්ත්‍රිකයේ ප්‍රතිශතයක් ලෙස 24% විය. නමුත් වසර 40 කට පසුව අනුර කුමාර ගන්නේ ඡන්ද 26,295 පමණි. එය දිස්ත්‍රිකයේ ප්‍රතිශතයක් ලෙස 6.24% කි. මෙවර එය ඡන්ද 31,362 එනම් 8.39% කි. මොනරාගල දිස්ත්‍රික්කයේ විජේවීර ඡන්ද 7171 ක් එනම් 7% ගත නමුදු අනුර කුමාර ගත්තේ ඡන්ද 2537 ක් එනම් 2.74 කි. 1979 ගාල්ලේ අතුරු මැතිවරණයට තරග කළ එවකට ජවිපෙ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ ඡන්ද 3366 ලබාගත් අතර මෙවර අනුර කුමාරට ගැනීමට හැකිවූයේ 3044 කි.

ඒ අනුව ජවිපෙ ඉතිහාසයේ ජවිපෙ නායකයකු ලද අඩුම ඡන්ද ප්‍රමාණය මෙයයි. ජන බලවේගය ලෙස හඳුන්වා ගත් ‘බලවේග’ බලවේග නොවන බවද තහවුරු වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ ජන බලවේගයට ඡන්දය දුන් 40% පමණ අනුරට ඡන්දය දී නැත. 2020 මහා ඡන්දයේ පරාජයට වග කිව යුතු ඔහුය.

ජවිපෙ ලාංකීය දේශපාලන පිටියේ පැවතිය යුතුම පක්ෂයකි. එහෙත් පසුගිය දශකය තුළ ජවිපෙ ක්‍රියාකාරිත්වය එහි පැවැත්මට කිසි සේත්ම පිටිවහලක් නොවූ බව මේ එකොළොස් වන පැයේ හෝ වටහා ගත යුතුව ඇත. ජවිපෙ විනාශය පිළිබඳ අද සෝමවංශ අමරසිංහට ඇඟිලි දිගුකරන අය බොහෝ දෙනා අමතක කරන කාරණය වත්මන් ජවිපෙ නායකයා පත්කරනු ලැබුවේ සෝමවංශ බවයි. එය ඔහුගේම තීරණය නොවන බවත් එය යම් අදිසි හස්තයක බලපෑම තුළ ඔහුට කිරීමට සිදු වූ බවත් මා විශ්වාස කරන්නේ, ජවිපෙන් ඉවත්වීමට සති දෙකකට පමණ පෙර ඔහු නවදිල්ලියට ගිය බව බොහෝ දෙනා නොදන්නා අවසාන ‘දේශපාලන’ ගමන නිසාය.

මේ රටේ විකල්ප දේශපාලන බලවේගය බවට පත්වීමට ජනතාව විසින් ජවිපෙට දුන් අවස්ථාවන් අන් කිසිදු දේශපාලන පක්ෂයකට (පරණ වමද ඇතුළුව) ජනතාව දී නැත. 1999 සිට ජවිපෙ ඉහළින් ඉහළටම ඔසවා තැබීමට ජනතාව කළ ප්‍රගතිශීලි මෙහෙවරට ජවිපෙ අහම්බෙන් පයින් ගැසුවා යයි මම කිසිසේත්ම නොපිළිගනිමි. නමුත් එය තව දුරටත් එසේම විය යුතුද?

මේ රටේ දේශපාලනය හසුරවන බහුජාතික සමාගම් කීපයක් ඇත. ඖෂධ, කෘෂිරසායන, දුම්කොළ, මද්‍යසාර කිරිපිටි මෆියාවන් ඉන් ප්‍රධාන තැනක් ගනී. 2004 ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැතිවරයාව සිටි අනුර කුමාර දිසානායක ‘වැව් අමුණු දහසක් ප්‍රතිස්ථාපනය කිරීමේ සත් ක්‍රියාවට’ ලංකා දුම්කොළ සමාගමේ පුර්ණ අනුග්‍රහය ලබා ගැනීම (අඩුම තරමින් විල්වත්ගම වැව ප්‍රතිසංස්කරණ ඵලකය මෙයට සාක්කි දරනු ඇත) මෙන්ම, දුම්කොළ වගාවට දිරි දීම බහු ජාතික බුවල්ලන්ගේ කුමන්ත්‍රණකාරී ගමන් මගට ජවිපෙ ගොදුරු වීම සනිටුහන් කරන එක සරල උදාහරණයක් යයි මම විශවාස කරමි.

2019 අනුර කුමාරගේ හැරවුම් ලක්ෂ්‍ය මෙන්ම 2020 ජවිපෙ හැරවුම් ලක්‍ෂ්‍ය ලෙස මා දකින්නේ ජනතා තීන්දුවට හිස නමා ස්වයංවිවේචනයක යෙදීමට ඔවුනට අවස්ථාවක් ලැබෙන නිසාය.

ඒ නිසා ජවිපෙ තවමත් රැදුණු අවංක පහළ සාමාජිකයාට විකල්පයක් ඉතිරිව නැත. රනිල්ට 29 වතාවක් පැරදුන බවට අපහාස කරන මේ අපොහොසත් නායකයාට තවදුරටත් ජවිපේ නිවැරදි දිසාවකට ගෙන යාමට නොහැකි බව ජවිපෙ හිමිකමට උරුම සමාජිකයා තේරුම් ගත යුතුය. තම හෘද සාක්ෂියෙන් ප්‍රශ්න කළ යුතුව ඇත. කේන්ද්‍රීය ප්‍රශ්නය රාජපක්‍ෂ හා වීරවංස වෛරයද නැතිනම් දේශපාලන වශයෙන් රට පැත්තේ සිට ගැනීමද යන්න තීරණය කළ යුතුව ඇත.

ජවිපෙ සතු ඒ ​ඓතිහාසික උරුමය හා කිර්ති නාමය සමග ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ජවිපෙ බිහිකිරීමේදී ජවිපෙ සිටවූ උපායමාර්ගික පදනමේ නැවත සිටවීමට සමත් නායකත්වයක් සොයා ගැනීම ජවිපෙ ක්‍රියාකාරිකයන්ගේ වගකීමයි. ඒකීය රාජ්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිවි පිදු 60,000 ට සධාරණය ඉටු කළ හැක්කේ එසේය.

මේ සඳහා නව නායකත්වයක් අවශ්‍යව ඇත. ජාතික ජන බලවේගය තුළ පක්ෂයේ ඉතිහාසයක් ඇති, උගත් කමින් පිරිපුන්, ජීවන අත් දැකීමෙන් පොහොසත් තවමත් ජවිපෙ වෙනුවෙන් කැපකිරීම කරනු ලබන කෙනකු සොයාගැනීම අපහසු නොවනු ඇත.

මහාචාර්ය අතුල සුමතිපාල
Source-Aruna News Paper