ජනපති නීතිඥ අලි සබ්රි ඉකුත් කාලයේ සිංහල සමාජයේ දැඩි කතාබහට ලක් වූ චරිතයකි. ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් මුල් වරට පාර්ලිමේන්තුවට පත් වූ ඔහුට කැබිනට් ඇමැති ධුරයක් ද ලැබුණි. එවැනි අවස්ථාවක් ලද එකම මන්ත්‍රීවරයා වූවේද ඔහුය. නව කැබිනට් මණ්ඩලයේ සිටින එකම සුළු ජාතිකයා වන්නේ ජනපති නීතිඥ අලි සබ්රිය. ඔහුට අධිකරණ ඇමැති ධුරය පිරිනැමීමේ දී ඇතැම් පාර්ශ්ව ඊට විරෝධය පළ කළේ ඔහුගේ ජාතිකත්වය පදනම් කරගෙනය. මේ ඒ ගැන ඔහු සමග ‘‘සති අග අරුණ’’ කළ සාකච්ඡාවකි.

ඔබ ඉක්මනින් ජනප්‍රිය වූ චරිතයක්. නමුත් ඔබේ ආරම්භය රටේ බහුතරයක් දෙනා දන්නෙ නැහැ. අපි ඔබේ කුඩා කාලයේ සිටම මේ කතාව පටන් ගමු.

මම ඉපදුණේ කළුතර. ගමේ ඉස්කෝලේ තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ උසස් පෙළ අධ්‍යාපනය සඳහා කොළඹ සහිරා විද්‍යාලයට ආවා. මගේ පියා වාමාංශික දේශපාලන පවුලකට සම්බන්ධයි. එතුමා සමසමාජ පක්ෂයේ ගම් මට්ටමින්, බිම් මට්ටමින් ක්‍රියාකාරීව දේශපාලනය කරපු කෙනෙක්. එවකට තිබුණු ජනතා කමිටුවක එතුමා සභාපතිවරයා ලෙස කටයුතු කළා. කළුතර හිටපු ඇමැතිවරයෙකු වූ චම්ලි ගුණවර්ධනත් සමග අපේ තාත්තා ඉතා ළඟින් ඇසුරු කළා. වාමාංශික පවුලක් එක්ක තමයි අපි හැදී වැඩෙන්නේ. ඊට පස්සේ මගේ පියා අසූ දෙකේදී හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමා සමග දේශපාලනයේ ක්‍රියාකාරීව රැඳී සිටියා. ඊටත් පස්සේ ඉන්ද්‍රපාල අබේවීර සමගත් ළඟින්ම කටයුතු කළා.

මම සහිරා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා ඊට පස්සේ නීති විද්‍යාලයට ඇතුළත් වෙලා ප්‍රධාන ශිෂ්‍ය සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ නීති ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා හැටියට කටයුතු කළා. ඊට පස්සේ නීතිඥවරයෙක් විදියට එළියට ඇවිත් නීතිඥ වෘත්තියේ යෙදුණා.

මම අහල තියෙනවා පැස්කුවල් කියලා ඔබට හිටපු ගුරුවරියක් නිසා තමයි සිංහල සමාජය සමග බෙහෙවින්ම මුසුවෙන්න පාර කැපුණේ කියලා?

මම සිංහල භාෂාවෙන් ඉගෙන ගත්තා. ඒ වගේම මගේ ගුරුවරුන්ගෙන් සීයට හැත්තෑවක් අනූවක්ම සිංහල ගුරුවරු. විශේෂයෙන්ම අපිට සිංහල උගන්වන්න හිටපු ගුරුතුමිය තමයි මට සිංහල භාෂාව ඉගෙන ගන්න බෙහෙවින්ම උදව් කළේ. මීට අවුරුදු පහකට කලින් එතුමිය මිය ගිය වෙලාවේ ‘මගේ සිංහල ගුරුතුමිය’ කියලා මම පුවත්පතකටත් එතුමිය ගැන ලිපියක් ලිව්වා. ඒ වගේම අපි හැදුණේ වැඩුණේ මනුතාපය කියවලා. සද්ධර්ම රත්නාවලිය, ගුත්තිල කාව්‍යය කියවලා. පොඩි කාලේ අපේ ගෙවල්වල වැඩියෙන්ම තිබුණේ විජය, මිහිර, නවයුගය වගේ පත්තර. ඒ ආභාෂය උඩ තමයි අපි නැගී සිටියේ. ඒ නිසා මට කවදාවත් වෙනසක් දැනිල නැහැ.

මගේ පියාගේ හුඟක් මිත්‍රයෝ සිංහල. ඒ වගේම දෙමළ මිත්‍රයොත් හිටියා. මාව හදලා ගන්න ඕනෙ කියලා තමයි තාත්තා මාව ගමේ ඉස්කෝලෙට දැම්මේ. අපි කළුතර බෝධියට ආසන්නයේ හිටියේ. පෝය දවසට කළුතර බෝධියටත් යනවා. පල්ලියටත් සම්බන්ධ වෙනවා. අපේ පැත්තේ හුඟක් කතෝලිකයොත් ඉන්නවා. බෞද්ධ පෙරහර වගේ ඒ අයගේ පෙරහරටත් අපි සම්බන්ධ වෙනවා. ඒ නිසා අපි හැදුණේ වැඩුණේ ශ්‍රී ලාංකිකයො විදිහට.

ඔබ පසුකාලීනව වැඩි වශයෙන් සිංහල සමාජය සමග මුහුවෙන කොට මුස්ලිම් සමාජයෙන් අභියෝගයක් එල්ල වුණේ නැද්ද? ඔබ රැඩිකල් චරිතයක් විදිහට පල්ලිය විසින් සැලකුවේ නැද්ද?

අපි හිටියේ කළුතර කටුකුරුන්දේ. පාරෙන් එහා පැත්තේ ඔක්කොම ඉන්නේ මුස්ලිම් කට්ටිය. පාරෙන් මෙහා පැත්තේ සිංහල පිරිස. එකපැත්තක පල්ලිය, අනෙක් පැත්තේ පන්සල, අපි හරි සමීපයි.

අක්කගෙ යාළුවො ඔක්කොම සිංහල. මට දෙපැත්තෙම යාළුවො හිටියා. එහෙම ප්‍රශ්න නොතිබුණ නිසා තමයි පස්සේ ප්‍රශ්න එනකොට මට දරාගන්න අමාරු වුණේ. යුද්ධෙන් පස්සේ මුස්ලිම් සමාජයත් එක්ක යම් යම් ගැටීම් ඇතිවෙන්න පටන් ගත්තනේ. නමුත් ඒක නැවත හදන්න පුළුවන් කියන හැඟීම ආවේ අපිට පොඩිකාලේ එහෙම ප්‍රශ්න නොතිබුණු නිසා.

සිංහල ප්‍රධාන දේශපාලන ධාරාවේ දේශපාලන පක්ෂ සමග සෘජුව සම්බන්ධ වුණු මුස්ලිම් ජාතිකයන් ඉන්නේ ඉතාම අල්ප වශයෙන්. බොහෝ දෙනා ජාතිකත්වය මත පදනම් වුණු මුස්ලිම් දේශපාලන පක්ෂ සමග එක්වෙනවා. මේ තෝරා ගැනීම ඔබට අභියෝගයක් නෙමෙයිද?

අනිවාර්යයෙන්ම තිබුණා. මම බැලුවා අපි ඉතාම හොඳට ළමා කාලය ගත කරලා ඇවිල්ලා පසුව සිංහල හා මුස්ලිම් සමාජ විරසක වුණේ කියාල. ඔය ජාතිය මත පදනම් වෙච්ච දේශපාලන පක්ෂ ඊට එක හේතුවක් වෙන්න ඇති කියලා මම හිතනවා. දෙපැත්තෙන්ම ඒ වැරැද්ද වෙලා තියෙනවා.

මට කඳවුරු එක්ක කවදාවත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි ක්‍රියාකාරී දේශපාලනය කරනවද නැද්ද කියන එක ගැන මට ප්‍රශ්නයක් තිබුණා. එක්දාස් නවසිය අනූ නවයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ අවසන් ප්‍රචාරක රැලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. මමත් ඒ වේදිකාවේ හිටියා. මමත් ඒ බෝම්බ ප්‍රහාරයට ලක් වුණා. මගේ කකුළේ බෝම්බ කොටස් දෙකක් හිර වුණා. ඒකෙන් පස්සේ මාව ටිකක් තිගැස්සුණා. එතකොට මම හිටියේ ශිෂ්‍ය දේශපාලනයේ. අනූහතරෙදි වගේම මම තරුණ කථිකයන් අතරේ ඉදිරියෙන්ම හිටියා. යූ.එන්.පී. විරෝධී ප්‍රවාහය ඒ කඳවුරේ හිටියා.

අනූනවයේ ප්‍රහාරයෙන් පස්සේ මම බය වුණා. එතකොට මම විවාහ වෙලා මාස තුනයි. ඒ නිසා මම ක්‍රියාකාරී දේශපාලනයෙන් මුළුමනින්ම අයින් වුණා.

මුස්ලිම් සමාජය ඔබ ඔය කියන ප්‍රධාන දේශපාලන ප්‍රවාහයෙන් ඉවත් වුණේ කුමන හේතුවක් නිසා කියලද ඔබ හිතන්නේ?

එදා අපේ කළුතර ආසනයෙ සමසමාජ පක්ෂයට මුස්ලිම් ජනතාවගේ සීයට තිස් පහක විතර කොටසක් තිබුණා. මුස්ලිම් සමාජය අපෙන් සම්පූර්ණයෙන්ම එළියට ගිහින් අපිව පාවල දෙන තත්ත්වයට පත් වුණේ දෙදහස් දොළහෙන් වගේ පස්සේ. ඒ කාලේ යම් යම් සිංහල ජාතික සංවිධාන බිහි වුණානේ. ඔවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණා. අලුත්ගම වගේ තැන්වල ප්‍රශ්න ඇති වුණා. ඒ තත්ත්වය පදනම් කරගෙන එවකට හිටපු විපක්ෂය සාර්ථක ලෙස මතයක් අරගෙන ගියා. එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එම සිදුවීම්වලට සම්බන්ධයි කියලා. ඒ ප්‍රචාරය එගොල්ලෝ හොඳට කළා. මම හිතනවා දෙදහස් පහළොවේ පරාජයටත් හේතුව ඒකයි කියලා.

ඒකත් එක්ක මුස්ලිම් සමාජය සම්පූර්ණයෙන්ම අපේ කඳවුරෙන් වියුක්ත වෙලා ගියා. එතකොට ලොකු පාවාදීමක් කළා වගේ ලොකු පීඩනයක් සමාජයෙන් ආවා.

අපි වර්තමානයට එමු. ඔබට දැන් අධිකරණ ඇමැති ධුරය පිරිනමා තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම වන සමගි ජන බලවේගය බරපතළ චෝදනාවක් එල්ල කරනවා, ඔබ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ ප්‍රබල චරිතවලට සම්බන්ධ නඩුවලට නීතිඥ සහාය දීපු නිසා ඒ වෙනුවෙන් ඔබට මේ ඇමැති ධුරය ලැබුණා කියලා.

කවුරු කුමන ඇමැති ධුරයකට පත් කරනවාද කියන එක ජනාධිපතිතුමාගේ කාර්යයක්. ඔහොම කිව්වට මට අද වයස අවුරුදු පනහයි. මම අවුරුදු විසිපහක් නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. දෙදාහස් දොළහේදී මම ලංකාවේ ළාබාලතම ජනාධිපති නීතිඥවරු අතරට එක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මම ලංකාවේ මෑතක දී ඉදිරිපත් වුණු නඩු විශාල සංඛ්‍යාවකට සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම ව්‍යවස්ථාව සංශෝධනයට අදාළ නඩු, අණපනත් සංශෝධනය කිරීම්, දේශපාලන වශයෙන් පවරපු නඩුවලට මම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා මට නීතිය සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක දැනුමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒක එක පැත්තක්.

ඒ වගේම මම ඒ නඩුවලට සම්බන්ධ වන ක්ෂේත්‍ර රාශියක් තියෙනවා. මම මුල් අවස්ථා අධිකරණවලටත් නඩු කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේත් පෙනී සිටිනවා. අපරාධ නඩුවලටත් පෙනී සිටලා තියෙනවා. අනෙක් පැත්තෙන් මමත් වෘත්තීය ජීවිතය ආරම්භයේ ඉඳලම නීති අධ්‍යාපනය සිසුන්ට ලබා දීමට විශාල උත්සාහයක් දරලා තියෙනවා. මම නීති විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කළා. නීතිඥ සංගමයෙත් මම භාණ්ඩාගාරික, නියෝජ්‍ය සභාපති වගේ විවිධ තනතුරු දරලා තියෙනවා. එතකොට තරුණ නීතිඥයන් පිළිබඳ කමිටුවේ සභාපති විදිහට කටයුතු කළා. ජ්‍යෙෂ්ඨ නීතිඥ සම්මේලන කමිටුවේ සභාපති විදිහට කටයුතු කළා. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්න පිළිබඳව මට හොඳ අවබෝධයක් තියෙනවා.

ඒ වගේම මම නීති කොමිෂන් සභාවෙත් සාමාජිකයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ හා සමානවම නීති අධ්‍යාපන කවුන්සිලයෙත් සාමාජිකයෙක් විදිහට ඉඳලා තියෙනවා. ඒ නිසා නීති ක්ෂේත්‍රය පිළිබඳව මට පුළුල් අවබෝධයක් තියෙනවා. මේ ඇමැතිධුරයට මාව තේරීමේ දී ඒකත් හේතුවක් වෙන්න ඇති. ඒ වගේම මට භාර දීපු හැම භාරධුර වගකීමක්ම මම හොඳින් ඉටු කරලා තියෙනවා. ලංකාවේ ළාබාලතම කොන්සල්වරයා විදිහට කදිරගාමර් මැතිතුමා තමයි මාව පත් කළේ. අනූහතේ මම සෞදි අරාබියාවට ගිහින් කොන්සල් කාර්යාලයක් හදලා, ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලක් හදලා, අපේ දුක්විඳින කම්කරුවන් ආරක්ෂා කරන්න කම්කරු කාර්යාලයක් හදලා එතනත් විශාල වැඩකොටසක් ඉෂ්ට කළා.

දෙදාස් දොළහ අපිට අභියෝගාත්මක අවුරුද්දක්. ජිනීවා නුවර පැවැති මානව හිමිකම් සමුළුවේ දී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට ගිය කණ්ඩායමේ සාමාජිකයකු විදිහටත් මම කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මම නිකම්ම උඩින් ඇවිත් වැටුණු කෙනෙක් නෙමෙයි.

මේක පෞද්ගලිකව ගත්තොත් මට පාඩුවක්. මගේ ඒ තරමේ කැමැත්තකුත් නැහැ සක්‍රිය දේශපාලනයට. විශේෂයෙන්ම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මගෙන් ඉල්ලපු හින්දා හා මුස්ලිම් ජනතාවටත් යම් නායකත්වයක් ලබා දීමේ අවශ්‍යතාව තිබුණ නිසා තමයි මම මේ ජාතික කඳවුරට සම්බන්ධ වුණේ. ක්‍රිකට්වල තියෙනවා කතාවක් ‘‘ලෙට් ද බැට් ඩු ද ටෝකින්’’ කියලා. ඒ කියන්නේ පිටියට ගිහින් ගැහුවට පස්සේ ඒ ගැන ඇගැයීමක් කරන්න කියලා. හොඳම දේ තමයි අපිට කරදර කරන්නේ නැතුව, අභූත චෝදනා නගන්නේ නැතුව අපේ වැඩ දිහා හොඳට බලාගෙන ඉන්න. දෑස් අැරලා බලාගෙන ඉන්න. පස්සේ මාස හයකින් විතර මේක විවරණය කරලා තමන්ට ඕන විදිහකට ඇගැයීමකට ලක් කරන්න.

අතීතයේ දේශපාලනඥයෝ අධිකරණ ක්ෂේත්‍රයේ විවිධ තනතුරුවලට පත් කරපු තමන්ගේ හිතවතුන් පසු කාලීනව හැසිරුණු අයහපත් ආකාර පිළිබඳ ඉතිහාසයේ ඕන තරම් උදාහරණ තියෙනව. නමුත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තමන්ගේ පෞද්ගලික නීතිඥයා වුණු නෙවිල් සමරකෝන්ව එදා අග්‍රවිශ්චයකාර වරයා කළහම ඔහු ඉතාම මධ්‍යස්ථව තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කළා. ඔබටත් එවැනි ගමනක් යන්න පුළුවන් කියලා සහතිකයක් දෙන්න පුළුවන්ද?

මෙතැනදී අධිකරණ ඇමැතිවරයාට සහ අග්‍ර විනිශ්චයකාරවරයා සංසන්ධනය කරන්න බැහැ. ඇමැතිවරයකුට යම් සීමිත ඉඩකඩක තමයි කටයුතු කරන්න පුළුවන්. අධිකරණ ඇමැතිවරයාගෙයි, අධිකරණයේ නඩු අහන එකෙයි කිසිම සම්බන්ධයක් නැහැ. අධිකරණයේ විනිශ්චයකාරවරු පිළිබඳව ඇමැතිවරයාට කිසිම සම්බන්ධයක් නැහැ. විනිශ්චයකාරවරු පත් කිරීම, පරිපාලනය කිරීම සිදු කරන්නේ ස්වාධීන අධිකරණ සේවා කොමිෂන් සභාවකින්. ඒකට දේශපාලනයේ කිසිම සම්බන්ධයක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට ජනාධිපතිවරයා විනිශ්චයකරුවන් පත් කිරීමේ දී පමණක් සම්බන්ධ වෙනවා. අපි අයිති වෙන්නේ විධායකයට. අනිත් එක ව්‍යවස්ථා දායකය. ඒ කියන්නේ පාර්ලිමේන්තුව. තුන්වන කොටස අධිකරණය. මේ ආයතන තුන එකිනෙකට ස්වාධීනයි මේ තත්ත්වය නොදැනීම පිළිබඳව සමාජයේ විශාල ප්‍රශ්නයක් තියෙනවා.

ඒත් නීතිපති දෙපාර්තමේන්තුව කියන තීරණාත්මක ආයතනය තියෙන්නේ ඔබ යටතේ. ඒ ඔස්සේ නඩුකටයුතුවල විනිශ්චය ලබාදෙන්න බැරි වුණාට. නඩු මෙහෙයවීමේ දී බලපෑම් කරන්න පුළුවන් කියලා සෑම ආණ්ඩුවක් පවතිද්දීම විපක්ෂය චෝදනා කරනවා. ඔබටත් මේ අභියෝගයට මුහුණ දෙන්න වෙනවා.

කොහොමද නඩු මෙහෙය වන්නේ කියලා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ පද්ධතීන් වෙනස් කරලා දෙන්න. මේ තියෙන යල් පැන ගිය නීති වෙනස් කළ යුතුයි. යටිතල පහසුකම් මදිනම් ඒවා සම්පාදනය කර දිය යුතුයි. ඒ වගේම අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම. අත්‍යවශ්‍ය කාරණයක්. විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නන්වන්නේ කොහොමද කියන එක බලන්න ඕනේ. ඒ වගේම විනිශ්චයකාරවරුන්ගේ පුහුණුව වැඩිදියුණු කිරීම. එහෙම නැතුව නඩු අහන එක අපේ කාර්යභාරයක් නෙමෙයි. අමාත්‍යවරයා විදිහට ගිහින් නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩුකටයුතුවලට සම්බන්ධ වෙන්න බැහැ. මම ඒ සහතිකය නම් පැහැදිලිව ලබා දෙනවා. මම අවුරුදු විසිපහක් නීතිඥ වෘත්තියේ යෙදුනා. නමුත් මම පවතින නඩුවක් පිළිබඳව කවදාවත් නීතිපති දෙපාර්තමේන්තුව එක්ක කතා කරලත් නැහැ. විනිශ්චයකරුවන්ට කතා කරලත් නැහැ. දැන් මම කැබිනට් ඇමැතිවරයෙක්. ඒ නිසා තවදුරටත් නඩු කටයුතුවලට පෙනී සිටින්න බැහැ. ඒ නිසා එවැනි බලපෑමක් කිසිසේත්ම සිදුවෙන්නේ නැහැ.

ඔබ දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රකාශ කළා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස්වලට වගේම, අන්තවාදය, ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ පිරිස්වලට දැඩි දඬුවම් ලබා දීමට මැදිහත් වෙනවා කියලා. කුමන නව පියවරද ගන්න බලාපොරොත්තු වෙන්නේ?

පාස්කු ප්‍රහාරය හෝ ඕනෑම නඩුකටයුත්තක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන්නේ පොලිසිය. ඒ පොලිසිය හා අනෙකුත් විමර්ශන ආයතන පවතින්නේ ජනාධිපතිතුමා යටතේ තියෙන ආරක්ෂක අමාත්‍යංශය යටතේයි. වෙන කාටවත් කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ තමන්ගේ වැඩකටයුතු ජනාධිපතිතුමා යටතේ කරගෙන යයි. පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව එම වාර්තා අරගෙන නඩු දැමීම හෝ නොදැමීම කරනවා. ඊටත් පස්සේ ඒ තියෙන සාක්ෂි අනුව කවුරුහරි වැරැදිකරුද, නිවැරදිකරුද කියන එක තීරණය කිරීම අධිකරණයට අයිති කාර්යභාරයක්. මේ සියල්ල එකිනෙකට සම්බන්ධ නැති ස්වාධීන ආයතන.

මෙතැනදී ඉතාම වැදගත් කාරණය තමයි වැරදිකරපු කිසිම මිනිහෙක් බේරන්න හොඳ නැහැ. ඒ හා සමානව නිර්දෝෂී කිසිම මිනිහෙක් නිරපරාදේ වරදකරුවෙක් කරන්නත් බැහැ. ඒ නිසා ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණ සිද්ධ වෙලා හැමෝටම සාධාරණත්වය ඉෂ්ට විය යුතුයි. යම් හෙයකින් මේ තත්ත්වය දේශපාලනීකරණය වෙලා නිර්දෝෂී මිනිස්සු කොහොම හරි වැරදිකාරයෝ කළොත් ඇත්ත වැරදිකාරයා එළිදරව් වෙන්නේ නැහැ.

වත්මන් පාලනයට අන්තර්ජාතික ප්‍රජාවගෙන් එල්ල වන ප්‍රධාන චෝදනාවක් තමයි සුළු ජාතීන් සමග නිසි සම්බන්ධීකරණයක් පවත්වාගෙන යන්නේ නැහැ කියන එක. ඔබ තමයි දැන් කැබිනට් මණ්ඩලයේ ඉන්න එකම මුස්ලිම් ඇමැතිවරයා. ඔබ කොහොමද මෙම තත්ත්වය අන්තර්ජාතිකව සහ දේශීයවත් කළමනාකරණය කිරීමේ දී මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ?

රටේ මේ ප්‍රශ්නය තවම තියෙන එක ඉතාම අවාසනාවක්. දියුණු රටවල නම් ජාතිය, ආගම මොකක්ද කියන එක මිනිස්සුන්ට අදාළ නැහැ. ඒක හරිම පෞද්ගලික දෙයක්. මම අධිකරණ ඇමැතිවරයා විදිහට පෙනී සිටින්නේ මුස්ලිම් මිනිස්සු වෙනුවෙන් නෙමෙයි. මම පෙනී සිටින්නේ මේ රටේ මිනිස්සු වෙනුවෙන්. මේක ඉතාම විශාල වගකීමක්. ඒකේ බරපතළකම මට තේරෙනවා. කාලයක් ගතවෙනකොට සියල්ලම නීතියේ පාලනය යටතට ගේන්න පුළුවන් නම් එතකොට ජාති ආගම් බේදයක් ඇතිවෙන්නේ නැහැ. ජාතිය, ආගම, කුල මල බේදයකින් තොරව හැමෝටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙනවා කියලා මිනිස්සු හැමෝටම හිතෙන තැනකට රට ගේන්න අපිට පුළුවන් නම් එතැනදී ඔය කියන ප්‍රශ්න සියල්ල අවසන් වෙනවා.

ඔබ ඔය කියපු ප්‍රශ්නෙටත් වඩා මම අධිකරණ ඇමැතිවරයා විදිහට අඳුරගත්ත ප්‍රශ්න රාශියකුත් මෙතැන තියෙනවා. ඒවා සෑම මිනිසකුටම බලපාන ප්‍රශ්න. මිනිස්සු පරම්පරා තුනක් නඩු කියනවා අපි දැකලා තියෙනවා. අවුරුදු දහයක ළමයකුගේ භාරකාරත්වය ගන්න නඩු දැම්මාම අවුරුදු දහ අට වෙනකම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් නොවන අවස්ථා අපි දැකලා තියෙනවා. නඩු නිසා මිනිස්සු ණය තුරුස් ගෙවාගන්න බැරුව සියදිවි නසාගන්න අවස්ථා මානසික ආබාධවලට ලක්වන අවස්ථා අපි දැකලා තියෙනවා. පාස්කු ප්‍රහාරය මුස්ලිම් විවාහ වගේ දේශපාලන වශයෙන් යම් යම් සංවේදී කරුණු මිනිස්සු උඩට අරගෙන තිබුණා වුණත් සෑම මිනිසකුටම හැමදාම බලපාන ප්‍රශ්න රාශියක් තියෙනවා. අපිට විසඳුම් ලබා දෙන්න අවශ්‍ය. අපරාධ නඩුවක් ඉවර වෙන්න අවුරුදු විස්සක් යනවා. නඩුව අහන්න විතරක් අවුරුදු දහයක් ගත වෙනවා. නීතිපතිගේ උපදෙස් කිය කිය පනස් වතාවක් විතර එහෙ මෙහෙ යනවා. ඉඩම් නඩුවක් දැම්මොත් නිරවුල් වෙන්න අවුරුදු පහළොවක් විස්සක් යනවා. විවිධ හේතුන් මත නඩු කල් යනවා.

ඒ වගේම අපේ නීතිය යල් පැන ගිය එකක්. උදාහරණයක් විදිහට විවාහ නීතිය. එකට ජීවත් වෙන්න බැරි නම් ලේසියෙන් ලිහාගන්න ක්‍රම වෙනත් රටවල තියෙනවා. අපේ එහෙම ක්‍රමයක් නැහැ. දෙන්නකුට එකට ජීවත් වෙන්න බැරි නම් අපි මොකටද තවත් සතාසිවම්ල, මැතිව් පීරිස්ලා බිහි කරන්නේ. ඒ වගේම ඔබ ඔබේ දේපොළක් කාට හරි කුලියට දුන්නොත් ආපහු ගන්න අවුරුදු ගාණක් ගතවෙනවා. ඒ නිසා සටන් පාඨ වෙනුවට අපිට ඕනෙ සාමාන්‍ය මිනිහාගේ ඇඟට දැනෙන ප්‍රශ්නය විසඳන්න.

අධිකරණ ඇමැති ජනපති නීතිඥ අලි සබ්රි

නයන තරංග ගමගේ ඡායාරූප – ඒෂාන් දසනායක
(අරුණ පුවත්පත )