මහ මැතිවරණයේ ප්‍රතිඵල ගැන විවිධ විවරණ ඇත. මෙය රාජපක්ෂ දෙවැනි දශකය ලෙස ඇතැමුන් හඳුන්වා දෙති. ඇතැමුන්ට අනුව මෙය ප්‍රේමදාස යුගයක නව උපතයි. තවත් අයට අනුව සියවසකට වැඩි කාලයක් (පළමු මැතිවරණය වූ 1911) ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අධිකාරීත්වය දැරූ ඉංග්‍රීසි ජාතකය සහිත කොලෝනියල් කසින්ස්ලාගේ දේශපාලන මළගමයි. (චන්ද්‍රිකා සහ රනිල් එහි අවසන් දෙබෑයන් විය)

බැලූ බැල්මට මැතිවරණ ප්‍රතිඵලය 2010 මහ මැතිවරණ ප්‍රතිඵලයට ආසන්නය. එහිදීද සිදුවූයේ ජයග්‍රාහී ජනාධිපතිවරණයකින් පසු විපක්ෂය අතුගෑවී යෑමය. 2010 දී එ.ජ.නි.ස. ආසන 143 ක් ගත් අතර මෙවර එය 145 ක් වී ඇත. කෙසේ නමුදු මෙවර ජයග්‍රහණය 2010 ට වඩා විශාලය. එයට හේතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා අනුබද්ධ පක්ෂ එකතුව ගත් කළ 2/3 වූ ආසන 150 ලබා ගැනීමත් ජනාධිපතිවරණයේදී ලද ඡන්ද ලක්ෂ 69 ඉක්මවා යෑමක්ය. මෙය විශේෂයෙන් උතුරු හා නැගෙනහිර කලාපයේදී දැනී තිබිනි. ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතය තීරක ලෙස ඉහළ යාමක් පෙන්වූ අතර, කිසිදු සුළු ජාතික පක්ෂයක සහායකින් තොරව තනි සිංහල රජයක් පිහිටුවීමේ හැකියාවද ලැබී ඇත.

ප්‍රතිඵල වලින් ලැබෙන බරපතලම සංඥාව..
—————————-
ප්‍රතිඵල වලින් ලැබෙන බරපතලම සංඥාව නම් ශ්‍රී ලාංකිකයන් භාෂාව මත නොව, ආගම මත දේශපාලනිකව බෙදෙමින් සිටින බවය. 1947 මහ මැතිවරණයේ සිට තිබූ සිංහල – දෙමළ විභේදනය වෙනුවට බෞද්ධ – මුස්ලිම්, හින්දු – ඉස්ලාම්, ක්‍රිස්තියානි – ඉස්ලාම් ලෙස බෙදීමක් ඇතිවී ඇත. එසේ වී ඇත්තේ රට තුළ සන්නද්ධ ආගමික ගැටුමක් නැති තත්වයක් තුළය.

ලෝකය පුරාම පැතිරමින් ඇති ඉස්ලාම් විරෝධී ජනප්‍රියකාරී දේශපාලනයට (ට්‍රම්ප් – මෝදි) ලංකාවද මේ වනවිට ගොදුරු වී ඇත.

ඉස්ලාම් නායකයින් සිටි නිසා සමගි ජන බලවේගයට බෞද්ධයින් ලෙස සිතූ අය ඡන්දය දී නැති අතර එහි සිටි කැපී පෙනෙන බෞද්ධ නායකයින් පවා පසුපසට යන්නට එය හේතු වී ඇත. පෙරලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එතරම් කැපී නොපෙනුන පිරිස් අති විශාල මනාප ලබා ගනිමින් බෞද්ධ මනාපයෙන් පෙරමුණට පත්වී ඇත. මෙතෙක් කලක් සිංහල විරෝධී හා දකුණේ අධිපතිවාදයට එරෙහිව ජන වරම ලබාගත් දෙමළ ජාතික සන්ධානයට වඩා, දකුණ සමග ගනුදෙනු කළ හැකි, ඉස්ලාම් විරෝධී දෙමළ නායකයින් ඡන්ද හා මන්ත්‍රීධූර ලබාගෙන ඇත. සමගි ජන බලවේගය තුළ ඉතා සංවිධානාත්මකව මුස්ලිම් තරඟකරුවන් බෞද්ධයින් පසුපසට යවා ඇති අතර තමන්ගේ ඡන්ද පදනමට වඩා වැඩි නියෝජිතයින් ලබාගෙන ඇත. සමගි ජන බලවේගයේ දෙමළ තරඟකරුවන් පවා තමන්ගේ අයට පමණක් ඡන්දය ලබාදී ඇත. කතෝලිකයන් බහුතරය ඉස්ලාම් විරෝධය මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දී ඇති අතර එවැන්ජලික සංවිධාන තමන්ට හිතවත් අපේක්ෂකයින්ට (සජිත්, හර්ෂ, ගොඩහේවා) මනාප දී ඇත.

මනාප පොරය ගත්කළ, රජය පැත්තෙන් දෙරණ – හිරු නාලිකා වලින් ස්පොන්සර් කරන ලද අපේක්ෂකයින් හා රාජපක්ෂ පවුල හා එයට සේවාකරන අපේක්ෂකයින් වැඩි සිංහල මනාප ලබාගෙන ඇත. සරත් වීරසේකර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, නාලක ගොඩහේවා, ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, අනූප පැස්කුවල්, චන්න ජයසුමන, රත්නසේකර, වසන්ත යාපා ආදී රාජපක්ෂ පවුලෙන් පිටත එලෙස වැඩි මනාප ලබා ගත්තෝ වෙති. කැපී පෙනෙන ලෙස මනාප වලින් පහල දැමූ අපේක්ෂකයින් වන්නේ ඩලස් අලහප්පෙරුම හා දයාසිරි ජයසේකරය. 2015 ට වඩා වීරවංශ හා ගම්මන්පිලද මහා පරිමාණයෙන් මනාප අඩු කරගෙන ඇත. නායකයින්ගේ ලොකු සහායකින් තොරව මනාප ගත් අය වන්නේ රමේෂ් පතිරණ හා මහින්ද අමරවීරය.

ඩලස් හා විමල් දෙවැනියා කරන්නට රාජපක්ෂ පවුල යටින් ගේමක් දී ඇති අතර, ප්‍රසන්න රණතුංග, මහින්දට වඩා මනාප ගත හැකි යැයි කියා ඔහු පසුපසට යවන්නටද යටින් ගේමක් දී ඇති බව පැහැදිලිය.

සමගි බලවේගයට මොකද වුනේ..?
—————————-
සමගි ජන බලවේගයේ කැපී පෙනෙන ලෙස පරාජය වූයේ සජිත්ගේ දෑගසව්වන් ලෙස පෙනී සිටි අජිත් පෙරේරා හා සුජීව සේනසිංහය. පක්ෂයේ කාඩර්වරු ඡන්දය දුන් මහා මැතිවරණයකදී ඔවුන් පරාජය වීමෙන් පෙනී යන්නේ සජිත් ප්‍රේමදාස සංවිධානාත්මක ලෙස ඔවුනට සහාය දුන්නද ඔවුන් පක්ෂය තුළ ජනප්‍රිය නොවන බවය. එමෙන්ම මුස්ලිම් හා දෙමළ අපේක්ෂකයින්ගේ කල්ලිවාදයේ ගොදුරු බවටද ඔවුන් පත්වී ඇත.

ජාතික මට්ටමින් ශක්තිමත් පාර්ලිමේන්තු නියෝජිතයෝ තිදෙනෙක් සමගි ජන බලවේගයේ සිටිති. ඒ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න හා චම්පික රණවකය. දැන් සජිත් කළ යුත්තේ මොවුන් දේශපාලන අභියෝග ලෙස භාර නොගෙන තම ශක්තියක් ලෙස ගෙන ඔවුනට වගකීම් භාර දීමයි. යූඑන්පී ඡන්ද පදනමට පිටතින් ඇති විවිධාකාර දේශපාලන බලවේග (රණවිරු, වාමවාදී, උගත් මැද පන්තික) දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සිටින දැවැන්ත සිංහල ඡන්ද දායකයා ඇදගත හැක්කේ මොවුන් තිදෙනාටය. එය යූඇන්පී සම්භවයක් සහිත වැඩි මනාප ගත් නායකයින්ට ඉටුකළ නොහැක. එමෙන්ම කිව යුත්තේ, සමගි ජන බලවේගයේ ජලනි ප්‍රේමදාස, දුලාංජලී ප්‍රේමදාස, ලක්ෂ්මන් ෆොන්සේකා, ඉරාන් වික්‍රමරත්න හා රෝසි සේනානායක වැනි අඳබාල හිතවතුන් හා ඇසෙම්බ්ලි ඕෆ් ගෝඩ් (Assembly of God) කල්ලිය සමග විපක්ෂය පාලනය කරන්නට යන්නේ නම් ඉතා ඉක්මනින් සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහගේ තත්වයටම පත්වනු ඇත. (සජිත් දැනටම ජාතික මැතිවරණ දෙකක් පරාජය වී ඇත) ජලනි ප්‍රේමදාස, සජිත්ව උගත් සිංහල මධ්‍යම පන්තික ඡන්ද ගැනීමට ඇති ලොකුම බාධකය වන අතර, ප්‍රේමදාස චින්තනය දයාන් ජයතිලකට වැදගත් වුවත්, මෙරට සිංහල ජනයා ප්‍රතික්ෂේප කළේ 1994 ජනාධිපතිවරණය තරම් දුර කාලයේදීය. ඉරාන් වික්‍රමරත්න සිය AOG කල්ලිය හරහා හර්ෂ සිල්වා සහ හර්ෂ සේනානායක කොළඹින් දිනවන්නට කළ යටිකූට්ටු වැඩ පිළිවෙල නිසා සියළු අපේකෂකයින්ගේ වෛරයට පාත්‍රව තිබෙනු දක්නට ලැබුණි. ලක්ෂ්මන් ෆොන්සේකා පසුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් තානාපති කාර්යාලවලින් ලද මුදල් සඟවා ගැනීමෙන්ද, ටිරාන් අලස්, දිලිත් ජයවීර සමග “ගනුදෙනු” ගෙනයෑමෙන්ද, සමගි ජන බලවේගයේ ප්‍රතිරූපය ඇතුළතින් බිඳ දැමූ අයෙකි. සජිත්ට සිටි ප්‍රධාන නායකයින් දෙදෙනා වූ මලික් සමරවික්‍රම හා මංගල සමරවීර දැන් නොමැති වීමද ඔහුගේ බිඳ වැටීම වේගවත් කරනු ඇත.

දෙමළ සන්ධානය සහ ජවිපෙ..
—————————-
දෙමළ සන්ධානයද නැවත සිතිය යුතුය. දෙමළ ජනතාව තුළ ඇති ඉස්ලාම් විරෝධය ඔවුන් තේරුම් ගත යුතුය. දකුණේ ආණ්ඩුවට වෛර නොකර රාජපක්ෂවරු සමග සංහිඳියාවට දැන් කාලය එළඹ ඇත. දෙමළ ඡන්ද වලින් රජුන් තැනීමේ යුගය දැනට අවසන්ව ඇත. සම්බන්ධන් වෙනස් නොවේ නම් TNA ට ඊළඟ මැතිවරණයෙන් (2025) යූඇන්පී යට අත්වූ ඉරණමට ලක්වනු වලක්වාලිය නොහැකිය.

ජවිපෙට අත්වූ ඉරණමද අනුවේදනීයය. ජනතාව තේරුම්ගෙන ඇත්තේ ජවිපෙ ප්‍රශ්ණ අසන්නට දක්ෂ වුවද පිළිතුරු සොයන්නට මොනම හැකියාවක් වත් නොමැති පක්ෂයක් බවය. ලොව පුරා කොමියුනිස්ට්වාදීන්, හරිතවාදීන් – ජනප්‍රිය වාමවාදීන් බවට පරිවර්තනය වූ ලෙස ජවිපෙද මාක්ස්වාදී හැව අතහැර ජනප්‍රිය වාමාංශික පක්ෂයක් විය යුතුය. එහිදී ඔවුනට අනිවාර්යෙන්ම සිය කාඩර්වරු වෙනුවට ජනප්‍රිය කලාකරුවන්, ක්‍රීඩකයන් හා සමාන්තර අදහස් දරන දේශපාලන හිතවතුන් සමග සන්ධානයක් ඇතිකර ගැනීම අනිවාර්යය.

රජයට දැන් ජනතාවට ආඩපාලි කියන්නට දෙයක් නැත. ඇත්තේ වැඩ පෙන්වීම පමනි. විශේෂයෙන්ම රජයට මුදල් නැති තත්වය හා ගෝලීය ආර්ථික පසුබැසීම තුල අතිශය දුෂ්කර ඉදිරි මාවතක් ඇත. මෙය කිසිසේත් 2008-2010 ගෝලීය අර්බුදය මෙන් නොවේ. එකී ගෝලීය අර්බුදය ලංකාවේ වාසියට හේතුවිය. මෙවර එවැනි තත්වයක් නැත. එමෙන්ම, ඇවිල යමින් තිබෙන ගෝලීය සුපිරි බලවතුන්ගේ ගැටුමට ලංකාව මැදි නොවී සිටීමට අධිෂ්ඨාන කරගත යුතුය. නැත්නම් ගෝලීය ආර්ථික අභියෝගයට අමතරව ගෝලීය දේශපාලන ප්‍රහාරයක්ද එල්ල විය හැකි බැවිනි.

ලොකුම දේශපාලන පරාජිතයා..
—————————-
මනාප පොරයෙන් හා ඇමතිධූර ලබාදීමේ ක්‍රියාවලිය විසින් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් අතර පමණක් නොව, වැදගත් සිංහල ඡන්ද දායකයා තුළද රාජපක්ෂ වරුන්ට අවුලක් ඇතිවී ඇත.

දැන් විපක්ෂය බවට සමගි ජන බලවේගය පත්ව ඇත. සජිත් ප්‍රේමදාස අවබෝධ කරගත යුතුව ඇත්තේ තම පාර්ලිමේන්තු නියෝජිතයන් (මන්ත්‍රීධූර 22 ක්) මුස්ලිම් හා දෙමළ අය බවය. ඔවුනගෙන් ඇතැමෙක් ඉදිරි කාලයේදී රජය සමග එක්වීමට නියමිතව ඇත.

ලොකුම දේශපාලන පරාජිතයා රනිල් වික්‍රමසිංහය. ඔහු එජාපය බාර ගත්තේ ලංකාවේ විශාලතම පක්ෂය හා පක්ෂ යාන්ත්‍රණය සහිතවය. දැන් එය 2% ක පක්ෂයක් වන අතර පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු පක්ෂවලට එජාපයට වඩා යාන්ත්‍රණයක් ඇත. රනිල් තමන් හා තම පරම්පරාව ගැන උද්දච්චව සිතූ අතර මහින්ද, සජිත් ආදී “නූගතුන්” ගැන සැහැල්ලුවෙන් සිතුවේය. ඔහු මුලින් මහින්දගෙන් පරාජය වූ අතර පසුව සජිත්ගෙන් පරාජය විය. සියල්ලන් අවබෝධ කරගත යුත්තේ නායකයින් මාරු කිරීමෙන් යූඇන්පී ය ගොඩගත නොහැකි බවය. එය මියගොස් ඇත. එහි දැන් “ඩැඩී මලා” කියා දේව මෙහෙයක් කර භූමදාන කළ යුතුය. රනිල්ගේ දේශපාලන මරණය සජිත්ගේ ජයග්‍රහණයක් පමණක් නොව රාජපක්ෂ විරෝධීන්ගේද පොදු ජයග්‍රහණයක් වන්නේය.

(මෙහි දෙවැනි කොටස බලාපොරොත්තු වන්න)

අසිත බණ්ඩාර වෑත්තෑව
දේශපාලන අංශය – රුහුණු විශ්ව විද්‍යාලය

උපුටා ගැනීම – ලංකා ඊ නිව්ස්