නව රජයේ ඇමති මණ්ඩලය ලබන බදාදා දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව අමත්‍යවරුන් 26 දෙනෙකු මහනුවර මඟුල් මඩුවේදී එලෙස දිවුරුම් දෙනු ඇති.

නව රජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මුදල්, නිවාස හා ඉදිකිරීම් ඇමැති ධුර හිමි වීමට නියමිත අතර
මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද පත්වනු ඇත.

චමල් රාජපක්ෂ මහතා වාරිමාර්ග ඇමැති ධුරයට යෝජනා වී තිබෙනවා.

මුල්ම වතාවට කැබිනට් මණ්ඩලයට පත්වන නාමල් රාජපක්‍ෂ මහතා ක‍්‍රීඩා ඇමති ලෙසත් පත් කිරීමට යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව සෞඛ්‍ය ඇමති ලෙස පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියත්, කෘෂිකර්ම ඇමැති ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතාත් පත් කරන බව වාර්තා වනවා.

සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ලෙස ප්‍රසන්න රණතුංග මහතාත්, ජනමාධ්‍ය ඇමැති ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාත් පත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව අධිකරණ ඇමැතිවරයා ලෙස අලි සබ්රි මහතා පත්කරනු ඇති බවත්, මුල්ම වතාවට පාර්ලිමේන්තුවට තේරි පත් වූ නාලක ගොඩහේවා, සරත් වීරසේකර සහ ජීවන් තොණ්ඩමන් යන අයටද ඇමතිධුර ලැබෙනු ඇතැයිද වාර්තා වනවා.

අනිද්දා පත් කෙරෙන ඇමති මණ්ඩලය ට නවකයින් කිහිප දෙනෙකුද පත් වනු ඇති බවයි මවුරටට වාර්තා වන්නේ..
නව රජයේ ඇමති මණ්ඩලය ගැන ඉඟියක්