මහ මැතිවරණයෙන් පසුව බිහි කෙරෙන නව රජයේ පත්කෙරෙන ඇතැම් තනතුරු පිළිබඳව අභ්‍යන්තර සාකච්චාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව 20 වෙනිදා ආරම්භ කෙරෙන නව පාර්ලිමේන්තුවේ කතානායක තනතුරට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පත් කිරීමටයි දැනට යෝජනා වී ඇත්තේ.මීට පෙර එම තනතුර සඳහා ජී.එල්.පීරිස් මහතාගේ නමද යෝජනා වී තිබුනා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාටද මෙවර අමාත්‍යධූරයක් ලැබෙන අතර බොහෝ විට ඒ තරුණ කටයුතු හෝ වෘත්තීය පුහුණු යන අමාත්‍යංශ දෙකෙන් එකක් වනු ඇත.

පසුගිය රජයේදී ඇමති තනතුරක් භාර නොගත් උදය ගම්මන්පිල මහතාට මෙවර පරිසර හා වනජීවී අමාත්‍යංශය හිමිවනු ඇතැයි වාර්තා වනවා.

මීට අමතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංස්කෘතික සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය පදවිය යෝජනා කර තිබෙන අතර එය අවසන් මොහොතේ හෝ වෙනස් වීමට ඉඩ තිබෙනවා.ඔහු පසුපෙල මන්ත්‍රීවරයෙකු ලෙසට කටයුතු කිරීමටද ඉඩ තිබීම එයට හේතුවයි.

ජාතික ලැයිස්තුවෙන් පත් කෙරුනු ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයට පත් කිරීමට යෝජනා වී තිබෙනවා.

මීට අමතරව මෙවර අලුතින් අමාත්‍ය මණ්ඩලයට එක්වීමට නියමිත මන්ත්‍රීන් අතර මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරු සිටින බවද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටිනවා

මීට අමතරව නාලක ගොඩහේවා මහතාට නව විෂයක් බිහි කර එහි රාජ්‍ය අමාත්‍ය ධූරය ලබා දීමටද යෝජනා කර තිබෙනවා.

එය ආර්ථික කටයුතු සම්බන්ධ විෂයක් වන අතර එහි රාජ්‍ය අමාත්‍යංශයක් නිර්මාණය කෙරෙනවා. ඒ යටතට අයත් වන්නේ සමෘද්ධි දේශීය ආර්ථිකය, ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු ස්වයංරැකියා ව්‍යාපාර සංවර්ධන, ඌණ උපයෝගිතා රාජ්‍ය සම්පත් සංවර්ධනය යන විෂය පථයන් ය.

මීට අමතරව මුදල් රාජ්‍ය ඇමතිවරුන් ලෙස අජිත් නිවාඩ් කබ්රාල් සහ ශෙහාන් සේමසිංහ යන මහත්වරු පත් වීමටද ඉඩ ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.