මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ පරපුර මුදවා ගැනීමට නම් පළමුව පාතාලය මර්දනය කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදවා ගැනීම සඳහා මේ වන විටත් ක්‍රමාණුකූලව පාතාලය මර්දනය කිරීම සඳහා රජය පියවර ගෙන ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය, දුම්මලසූරිය පැවැති හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ග්‍රාමීය මට්ටමේ තරුණ පිරිස් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවෙන ප්‍රවණතාවයක් පෙන්නුම් කරන හෙයින් සිය පවුල්වල සිටින තරුණ පිරිස් සම්බන්ධයෙන් අවධානයෙන් සිට මත්ද්‍රව්‍ය ඔවුන් අතට පත්වන්නේ කෙසේදැයි සොයා බැලීම වැඩිහිටියන්ගේද වගකීමක් බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා පැවසීය.

පසුගිය යහපාලන රජය සමයේ අගමැතිවරයාගේ සහ ජනාêපතිවරයාගේ විරසකය නිසා ජනතාවගේ යහපත වෙනුවෙන් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ නොකෙරුණු බවද මෙහිදී සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාට සහාය නොදක්වන පාර්ලිමේන්තුවක් මෙවර මහ මැතිවරණයෙන් බිහිවුවහොත් ඉදිරියටත් ජනතාව වෙනුවෙන් සේවය කිරීමට කිසිවෙකුට නොහැකි වන බවයි.

එම නිසා ඉකුත් ජනාධිපතිවරණයේදී හැට නව ලක්ෂයක ජනතාවක් අනුමත කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවන ලෙස ද අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

– සිසිර මුණසිංහ