පාස්කු කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත්කර තිබුණු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන,නීතිය හා සාමය හිටපු ඇමැතිවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න,හිටපු සන්නද්ධ හමුදා බුද්ධි ප්‍රධානී චූලා කොඩිතුවක්කු සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා යන අය හෝ ඔවුන් වෙනුවෙන් නීතිඥ නියෝජනයක් හෝ පාස්කු කොමිසම හමුවේ ඊයේ (27 වැනිදා) නොවීය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනගේ සාක්ෂි විමසීම සිදුවන ඊයේ (27 වැනිදා) දින කොමිසම හමුවේ පෙනී සිටින හෝ නීතිඥ නියෝජනයක් කරන ලෙස පාර්ශ්ව 14 කට නොතිසි නිකුත් කළ බව කොමිසමේ ලේකම් බුවනෙක හේරත් සාක්ෂි දෙමින් සඳහන් කළේය.

මෙලෙස නොතිසි නිකුත් කර තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, හිටපු නීතිය හා සාමය අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්දුමබණ්ඩාර, හිටපු ආරක්ෂක ලේකම්වරුන් වන කපිල වෛද්‍යරත්න, කරුණාසේන හෙට්ටිආරච්චි, හේමසිරි ප්‍රනාන්දු, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ චූලා කොඩිතුවක්කු, වැඩතහනමට ලක්වූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ වැඩතහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන අයටය.

මේ අතරින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පූජිත් ජයසුන්දර , කරුණාසේන හෙට්ටිආරච්චි, සිසිර මෙන්ඩිස්, හේමසිරි ප්‍රනාන්දු , රවී සෙනෙවිරත්ත, ශානි අබේසේකර යන අය වෙනුවෙන් නීතිඥ නියෝජනයක් ඇතැයි කොමිසමේදී සඳහන් විය.

හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ ශානි අබේසේකර යන අයද කොමිසම හමුවේ පෙනී සිටියහ