අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් සමග සුරාබදු නිලධාරියකු ඇතුළු 08 දෙනකු පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊයේ (23 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවෝ සිව් දෙනෙක්ද වෙති.

මෙම ජාවාරමට සම්බන්ධ බව කියන පුත්තලම සුරාබදු කාර්යාලයේ වැඩබලන ස්ථානාධිපතිවරයා වැටලීම සිදු කරන අවස්ථාවේදී පලා ගොස් ඇත.

පොළොන්නරුවේ සිට වෑන් රථයකින් පැමිණි 08 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පුත්තලම සුරාබදු කාර්යාලය ආසන්නයේ වෑන් රථය නවත්වා රැඳී සිටින විට එතැනට මෝටර් රථයකින් පැමිණි අයකු එම පිරිසට යම් පාර්සලයක් භාර දී ඇත.

එම අවස්ථාවේදී රාජකාරි කටයුත්තක් සඳහා යමින් සිටි පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙය දැක වෑන් රථය සහ එහි සිටි පිරිස පරීක්ෂා කර ඇත. එහිදී ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ. එම පාර්සලය ගෙනැවිත් දුන් බව කියන පුත්තලම සුරාබදු කාර්යාලයේ සේවය කරන සුරාබදු පරීක්ෂකවරයකු මෝටර් රථයෙන්ම පලාගොස් ඇති අතර ඔහු පුත්තලම සුරාබදු ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා බවට හඳුනාගෙන ඇතැයි පැවසේ.

වෑන් රථයේ සිටි පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් සහ සැකකාරියන් පුත්තලම පොලිසියට භාර දීමට කටයුතු කර තිබේ.

මේ අතර මෙම චෝදනාවක් සම්බන්ධයෙන් පුත්තලමේදී සුරාබදු නිලධාරියකු අත්අඩංගුවට ගැනීමත් සමග ඊට සම්බන්ධ අනෙකුත් නිලධාරීන් සෙවීමට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් විමර්ශන කණ්ඩායම් දෙකක් පත්කර ඇත.

අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයකු යටතේ සහ සහකාර සුරාබදු කොමසාරිස්වරයකු යටතේ මෙම කණ්ඩායම් දෙක පත් කර තිබේ. පොලිස් දෙපාර්තමේන්තුවේද සහාය ඇතිව මෙම පරීක්ෂණ සිදු කිරීමට නියමිතය. පරීක්ෂණ වාර්තාව සතියක් ඇතුළත සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ඉදිරිපත් කළ යුතුය.

පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමටද පියවර ගත් බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසයි. අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයා මීට පෙරද විෂමාචාර සිද්ධියක් යටතේ වැඩ තහනම් කර ඇති බවද ඔහු කියා සිටියේය. වවුනියාව සුරාබදු කාර්යාලයේ සේවය කළ මෙම නියාමකවරයාට එම කාර්යාලයෙන් බැහැරව කිසිදු රාජකාරියක නිරතවීමට බලය පවරා නොතිබුණු බවද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.