ඉකුත් රජයේ සංස්කෘතික විෂය බාර ඇමැතිවරයා තමන්ට රාජකාරිමය වශයෙන් විශාල බලපෑම් එල්ල කළ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක පැවැසුවේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවක දී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවැසුවේය.

මම අවුරුදු 30ක් වැඩ කළා. කවදාවත් මේ දෙපාර්තමේන්තුවට දේශපාලනය ගැවූණේ නෑ. හැබැයි පහුගිය කාලයේ හිටපු ඇමැතිවරයා ඔහු පුරාවිද්‍යාඥයෙක් කියන හැඟීමෙන් තමයි හැමවෙලේම වැඩ කළේ. තීන්දු ගත්තේ ඔහු. සීගිරිය අසල තියෙන කළුදිය පොකුණ කියන්නේ ගල් ගුහා 73ක් තිබෙන පූර්ව බ්‍රාහ්මික ක්‍රිස්තු පූර්ව 3 සිට 2 දක්වා ශිලා ලේඛන තිබෙන ඉතා වැදගත් පුරාවිද්‍යා සංකීර්ණයක්. මට ඒ අමාත්‍යවරයා යෝජනා කරනවා ගල්ලෙන් තිබෙන අක්කර 15ක් විදේශිකයන්ට, හෝටල් කාමර බවට පරිවර්තනය කර සංචාරක හෝටලයක් කරන්න. මීට අදාළව ඇමැතිවරයාගේ හඬපට තිබෙනවා. මට සිදු වූ අපහාසයට මම කෝටි 100ක වන්දියක් ඉල්ලා නඩුවක් පැවරීමේ මූලික කටයුතු සිදු කරමින් තිබෙනවා. ඇමැතිවරයා විමසනවා මගේ නියෝගය ක්‍රියාත්මක කළා ද කියලා. මම කිව්වා නෑ කියලා. ඇමැතිවරයාගේ පිළිතුර වුණේ මගේ නියෝග ක්‍රියාත්මක කළ හැකි අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරගත යුතුයි කියලා යැයිද ඔහු කීවේය.