රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ට 2036 වසර දක්වා බලයේ රැඳී සිටීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට පෙරේදා (01වැනිදා) පැවැති ජනමත විචාරණයේ දී අති විශාල බහුතරයක් පුටින්ට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

රෂියා ටුඩේ ඇතුළු විදෙස් පුවත් සේවා වාර්තා කරන ආකාරයට ජනපති පුටින්ට පක්ෂව මෙහි දී ලැබී ඇති ඡන්ද ප්‍රතිශතය 78% කි.

මේ වන විටත් දශක දෙකක කාලයක් රට පාලනය කර ඇති ව්ලැද්මීර් පුටින්ට 2036 දක්වා ජනාධිපති ධුරයේ රැඳී සිටීමට අවශ්‍ය කෙරෙන නීති මේ වනවිටත් කෙටුම්පත් කර ඇති අතර ඊට ජනතා අනුමැතිය ලබා ගැනීම සඳහා මෙම ජනමත විචාරණය පැවැත්විණි.

කෙසේ වෙතත් බටහිර ජනමාධ්‍ය ප්‍රකාශ කර ඇති ආකාරයට ජනපති පුටින් ප්‍රමුඛ පාලක පක්ෂය මෙම ජනමත විචාරණය පවත්වා ඇත්තේ ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කරමින් බවයි.

මෙම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ 2036 දක්වා වූ පාලනයක් සම්බන්ධයෙන් සෘජුව සඳහන් කර නැති නමුත් 2024 දී ව්ලැද්මීර් පුටින් සිය වර්තමාන ධුර කාල අවසන් කරන විට මීළඟ වසර හයක ධුර කාලය සඳහා (2030දක්වා) තේරී පත්වීමට අවශ්‍ය ජනතා අනුමැති මෙම ජනමත විචාරණයේ ප්‍රතිඵලය ඔස්සේ ලබාගෙන තිබේ.