කොමෝඩය සහිත වැසිකිළි ‘Flush’ කිරීමේදී විසිරෙන ජල බිඳිති ඔස්සේ කොරෝනා වැනි වෛරස් ආසාදන පැතිර යා හැකි බවට චීන විද්‍යාඥයන් පිරිසක් පසුගිය සතියේ අනතුරු ඇඟවූහ. ඒ අනුව වැසිකිළිය ෆ්ලෂ් කිරීම මගින් වේගයෙන් පිටතට විසිරී යන ජල බිඳිති මගින් කෝවිඩ්-19 ට හේතුවන කොරෝනා වෛරසය ද ඍජුව අදාළ පුද්ගලයාගේ මුහුණ වෙත මුදාහරින බව ඔවුන් කළ පර්යේෂණ මගින් හඳුනාගෙන තිබේ. මේ සෞඛ්‍ය ගැටලුවට මුහුණ දිය හැක්කේ ද යහපත් අලුත් සෞඛ්‍ය සිරිත් විරිත් පුරැදු පුහුණු කර ගැනීමෙන් බව වෛද්‍ය මතයයි. අද අපගේ උත්සාහය මේ අලුත් අභියෝගය ගැන දේශය පාඨක ඔබ දැනුවත් කරන්නටයි.

අපි දැනටමත් දන්නා පරිදි, කොරෝනා වෛරසය පැතිරෙන්නේ කැස්ස සහ කිවිසුම්වලින් පිටවන වෛරස සහිත ජල බිඳිති හෝ ඒවා පතිත වීමෙන් දූෂිත වස්තූන් ස්පර්ශය මගිනි. නමුත් වැසිකිළි කො‍මෝඩයේ රඳන අපජලය ද ඉහළ වාතයට මුසුවීමෙන් මේ රෝගය පැතිර යා හැකි බව විද්‍යාඥයන්ගේ අලුත්ම පර් යේෂණ මාලාවකින් අනතුරු අඟවා තිබේ.

ආසාදිත පුද්ගලයන්ගේ මළමුත්‍රාවල පවා කොරෝනා වෛරසයේ හෝඩුවාවන් ඇති බව දැන් සොයාගෙන ටික කලකි. වැරුදි සහගත සහ අපිරිසුදු වැසිකිළි – කැසිකිළි භාවිතාමය පුරැදු හේතුවෙන් මේ අපජලය ද කෝවිඩ්-19 රෝගය අන් අය වෙත සම්ප්‍රේෂණය වීමේ තවත් ක්‍රමයක් විය හැකිද යන්න දැන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට ලක්ව ඇති කාරණාවකි.

මේ ගැන ප්‍රධාන පර් යේෂණය කළ චීනයේ යැන්ග්ෂෝ විශ්වවිද්‍යාලයේ (Yangzhou University) විද්‍යාඥයන් භාවිත කළ පරිගණක ආකෘතියට අනුව දැන් සනාථ වී ඇත්තේ මේ අපජල බිංදු වාෂ්පවලට කොමඩය ඇති මට්ටමේ සිට අඩි 3 ක් පමණ දක්වා ඉහළට ගමන් කළ හැකි බවයි. ඒ පුද්ගලයකුගේ මුහුණු මට්ටමයි.

චීනයේ යැංෂෝ විශ්වවිද්‍යාලයේ සිදු කළ මෙම පර් යේෂණයේ ප්‍රධානියා වන ජි-ෂියැං වැන්ග් සහ සගයන් පවසන පරිදි වැසිකිළි බඳුනට ජලය ගලා බසින විට එහි දෙපැත්තට ජලය පහර දෙන අතර එහිදී ඇතිවන කැළඹිලි සියුම් ජල බිඳිති වළාවන් ඇති කරයි. මේ ජල බිඳිති වළා ඉතා කුඩා සහ සැහැල්ලු බැවින් ඒවා ඉහළට ගමන් කර විනාඩියකට වඩා වැඩි කාලයක් ඉහළ වාතලයේ නිදහසේ පාවෙයි. ඒ කාලය තුළ අනාරක්ෂිත ලෙස සිටින අයකුගේ මුහුණ අතපය ආදිය මත මේ වෛරස සහිත ජල වාෂ්ප බිඳිති තැන්පත් විය හැකිය.

බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ බ්‍රිස්ටල් එයරොසෝල් පර් යේෂක ආචාර්ය බ්‍රයන් බ්ස්ඩෙක්ට අනුව කොරෝනා වෛරසය මේ ආකාරයෙන් පැතිර යාම වළක්වා ගැනීම සඳහා පූර්වාරක්ෂාව සලසා ගැනීම දැන්ම වහාම හුරැකර ගත යුතු ඉතා අර්ථවත් ක්‍රියාවකි.

කොමඩයෙන් එන කොරෝනාවෙන් ගැලවෙන හැටි:

වැසිකිළිය භාවිත කළ පසු වතුර ෆ්ලෂ් කරන්නට පෙර එහි පියන වැසීම අනිවාර්ය කාරණාවකි. එමගින් වෛරස සහිත බිඳිති වළාවන් බාහිරයට එක්වීම වැළැක්විය හැකිය.

හැකි සෑම අවස්ථාවකදීම වැසිකිළි ආසනය පහත් කොට වසා තබාගත යුතුය. භාවිත නොකරන හැමවිටම සහ භාවිතයට ගත් සැණින්ම එහි පියන වසා තැබිය යුතුය.

වැසිකිළි ආසනය සහ වෙනත් සිරුර ගැටෙන ‘බීඩර්’ ජලකරාම වැනි සම්බන්ධතා ස්ථාන නිතරම විෂබීජනාශක යොදා පිරිසුදු කළ යුතුය.

වැසිකිළිය භාවිත කිරීමෙන් පසු නොවැරදීම අත් සහ මුහුණ, ගෙල ආදී නිරාවරණ ස්ථාන හොඳින් සබන් යොදා ගලන ජලයෙන් සේදිය යුතුය.

මෙම සරල සෞඛ්‍යාරක්ෂිත පියවර මගින් කෝවිඩ්-19 ට හේතුවන SARS-Cov-2 වෛරසය සම්ප්‍රේෂණය වීම වළක්වා ගත හැකිය. එසේම මේවා කවුරැත් නිතර පුරැදු කර ගත යුතු හොඳ සනීපාරක්ෂක පිළිවෙත්ය. ඒවා අනුගමනය කිරීම අපට කිසිසේත් අවාසියක් නොවෙයි.