ඕනෑම රටක සංවර්ධනය ගොඩනැගෙන්නේ එරට යටිතල පහසුකම් මතිනි. කර්මාන්ත ගොඩ නැගෙන්නේ, ව්‍යාපාර බිහි වන්නේ ප්‍රවාහනය, යටිතල පහසුකම් දියුණු වන තරමටය. රටක ප්‍රධාන වානිජ නගරයේ උදෑසනත්, සන්ධ්‍යා කාලයේත් පැය ගණන් වාහන පෝලීම් පවතිනවා නම් ඒ විනාශ වන මිනිස් පැය දස දහස් ගණනම රටේ සංවර්ධනයට බාධාවකි.

මේ බව අවබෝධ කර ගත් යහපාලන රජය කොළඹ වාහන තදබදය අවසන් කිරීමට කෙටි කාලීන ගා දිගු කාලීන විසඳුම් රැසක් ගෙනාවේය. බස් රථ සදහා වෙන් වූ මං තීරුව කෙටි කාලීන පියවරකි.

මාලඹේ සිට කොළඹ දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය පද්ධතිය යහපාලන රජය විසින් කොළඹ මාර්ග තදබදය අවම කිරීමට ලබා ගත් ස්ථිරසාර සහ දිගු කාලීන විසඳුමයි.

මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඒ සඳහා මූල්‍යාධාර ලබා ගැනීමට එවකට යහපාලන රජය සැලසුම් කර තිබුනේ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ මූල්‍යයමය ආධාර ඔස්සේය.

තත්ත්වය එසේ වෙද්දී දැන් ඇසෙන්නේ මහා අවාසනාවන්ත ප්‍රවෘත්තියකි.

එනම් මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමූ බව වත්මන් රජය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

රජය එලෙසක කීවද මෙම ව්‍යාපෘතියට මූල්‍යයමය ආධාර ලබා දීමට ඉදිරිපත් වූ ජපාන රජය, වත්මන් රජයේ මූල්‍යමය ප්‍රතිපත්ති හේතුවෙන් මෙම ව්‍යාපෘතියට අරමුදල් සැපයීම නවතා දැමීම නිසා ව්‍යාපෘතිය නැවති තිබෙන බවටද රාවයක් පවති.

ඒ කෙසේ වූවද කොළඹ මෙන්ම ශ්‍රී ලංකා සංවර්ධනයේ යෝද පියවර වීමට තිබූ මහා ව්‍යාපෘතිය නැවතී තිබේ.

මෙරට වැඩ කරන ජනතාවගේ, වාණිජ අග නගරයේ වැසියන්ගේ කාලය, ශ්‍රමය පැය ගණනින් ඉතිරි කිරීමට හැකිව තිබූ ව්‍යාපෘතිය නැවතී තිබේ.

මෙය සිදුවිය නොවිය යුත්තකි. රාජ්‍ය බලය කා සතු වූවද මෙවන් ව්‍යාපෘති නවතා දැමීම ජාතික අපරාධයකි.

විශේෂයෙන්ම කොළඹ නගරයේ ඉපදි, කොළඹ හැදි වැඩි, කොළඹ අධ්‍යාපනය ලබා, කොළඹ ජීවත් වූ පුද්ගලයෙකු ලෙස පුද්ගලිකව මෙම ව්‍යාපෘතියේ වටිනාකම මම දනිමි.

කෙසේ වෙතත් කොළඹ ජනතාවටත්, වාණිජ අගනගරයටත් මේ වටිනා ව්‍යාපෘතිය නැවත දිනා දීමේ අපගේ අරගලය අවසන්ව නැත.

එළඹෙන මහ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ නියෝජිතයෙකු ලෙස ඔබට, කොළඹට මේ ව්‍යාපෘතිය දිනා ගැනීමට හැකි සියල්ල කර සටන ජයග්‍රාහීව අවසන් කරන බවට මා ඔබට ප්‍රතිඥා දෙමි.