පිරිවැය අඩු කිරීම සඳහා ස්වේච්චා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ස්ථිර සේවකයන්ගෙන් කොටසක් ඉවත් කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය සූදානම් වේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක පතිරගේ ඊයේ (22දා) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලද්දේ දැනට සිටින හයදහසක් වන සේවක පිරිසෙන් පන්සියයක් පමණ විශ්‍රාම ගැන්වීම ඔස්සේ ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් මෙම විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය සඳහා බලධාරීන්ගේ අනුමැතිය අවශ්‍ය බවද සභාපතිවරයා සඳහන් කළේය. කොවිඩ් -19 වසංගතය හේතුවෙන් මුහුණදුන් ආර්ථික අර්බුදය හමුවේ ගුවන් සේවය මේ වනවිටත් කොන්ත්‍රාත් සහ අනියම් පදනමේ සේකයන් දහසක් පමණ සේවයෙන් ඉවත්කර ඇති අතර වැටුප් කප්පාදුවක්ද සිදුකර ඇත.

මේ අතර ශ්‍රීලන්කන් ගුවන් සේවය දැනටමත් අනුමත කර ඇති ව්‍යාපාරික සැලැස්ම නැවත සලකා බලන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය. මීට පෙර රාජ්‍ය බැංකු දෙකකින් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපාර සැලැස්ම මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින නමුත්, අනාගතයේදී ණය ලබා ගැනීම සඳහා විදේශීය ආයතන සොයා ගැනීමට ගුවන් සමාගමට අවශ්‍ය බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.