කොරෝනා වසංගතයෙන් කඩා වැටුණ ආර්ථිකය යථා තත්වයට පත් වන තෙක් ජනතාවට රුපියල් විසිදහයක මාසික දීමනාවක් ලබාදෙන බවත්, අගෝස්තු පස්වැනිදායින් පසුව ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය

ගාල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක මනුෂ නානායක්කාර මහතා විසින් සංවිධානය කළ රැස්වීමකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.

මේ ආණ්ඩුවක් අදක්ෂ ආණ්ඩුවක්. අකාර්යාක්ෂම ආණ්ඩුවක්. කොරෝනාවෙන් ඇතිවුන ආර්ථික හානියෙන් රට මුදාගැනීමට සියයට හතරේ පොලීයට ණය ලබාදෙනවා කිව්වා. ඒ්ත් සියයට හතරේ පොලීයට ණය ගත්ත කවුරුවත් ඉන්නවාද? ඒ් වගේ අඩු පොලීයට ණය ගනිපු කවුරුවත් නෑ. ලංකාවේ ආණ්ඩුව මේ විදියට රටේ ජනතාවට සැලකුවට වෙනත් රටවල ආණ්ඩු ජනතාවට සහන පොලීයට ණය මුදල් ලබාදෙනවා. අපේ රටේ ආණ්ඩුව ණය ලබාගැනීමට ඉඩම්වල ඔප්පු, ඇපකරුවන් ඉල්ලන්නේ මේ ණය ලබා නොදී සිටීමටයි. මේ ආකාරයට කටයුතු කරන්නේ ආණ්ඩුවට හිතක් පපුවක් නැති නිසයි. වැඩක් නොකරන ආණ්ඩුව මාධ්‍ය සංදර්ශණ පමණක් පවත්වනවා.

මේ ආණ්ඩුව ජනතාව සම්බන්ධයෙන් කොතරම් වෛරයෙන් පසුවනවාද කියනවා නම් අවුරුද්දකට ඉන්ධන මිල වෙනස් නොකිරීමට තීරණය කර තිබෙනවා. හැබැයි ලෝකයේ තෙල් මිල පහළටම වැටෙනවා. දකුණු ආසියාවේ අඩුම තෙල් මිල තිබෙන්නේ තමන්ගේ රටේ බව පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් කියන්නේ ආඩම්බරයෙන්. පකිස්ථානයේ ඉම්රාන් ඛාන්ට කරන්න පුලවන් දේ ලංකාවේ ආණ්ඩුවට කරන්න බැරි ඇයි? ඉන්ධන මිල අඩු වන විට බඩු මිල අඩු වෙනවා. ජීවන වියදම අඩු වෙනවා. ජනතාවගේ අතේ මුදල් ඉතිරි වෙනවා. ජනතාවට සහන ලැබෙනවාට ආණ්ඩුව මේ තරම් විරුද්ධ ඇයි?