කොළඹ දෙමටගොඩ වෙළඳසැලක සේවකයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබූ බවට චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ජූලි මස 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න ඊයේ (17 වැනිදා) නියෝග කළාය.

මෙම නඩුව ඊයේ (17 වැනිදා) කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හෝ ඇයගේ නීතිඥවරු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඒ අනුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ජූලි මස 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට නියෝග කළ විනිසුරුවරිය එම සිතාසිය ඊයේ දිනයේ දීම ක්‍රියාත්මක කරන ලෙසත් නියෝග කළාය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර නැමැති තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය සහ ඇයගේ ආධාරකරුවන් හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

එහෙත් ඇයගේ ආධාරකරුවන් හත් දෙනා මුල් අවස්ථාවේදීම වරද පිළිගත් නිසා ඔවුන්ට කොළඹ මහාධිකරණය විසින් වසර දොළහකට අත්හිටවූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කෙරිණි. ඒ අනුව මේ වනවිට විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව පමණක් මෙම නඩු විභාගය පැවැත්වේ.