පසුගිය ඉරිදා (14) මුම්බායිහි සිය නිවස තුළ මියගොස් සිටියදී සොයා ගන්නා ලද බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් දැන් අලුත් ආන්දෝලනයක් ඇති වී තිබේ. ඔහු සියදිවි නසා ගන්නට ඇතැයි මුලින් සැක කෙරුණද ඔහුගේ පවුලේ අය එය මිනීමැරුමක් යැයි සැක කරන බැව් ප්‍රකාශ කර තිබිණි. මේ අනුව ඒ සම්බන්ධයෙන් දැන් පරීක්‍ෂණ ආරම්භ වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ. මේ පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් රාජ්පුත්ගේ නිවස වෙත පැමිණ සඳුදා එම පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබිණි.

මේ අතර ඔහුගේ පවුලේ අයද රාජ්පුත්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉටු කිරීම සඳහා මුම්බායි වෙත පැමිණ තිබූ බව සඳහන් වේ. සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් මුලින් සඳහන් වූයේ ඔහු සිය කාමරයේ විදුලිපංකාවක එල්ලී සිය දිවි නසාගෙන ඇතැයි සැක කරන බවකි. ඔහු මාස කිහිපයක සිට විෂාදය (Depression) නමැති මානසික ආබාධයෙන් පීඩා විඳ ඇති බවටද තොරතුරු පළ වී තිබිණි. කෙසේ වෙතත් සිය දිවි නසා ගැනීමට පෙර ලියන ලද කිසිදු ලිපියක් හෝ සටහනක් සොයාගෙන නැති බවද පොලිසිය සඳහන් කර තිබිණි.