ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය සේවකයන්ට සිනමන් හෝටල් ජාලය මගින් නිවාඩු පැකේජ දහසක් පිරිනමා තිබේ. සියලු පහසුකම් සහිතව රාත්‍රි දෙකක් නවාතැන් ගත හැකි ආකාරයට නොමිලේ මෙම පැකේජ පිරිනමනු ලබයි. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නම් කරනු ලබන සෞඛ්‍ය සේවකයන් සඳහා මෙම පැකේජ ලබා දෙන්නේ 2020 ජූලි 1 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා අතර කාලයේදීය.

මෙම පැකේජ ලබාදීම සනිටුහන් කිරීම සඳහා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර විසින් ඊයේ (16 වැනිදා) ‘සුවවිරු ප්‍රණාම’ ප්‍රකාශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබීය. මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි වී සිටියහ.

පැකේජ සඳහා නම් කරනු ලබන සෞඛ්‍ය සේවකයන්ට සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට් සමාගමට අයත් සිනමන් ග්‍රෑන්ඩ්, සිනමන් ලේක්සයිඩ්, සිනමන් රෙඩ්, සිනමන් බේ, සිනමන් වයිල්ඩ් යාල, සිනමන් ලොජ් හබරණ, සිනමන් සිංඩල් කැන්ඩි, හබරණ විලේජ් සහ ට්‍රින්කෝ බ්ලූ යන හෝටල්වල නවාතැන් ගත හැකිය. කොරෝනා වසංගත සමයේ මෙරට සෞඛ්‍ය අංශයේ සේවකයන් කළ කැප කිරීම්වලට තම සමාගම මෙමගින් සත්කාර පුද කරන බව ක්‍රිශාන් බාලේන්ද්‍ර මෙහිදී පැවැසීය.