මෙරට ලක්ෂ සංඛ්‍යාත ත්‍රී රෝද රථ රියදුරන් සහ ඔවුන්ගේ වැටුපෙන් ජීවත් වන ආදරණීය දරු පවුල් වෙනුවෙන් සිය කාලය කැප කරමින් අවසානයේදී මහ මඟ සිය ජීවිතයෙන් වන්දි ගෙවූ සුනිල් ජයවර්ධන මහතාගේ වියෝව වෙනුවෙන් ප්‍රථමයෙන්ම අප පක්ෂයක් ලෙසින් කණගාටුව පල කරන අතර ,එතුමාගේ වැරදිකරුවන්ට එරෙහිව නිසි පරීක්ෂණ සිදු කොට නීතියෙන් ලබා දිය හැකි උපරීම දේ ලබා දී ,මෙම වෘත්තීය සමිති නායකයාට සාධාරණය ඉෂ්ට කරනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු..ඒ වෙනුවෙන් සිදුකල සියල්ල සිදු කිරීමටද අප සපථ වන්නෙමු.

ඇතැම් ලීසිං සමාගම් වල ක්‍රියාකාරිත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත.ඔවුන් හුදෙක් අසරණ මහ ජනතාව උපයා ගත් මුදල් සූරාගෙන කෑමේ ප්‍රතිපත්තියක නිරත වෙන බව රහසක්ද නොවේ. 2018 වසර වන විට මෙරට එක් මාසයකදී පමණක් අලුතෙන් ලියා පදිංචි වන ත්‍රී රෝද රථ ප්‍රමාණය 1300-2000 ත් අතර ප්‍රමාණයක් විය.

එතැන් පටන් පසුගිය දෙවසර පුරාවටම එහි වර්ධනයක් වූයේ මෙරට සාමාන්‍ය ජනතාවට ඇති වඩාත් පහසුතම ප්‍රවාහන මාධ්‍යය ත්‍රී රෝද රථය වූ නිසාමය.

එලෙස ලියාපදිංචි වන්නන්ගෙන් 75% කටත් වඩා ලීසිං පහසුකම ලබා ගෙන කටයුතු කරන බැවින් මෙරට ලීසිං සමාගම් මෙම අහිංසක ජනතාවගේ ඊරි මාංශය සූරා කන තත්වයකට පත් විය.

හතු පිපෙන්නාක් මෙන් බිහි වූ ඇතැම් ලීසිං සමාගම මෙරට සාමාන්‍ය නීතියද ඉක්මවා කටයුතු කරන අතර,සුනිල් ජයවර්ධන මහතාට පහර දුන් ලීසිං සමාගමද මහ බැංකුවේ ලියාපදිංචි නොකල ආයතනයක් බවට පුවත් පත් කිහිපයක් වාර්තා කර තිබිනි.

එබැවින් නීති ගරුක ක්‍රියාදාමයක් සහ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන්, පාලකයා කවුරුන් වුවද, පාලිතයා වෙනුවෙන් පහත යෝජනාවන් දක්වමි.

මෙහි ඇතැම් කරුණු පසුගිය කාලය පුරාවටම නීති ක්ෂේත්‍රයේ විශාරදයින් සහ ජන මාධ්‍ය හරහා බොහෝ විට සාකච්චාවට ලක් වූ යෝජනාවන්‍ ය.

1. යම් කිසි වාහනයක් ලීසිං නොගෙවා සිටින විට එය අත්පත් කර ගැනීම අධිකරණයේ නියෝග මත පමණක් නීත්‍යානුකූලව සිදුකළ යුතු වේ.අතරමැදියන් හෝ පාතාල සාමාජිකයින් වැනි නෛතික රාමුවෙන් පිටත සිටින්නන් කිසි විටෙක ඒ සඳහා මැදිහත් කර නොගත යුතුය.ඒ වෙනුවෙන් නීති බලාත්මක යුතුය.

2.එලෙස අධිකරණය මඟින් අත්පත් කරගැනීමට අපොහොසත් වූ අවස්ථාවක පමණක් වෙනත් බාහිර පාර්ශව මගින් එය සිදු කර ගත යුතු අතර ,එහෙත් අධිකරණයේ අධීක්ෂණයට එම ක්‍රියාදාමය යටත් විය යුතුය.

3.එලෙස අත්පත් කරගන්නා වාහනය සාධාරණ මිලකට නිසි පරිදි විකිණිය යුතුය.ඒ සඳහා නියමිත ක්‍රම වේදයක් සැකසිය යුතුය.

(මෙහිදී 1982 අංක 29 දරන පාරිභෝගික ණය පනතේ ප්‍රතිපාදන විමසීව වඩාත් යෝග්‍ය වේ.)

4.දැනට පවතින ලීසිං පනතේ තම අයිතියට වඩා වැඩියෙන් මුදල් අයකර ගැනීමට මූල්‍ය ආයතනවලට ඇති අයිතිය ඉවත් කළ යුතු අතර ඒ සමඟම ඇතැම් ලීසිං ආයතන සිදු කරන අත්තනෝමතික ගිවිසුම් ගත කර ගැනීම් වැනි දේ නීතියේ අධීක්ෂණයට ලක් විය යුතුය.එහි ඇති ඇතැම් වගන්ති ,වගන්තියෙන් වගන්තියට ගිවිසුම් නීති ප්‍රකාරව සමාලෝචනයට ලක් විය යුතු ය.

පොලී සම්බන්ධ 1852 සිවිල් නීති ආඥා පනතේ 05 වගන්තියේ ප්‍රතිපාදන සහ 1990 අංක 02 දරන ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත මෙම කරුණු කෙරෙහි සංවේදී විය යුතුය.

තරුණයෙකු ලෙස මාගේ හැඟීම නම්, වාහනයක් යනු සෑම පුරවැසියෙකුගේම සිහිනයකි.එබැවින් බොර දියේ මාලු බාන ලීසිං සමාගම්වල අධික ලාභය වෙනුවෙන් එකී සිහිනය උකස් කල යුතු නොවේ.

මා නියෝජනය කරන පක්ෂය හෝ මා විශ්වාස කරන මතය කවරක් වුවද,අප සේවය කල යුත්තේ මෙරට සුවහසක් ජනතාව වෙනුවෙන්ය.එහිදී අපගේ පක්ෂය හෝ පාට එම සේවය වෙනුවෙන් අදාළ කරගත යුතු නැත.එබැවින් මෙම කරුණ කෙරෙහි බලධාරීන් සංවේදී වනු ඇතැයි විශ්වාස කරමි.

එරන්ද වැලිඅංගේ