සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස යළි එක්සත් ජාතික පක්ෂයට ආවත් පක්ෂයේ දැරූ තනතුරු ඔවුන්ට යළි දීමට තමන් ඇතුළු පිරිස සූදානම් නැතැයි ජාතික සේවක සංගමයේ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ඊයේ (08 වැනිදා) ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති නියෝජිතයන් සමග ඊයේ (8 වැනිදා) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමකදී හෙතෙම මෙසේද කීවේය.

‘‘මට පෙර ජාතික සේවක සංගමයේ ලේකම්වරයා ලෙස සිටියේ සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර. ලංකා වතු කම්කරු සංගමයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේ හරින් ප්‍රනාන්දු. අධ්‍යාපන සංගමයේ හිටියේ අජිත් පී. පෙරේරා. රාජ්‍ය සේවා භාරව සිටියේ සුජීව සේනසිංහ.

මම මේ තනතුර භාර අරගෙන බලද්දී අපේ වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ සහ දේශපාලන පලිගැනීම්වලට ලක්වූ අයට සහන සැලසීමට පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පියවර අරගෙන තිබුණා. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්කරලා කැබිනට් අනුමැතිය අරගෙන තිබුණා. නමුත් ඒ කැබිනට් පත්‍රිකාවේ යම් අඩුපාඩුවක් තිබුණා. ඒ කැබිනට් පත්‍රිකාව හැදුවේ රංජිත් මද්දුමබණ්ඩාර. කැබිනට් පත්‍රිකාව අනුව බලතල තිබුණේ අමාත්‍යාංශ ලේකම්වරයාට නැත්නම් නිලධාරීන්ට. දේශපාලන අධිකාරියට, ඇමැතිවරයාට බලතල තිබුණේ නැහැ.

මම මේ කටයුත්ත භාර ගත්තට පසුව තේරුම් කරලා දුන්නා සහන සලසන්න බැරිව අප හිරවුණ තැන. අඩුපාඩු සහිත කැබිනට් පත්‍රිකාව එදා මම අගමැතිවරයාට පෙන්වා දුන්නා. අගමැතිවරයා කඩිනමින් වෙන කැබිනට් පත්‍රිකාවක් සකස් කරලා අමාත්‍යාංශයේ ලේකම්වරයා සතුව තිබූ බලය ඇමැතිවරයාට ලබා දෙන්නට පියවර ගත්තා. ඒත් අප සමග සිටි සමහර ඇමැතිවරුන් ක්‍රියාත්මක වුණා. සමහර ඇමැතිවරුන් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම අපේ පක්ෂයට වැඩ කළ ගමේ අ​යට පහර දීලා, වෙළෙඳසල්වලට පහර දීලා, ඒවා කොල්ලකාලා හා දැරියන්ව දූෂණය කරලා තිබුණා. ඒත් කලින් කී අය මේ අසාධාරණයට ලක්වූ එක්කෙනෙකුටවත් වන්දි මුදල් ගෙවන්න කටයුතු කරලා නැහැ.

අපි අවස්ථා දෙකකදී අරලියගහ මන්දිරයේදී මේ අඩත්තේට්ටම්වලට ලක්වූ අයට එදා රුපියල් ලක්ෂ තුන්දහසක් ගෙවන්න කටයුතු කළා. ඒ මම වෘත්තිය සමිති ලේකම්වරයා බවට පත්වූ පසුව. මං එනකොට බන්දේසියේ තියලා සල්ලි ටික තිබ්බේ නෑ. ඒ සියල්ල කළ හැකිවුණේ අපේ පක්ෂයේ නායකත්වය නිසා. තව පිරිසකට රුපියල් ලක්ෂ හත්දහසක වන්දි ගෙවීමට සූදානම් කරමින් හිටියේ. අවාසනාවකට ජනාධිපතිවරණය ඉක්මණින් පවත්වා, ආණ්ඩුව විසිරවූ නිසා අපට ඒ වැඩ කර ගන්න බැරි වුණා. තව මාස දෙකක් තිබුණා නම් අපට සෑම කෙනෙකුටම වන්දි ගෙවා අවසන් කරන්න තිබුණා.

මේ සියල්ල කළේ නැහැ කියලා ඔබත්, මමත්, ගිය අයත් දොස් පවරන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට. නායකයෙකුට මේ සියල්ල කළ හැකි නම් වෘත්තිය සමිති අංශයට, වතු සංගමයට, අධ්‍යාපනයට හා රාජ්‍ය සේවයට එක් එක් අය පත් කිරීම අවශ්‍ය නෑ. පත්වූ පුද්ගලයා තනතුර අරගෙන මාධ්‍යටත් කියලා ලොකුකම පෙන්වීම නෙවෙයි කළ යුත්තේ. මේ අය කළයුතු කාර්යභාරය කළාද කියලා කල්පනාකර බලන්න. මා මේ තනතුරට එන්න කලින් ඒ අය කළ යුතු දේ ඇයි නොකළේ. ඒ අය නොකළ නිසා තමයි මට මේ සඳහා අත ගහන්න සිද්ධ වුණේ.

අද අපේම කණ්ඩායමක් එළියට ගිහින් අපට දෝෂාරෝපණය කරමින් හා අවලාද කියමින් මැතිවරණ ව්‍යාපාරයකට අවතීර්ණ වෙලා තියෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවසරය දුන්නේ සන්ධානයක් හැදීමට මිස පක්ෂයක් හැදීමට නොවේ. එජාපය දෙකට කඩලා වෙනම පක්ෂයකට ගිහින් ඡන්දය ඉල්ලන්න සජිත් ප්‍රේමදාසට අවසරය දුන්නේ නෑ. එජාප ඉතිහාසය පුරා මෙවැනි දේ කරලා ගොඩගිය කෙනෙක් නෑ. අද එජාපයට හානි කළ පිරිසට අනාගතයේදී කුමන තැනක් හිමි වේවිද දන්නෙ නෑ. ගිය හැම කෙනෙකුටම අවසානයේදී එන්න වෙන්නේ සිරිකොත මන්දිරයටම තමයි. ඒ එද්දී හිටපු පුටු දෙන්න අනෙක් අය සූදානමින් ඉඳීද? අපි නම් සූදානම් නෑ.