මඩකලපුව සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අදාල බෝම්බ සහිත ගමන් මළු දෙකක් කොළඹ සිට රැගෙන ගිය බවට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසමේදී අද(04) අනාවරණය වුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් වීරසිංහ මහතා එම කොමිසම හමුවේ අද සාක්ෂි දෙමින් සදහන් කළේ අදාල පුද්ගලයා පසුගිය වසරේ අප්‍රේල් මස 20 වන දින රාත්‍රී 08.51 ට බෝම්බ සහිත ගමන් මළු රැගෙන මරදාන සහිරා විද්‍යාලය අසලින් කොළඹ – කල්මුණේ බස් රථයකට ගොඩව ඇති බවයි.

එම බස් රථයේ ආසන වෙන් කර ගැනීමේ කටයුතු සිදුකර ඇත්තේ කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයා විසින් බවට පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී ඇති බවයි ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් වීරසිංහ මහතා කොමිසම හමුවේ කරුණු අනාවරණය කළේය.

සියෝන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නමැත්තා භාවිත කළ දුරකතන සිම්පත කාත්තන්කුඩි ප්‍රදේශයේ අහමඩ් ඉන්සාම් නමැති තරුණයෙකුගේ තොරතුරු ලබාදෙමින් ලියාපදිංචි කර ඇති බවට ද පරීක්ෂණවලදී හෙලි වූ බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේය.

අදාල සිම් කාඩ් පත 2018 දෙසැම්බර් මස 28 වන දින සක්‍රීය කර ඇති බවටද තොරතුරු ලැබුණු බවයි ඔහු කොමිසම හමුවේ පැවසුවේය.

සියෝන්දේවස්ථානයට ප්‍රහාරය එල්ල කිරීම සදහා පැමිණි මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් මඩකලපුව නගරයට අප්‍රේල් 21 වන දින අළුයම 02.14 ට පැමිණි බවට සී.සී.ටී.වී දර්ශන ඔස්සේ තහවුරු වී ඇති බව ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් වීරසිංහ මහතා කොමිසම හමුවේ සඳහන් කළේය.

අනතුරුව සැකකරු මඩකලපුව ජුම්මා මස්ජිද් පල්ලිය වෙත අළුයම 02.16ට ගමන් කරන ආකාරය පිළිබඳව තොරතුරු පල්ලිය අසල පිහිටි නිවසක සවි කර ඇති සී.සී.ටී.වී දර්ශනවල සටහන් වී ඇති බවයි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එහිදී පැවසුවේ.

පල්ලියට ගමන් කරන අතරතුර තවත් පුද්ගලයෙකු සමග සාකච්ඡා කරන ආකාරයෙන් සී.සී.ටී.වී දර්ශනවල සටහන්ව ඇති අතර එම පුද්ගලයා කවුරුන්දැයි කොමිසමේ නිලධාරීන් විමසූ විට පොලිස් පරීක්ෂකවරයා සදහන් කළේ එම පුද්ගලයා පල්ලියේ රථවාහන හසුරුවන පුද්ගලයා බවයි.

අනතුරුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ගමන් මළු දෙකක් රැගෙන ගමන් කරන්නේ ඇයිදැයි විමසූ විට තම මවට අසනීප බව පවසමින් ඔහු පල්ලිය වෙත ගමන් කළ බවයි.

-Ada Derana–