වැඩ තහනමට ලක් වූ ලංකා බැංකු සේවකයකු නැවත සේවයේ පිහිටුවන ලෙසට එම බැංකු සභාපතිවරයාට නියෝග කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව ව්‍යාජ ලිපියක් සකස් කළ පුද්ගලයෙක් ඊයේ (03) කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ජනපතිගේ අත්සනින් වූ ලිපිය ලංකා බැංකු සභාපතිවරයාට යැවීමෙන් පසුව ඒ ගැන සැක සිතූ බැංකු ප්‍රධානින් ඒ පිළිබඳව කොටුව පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව විමර්ශනය කර ව්‍යාජ ලිපි සකස් කර රැකියාව ලබා ගැනීමට තැත්කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. එම්.පී.ඒ. කුමාර නමැති මෙම පුද්ගලයා 2018 නොවැම්බර් මස සිට වැඩ තහනමට ලක්ව ඇත. 2020 ජුනි වන තෙක් ඔහුට කිසිදු චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර නොමැති බවත්, මොහු ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායකට සම්බන්ධ වී තාවකාලික සේවකයකු ලෙස වැඩකර ඇති බැවින් සේවය අත්හිටු වූ කාලසීමාවට අදාළව ඔහුට හිමි සියලු වැටුප් දීමනා උසස්වීම් ලබා දෙන ලෙසද සඳහන් කරමින් ජනපතිගේ අත්සනද ව්‍යාජ ලෙස තබමින් මෙම ලිපිය සකස් කර ඇත. මේ අනුව අත්අඩංගුවට ගත් හිටපු බැංකු සේවකයා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ වංචා විමර්ශන අංශයට භාරදී තිබේ