‘‘පන්නල ෂෙහාන්’‘ කියූ සැණින් ඔහු නොදන්නා අයෙක් වයඹ පළාතේ නැති කාලයක් තිබුණේය. තමන්ගේ ගමෙන් රට පුරා ප්‍රසිද්ධ වන්නේ පාතාල ලෝකයේ සාමාජිකයන් වුවත් පන්නල ෂෙහාන් ඒ බෝට්ටුවේ අයකු නොවේ. පන්නල ෂෙහාන් යනුවෙන් හැඳින්වූ ෂෙහාන් මධුශංක ජාත්‍යන්තරයටම ගිය ක්‍රිකට් ක්‍රීඩකයෙකි.විසිතුන් හැවිරිදි වියේ වූ ෂෙහාන් මධුශංක බංග්ලාදේශයේ ඩකා නුවර 2018 ජනවාරි 27 වැනිදා පැවැති සිය මංගල එක් දින තරගයේදීම බංග්ලාදේශයට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ගනිමින් වාර්තාවක් තැබුවේය. එතැන් සිට ඔහු වයඹ පළාතේ පමණක් නොව මුළු රටේම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආදරයට පාත්‍ර වූ වීරයකු විය.

පන්නල ඇලබඩගම ගමෙන් ජාත්‍යන්තරයටම ගොස් වීරයකු වූ ෂෙහාන් මධුශංක අධ්‍යාපනකය ලැබුවේ පන්නල ජාතික පාසලෙන්ය.

ක්‍රීඩාවට උපන් හපන් දක්ෂයකු වූ ඔහු කුඩා කල පටන් ජයග්‍රහණ අත්පත් කරගත්තේ සහතික මිටි ගණන් නිවසේ පුරවමිනි.

ක්‍රිකට් ක්‍රීඩාවටද හපන්කම් පෑ ෂෙහාන්ට ඒ නිසාම වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහලට උසස් අධ්‍යාපනය ලබන්නට ​දොරටු විවර විය. ඒ ඔහු පාසල් වියේදීම තරුවක්ව සිටි නිසාය.

උසස් පෙළට ලියන්නට පෙර පටන්ම ක්‍රීඩා සමාජවලට ෂෙහාන්ට වැඩි ඉල්ලුමක් ඇති වූයේ ඔහුගේ පන්දු යැවීමේ දක්ෂතාව නිසාය.

එම අවස්ථාව ලැබෙන්නට පෙර තම පුතු ක්‍රිකට් තරුවක් කරන්නට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමට සල්ලි සොයා ගැනීම සඳහා ෂෙහාන්ගේ පියා වූ ජගත් පුෂ්පකුමාර වී මිටි කර ගැසුවේය.

ජගත් තම බිරිඳ රසිකා නිල්රුක්ෂිත් සමග ෂෙහානුත් ඔහුගේ බාල සොහොයුරන් දෙදෙනාත් හදා වඩා ගත්තේ දුක් මහන්සියෙන් හෙලූ දහදිය මතිනි. තම පියා වී මිටි කර ගසා දුක් විඳ ඉහළට යන්නට හැදූ මග ඔස්සේ දිනෙන් දින ඉහළට යන්නට ෂෙහාන්ටත් ධෛර්ය තිබ්බේය.

වෙන්නප්පුව ජෝශප් වාස් ක්‍රිකට් කණ්ඩායමට ෂෙහාන් තෝරා ගනිද්දී ගමේ පාසලේ සෙල්ලම් කළ ක්‍රිකට් පිත්ත හා සපත්තු වෙනුවට අලුතෙන් ගත යුතු විය. රුපියල් දහසයදහසක් වටිනා සපත්තු යුගල අරන් දෙන්නට පියාට මුදල් නොතිබුණේය. ක්‍රිකට් පිත්ත දහනවදාහකි. තම පුතා යන ගමනට ධෛර්යයක් දෙන්නට තාත්තා දහදිය මහන්සිය වැගුරුවේය.

දෙමාපියන්ටත් දුක් මහන්සිය, කඳුළු සතුටට පෙරළන්නට ගියේ කෙටි කාලයකි. උසස් පෙළ කරද්දීම ක්‍රීඩා සමාජවල දක්ෂ වේග පන්දු යවන්නකු වූ ෂෙහාන්ට හතර වටින් ඉල්ලුමක් ඇති වෙමින් තිබිණි.

පන්නල ෂෙහාන් මල්ලි ගැන කවුරුවත් කතා කරන්නට ගත්තේය.

ෂෙහාන්ගේ දක්ෂතාව හඳුනාගත් ජාතික කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු වූ චම්පක රාමනායක ෂෙහාන්ව ඉදිරියට ගෙන යන්නට පාර කපා දුන්නේය.දකුණතින් වේගපන්දු යවන්නකු වූ ෂෙහාන්ව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගත්තේ එවකට කණ්ඩායමේ පුහුණුකරු වූ චන්දික හතුරුසිංහයන්ය. පැයට කිලෝමීටර් 140ට වඩා වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයකු ලෙස ඔහු දක්ෂතා පෙන්වූ තරුණයකු විය. එවකට ඔහුගේ වයස අවුරුදු 23කි. ඒ වන විට ඔහු 10කටත් අඩු පළමු පෙළ තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර තිබුණේය.

එවැනි පළමුපෙළ තරග අඩු සංඛ්‍යාවක් ජාතික කණ්ඩායමට රිංගන්නට නම් ඔහු සැබෑ දක්ෂයකුම විය යුතුය. ජාතික කණ්ඩායමට රිංගා ගන්නට දක්ෂතා පෙන්වූ ෂෙහාන් මධුශංක සිය පළමු එක් දින ජාත්‍යන්තර තරගයට මුහුණ දෙන්නේ බංග්ලාදේශයේ ඩකාහිදීය. ඒ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති තුන්කොන් තරගාවලියේ අවසන් තරගයයි.

එදා තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර පනහක අවසානයේ සියල්ලන්ම දැවී රැස් කර ගත්තේ ලකුණු 221කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ පිල ඩකා ක්‍රීඩාංගණයේදී දණ ගස්වන්නට ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණියේ කුලුඳුල් සොයා ගැනීම වූ ෂෙහාන් මධුශංකට හැකි විය. තම මංගල තරගයේදීම ශ්‍රී ලංකා පිල ජයකණුව කරා රැගෙන යමින් එකවර කඩුලු ත්‍රිත්වයක් (හැට්‍රික්) ගත් ෂෙහාන් එවැනි වාර්තාවක් තැබූ ලොව සිව්වැන්නා විය. බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 142කට දැවී යද්දී පන්දුවාර හයකදී ලකුණු 26කට කඩුලු ත්‍රිත්වය ගැනීමට මධුශංකට හැකි විය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්ෂණයකින් කීර්තියක් අත්කර ගත් ෂෙහාන් තම දෙමාපියන්ගේ දුක් මහන්සියට වටිනාකමක් ගෙන දුන්නේය.

ගමෙන් බිහි වූ සුපිරි තරුව එදා ලංකාවට එද්දී ඔහුව පිළිගන්නට මුළු ගමම කටුනායකට ගොස් සිටියහ. තොරන් ගසා පෙරහරින් රැගෙන ආ ෂෙහාන් මල්ලි රටම දැනගත්තේ මේ අයුරෙන්ය.

කෙසේ වුවද පාදයේ ටිෂුවලට වූ හානිය නිසා ෂෙහාන්ට ජාත්‍යන්තර තරග බිමේ වැඩි කලක් රඟ දක්වන්නට අවස්ථාවක් නොවීය.

එයින් පසුව ලෝකයාට මෙන්ම රටටම අමතක වූ මේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා ගැන මුළු රටම කතා කරන්නට පටන් ගත්තේ පසුගිය සතියේදීය.

ඒ පන්නල ෂෙහාන් යළිත් ක්‍රිකට් පිටියට අවතීර්ණ වී කළ හපන්කමක් නිසානම් නොවීය. ෂෙහාන් මධුශංක යළිත් රටටම මතක් වූයේ හෙරොයින් සමග ඔහු අත්අඩංගුවට ගැනීමත් සමගය.

ඉකුත් 23 දා සෙනසුරාදා ෂෙහාන් හා ඔහුගේ මිතුරකු හෙරොයින් සමග සැක පිට අත්අඩංගුවට ගත් බව කියන්නේ පන්නල පොලිසියයි.

ඉකුත් කාලයේ පන්නල කුලියාපිටිය ප්‍රදේශවල පාසල් සිසුන් තරුණයන් හෙරොයින් පානයට ඇබ්බැහි වී සිටින බට පොලිසියට තොරතුරු ලැබුණි. පාසල්වල හෙරොයින් විකුණූ මුරකරුවන් දෙදෙනකුද පොලිස් අත්අඩංගුවට පත් විය. මේ හේතුවෙන් කුඩු ජාවාරම මඬින්නට පොලිසිය මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර තිබුණේය. දිනපතා කුඩු බොන්නට පුරුදු වූවන් හා කුඩු විකුණන පුද්ගලයන් වටේම පොලිසිවලට කොටුවූහ. නමුත් කුඩු ජාවාරමේ තෝරුන් මෝරුන් පොලිස් දැලට අල්ලා ගැනීමට අසීරු විය.

ඇඳිරිනීතිය සමයේත් ප්‍රදේශයේ කුඩුවල අඩුවක් නොතිබිණි. ගම්වල දෙමාපියන්ගෙන් නිතර පැමිණිලි ගලා ආවේ දිනෙන් දින මතට හුරුවන තරුණයන් ගලවා ගන්නට ජාවාරමුන් කොටු කර ගන්නා ලෙසය.

මේ අතරේ කුලියාපිටිය කොට්ඨාස බුද්ධි ඒකකයෙන් පන්නල පොලිසියට අනුයුක්ත කර සිටින බුද්ධි නිලධාරියා තොරතුරක් දුන්නේ පන්නල පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්සක එම්.ජී. රණතුංගටය. ඔහු සැරයන්වරුන් වන ජිනදාස (49241) දිසානායක (38417) හා කාන්තා සැරයන් දනුෂ්කා (2522) සමග වැටලීමකට පොලිසියෙන් පිටව ගියහ.

පොලිස් කණ්ඩායමට බුද්ධි නිලධාරියාගේ තොරතුරුකරු දුන් තොරතුරු අනුව යන්නේ පුඩලුපොත්ත, නාරංගොඩ පදිංචි ලලිත් හේමන්ත නමැති අයකුගේ නිවසටය.

කුලියාපිටිය බම්මන්න ප්‍රදේශයේ සිට පුඩලුපොත්තට සැකකරුවන් පිරිසක් මෝටර් රථ‍යකින් කුඩු රැගෙන ආ බව ඔත්තුවක් දුන් තොරතුරක් ඔස්සේ පොලිස් කණ්ඩායම එහි පැමිණියහ.

‘‘අපිට ලද තොරතුර ඔස්සේ ලලිත් කියන අයගේ ගෙදරට අපි ගියා. ඒ යන විටත් ලලිත්ගේ ගෙදර කාර් එක නවත්තලා තිබුණා. අපි එකපාරටම කාර් එක වට කළා. ඩ්‍රැයිවින් සීට් එකේ හිටපු කෙනාව මධුශංක බව තහවුරු වුණා. එයා කොට කලිසමක් ඇඳගෙන හිටියා. ෂෙහාන්ව චෙක්කරද්දී සාක්කුවේ පාර්සලයක් තිබ්බා. පාර්සලය අරන් බලද්දි හෙරොයින් තියෙන්නෙ කියලා තේරුණා. මොකද අපි සෑහෙන කුඩු අල්ලලා තියෙන නිසා මේ කුඩු කියලා තේරුණා. ෂෙහාන්ව එහෙම කාර් එකේ සීට් එකේ ඉන්දවලා අනිත් පැත්තේ හිටපු ලලිත්ව චෙක් කළා. ලලිත්ගේ ළඟත් කුඩු පාර්සලයක් තිබිලා හම්බ වුණා. ලලිත් චෙක් කරද්දි ඔහු, සර් මට මෙයා ගෙනත් දුන්නා. මට මෙයාගෙන් බේරෙන්න බැහැ. මම කුඩු බොන්න පුරුදු වෙලා හිටියේ. මෙයා ගෙනත් දෙන නිසා මමත් විකුණනවා කියලා ලලිත් කිව්වා.

ෂෙහාන් මුකුත් නොකියා දැන් කුඩු ටිකක් බිව්වා අමාරුයි කියලා කිව්වා. ඊට පස්සේ අපි මේ දෙන්නවත් අරගෙන රත්තරන් බඩු සාප්පුවට ආවා. එයාලා ඉදිරියේදීම එයාලා ළඟ තිබුණු කුඩු පාර්සල් කිරුවා.

ෂෙහාන් ගාව තිබුණු පාර්සලයේ හෙරොයින් ග්‍රෑම් දෙකකුත් මිලිග්‍රෑම් 700ක් තිබ්බා. ලලිත්ගේ පාර්සලයේ කුඩු ග්‍රෑම් දෙකකුත් මිලිග්‍රෑම් 810ක් තිබ්බා. ඊට පස්සේ මෙයාලව පොලිසියට අරන් ඇවිත් කුලියාපිටිය උසාවියට ඉදිරිපත් කළා යැයි වැටලීම් මෙහෙයවූ නිලධාරීහු පවසති.

ක්‍රිකට් ෂෙහාන් ගමේ තරුණයෝ එක්ක හිටියේ. එයා යාළුවොත් එක්ක බීලා පාටි දානවා කියලා කලින් අපිත් දැනගෙන හිටියා. මෙයා කිහිප දෙනකු එක්ක කුඩු ගහන්න පුරුදු වෙලා ගමට කුඩු අරන් එනවා කියලා පොලිසියට තොරතුරු ලැබුණේ මෑත කාලයේදීයි.

අපිට දම්මින්න, ඇලබඩගම, සුදුරුපොත්ත ගම්වල දෙමාපියන්ගෙන් පැමිණිලි ගලා ආවා. කුඩු ගහන අය ගැන හා ජාවාරම් කරන අය ගැන පොලිසියට තොරතුරු ගලා ගෙන ආවා. ඒ අතරේ ක්‍රිකටර්ගේ නමත් කියවුණා. අපිට ඕනෑ වුණේ ගමේ තරුණ ජීවිත මේ මත්කුඩු ජාවාරමෙන් මුදා ගන්නයි. ඒ අනුව මෙහෙයුම් කරන අතරේ ක්‍රිකටර්ගේ ගෙවල් ළඟ ඉන්න සාජන් මහත්තයෙක් අතේ දෙමව්පියන්ට පණිවුඩයක් යැව්වා. පුතා කුඩු ගහන්න පුරුදු වෙලා ඉන්නේ පුළුවන්නම් මේ පළාතෙන් අරන් යන්න කියලා දැනුම් දුන්නා. අපිට කෙනකු කුඩු ගහනවා විකුණනවා කිව්ව පලියට අත්අඩංගුවට ගන්න බැහැ. බුද්ධි තොරතුරකින් බඩුත් එක්ක අල්ල ගන්නකම් කෙනකුට වරදක් කියන්න බැහැ. රටේ නම දැරූ ක්‍රිකට් ක්‍රීඩකයකු නිසා තමයි ෂෙහාන්ගේ දෙමාපියන්ට පණිවුයක් යැව්වේ ඔහුව බේරාගන්න කියලා. නමුත් අපිට බඩුත් එක්කම ඔහු අහුවුණාම සමාවක් දෙන්න හැකියාවක් නැහැ යැයි වැටලීමට නායකත්වය දුන් උප පොලිස් පරීක්ෂක එම්.ජී. රණතුංග කීවේය.

‘‘වැටලීම කරන මොහොතේ ෂෙහාන්ගේ අම්මා ඇවිත් එක වතාවක් මගේ පුතාට සමාවක් දෙන්න අපි එයාව හදාගන්නම් කියා කිව්වා. නමුත් අපිට නීතිය ක්‍රියාත්මක කළ යුතු නිසා මේ අයව අධිකරණයට ඉදිරිපත් කළා. ක්‍රිකටර් කියලා මේක අත්හරින්න බැහැ. මේක ගම්බිම් වනසන පිළිකාවක්’‘ ඒ වැටලීම් නිලධාරියා කියන කතාවය.

ෂෙහාන් හා ලලිත් යන සැකකරුවන් පන්නල පොලිසිය මගින් විෂ මත්ද්‍රව්‍ය ආඥාපනතේ 54 (අ), (ආ) සහ (ඇ) වගන්ති ප්‍රකාරව වරදක් කර ඇතැයි චෝදනා ගොනු කර ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කෙරිණි. පන්නල පොලිසියේ අධිකරණ අංශයේ පොලිස් සැරයන් ජිනදාස (49241) කුලියාපිටිය වැඩබලන මහෙස්ත්‍රාත් මාධව අධිකාරී වෙත ​කරුණු දැක්වීය.

හෙරොයින් සන්තකයේ තබා ගැනීම හා ප්‍රවාහනය කළැයි චෝදනාවට අධිකරණය හමුවට මෙම දෙදෙනා ඉදිරිපත් කරද්දී ඔවුන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්දන යාපා සහ නීතිඥ දයානි එදිරිසිංහ තම සේවාදායකයන් හෙරොයින් සන්තකයේ තබාගෙන නොසිටි බවට කරුණු දැක්වීය.

අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා ලබන මස දෙවැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. කෙසේ නමුදු මේ සිද්ධියත් සමග ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන ඇතමුන් වපර ඇසින් බැලුවේ ඔවුනුත් කුඩු ගහනවාදැයි කල්පනා කරමිනි. කෙසේ නමුදු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන තෙක් ඔහු සමග සිය ආයතනය අත්සන් කර ඇති ගිවිසුම අත්හිටුවා ඇති බවය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා