ආණ්ඩුව සහල් මිල සංශෝධනය කළේ ජනතාවට හිඟයකින් තොරව සහල් දිය යුතු නිසා මිස සහල් මාෆියාවට යට වීම නිසා නොවන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (28 වැනිදා) පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මෙසේද කීවේය. කොටගලට ජාතික විශ්වවිද්‍යාලයකුත් ලබා දීමට තීරණය කළා. ලබන සතියේ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගේනවා කොටගල විශ්වවිද්‍යාලයට, නුවරඑළිය, කළුතර සහ වෙනත් දිස්ත්‍රික්කවල විශ්වවිද්‍යාල හතරකට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන්න. තොණ්ඩාමාන් ඇමැතිවරයාගේ සිහිනයක් වූ කොටගල විශ්වවිද්‍යාලය එතුමාගේ මරණයෙන් අවුරුද්දක් පිරෙනදා ආරම්භ කරන්න අප කටයුතු කරනවා. ඉන්ධන මිල පිළිබඳ රේගු අධිකාරිය මත අධිභාරයක් අය කිරීමේ යෝජනාවක් අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඉන්ධන මිල පිළිබඳ රටේ ඉතා පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා. ජනාධිපතිවරයා කිව්වා ස්ථාවර තෙල් මිල ප්‍රතිපත්තියක් මේ වසර අවසන් වනතුරු ගෙන යන බව. ලෝකයේ තෙල් මිල කොතරම් අඩු වුණත් හෝ වැඩි වුණත් මිල වෙනස් කරන්නේ නැහැ.

මේ රජයේ ප්‍රතිපත්තිය යටතේ ඉතා දූරදර්ශී විචක්ෂණ මූල්‍ය කළමනාකරණයක් ලෙස ඛනිජ තෙල් ස්ථායීකරණ අරමුදලක් පිහිටුවා තිබෙනවා. ඛණිජ තෙල්වලින් ලැබෙන අතිරික්ත බදු ආදායම් බැර කරන්නේ වෙනම විශේෂිත ගිණුමකට. ඒකාබද්ධ අරමුදලට යන්නෙ නැහැ. මේ ගිණුම තියෙන්නේ ලංකා බැංකුවේ. මේ ගිණුම මෙහෙයවීමට මහා භාණ්ඩාගාරයේ අතිරේක ලේකම්වරුන් හය දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙනවා. ඒ අය විසින් මේ ඛණිතෙල් ස්ථායීකරණ අරමුදලේ බිලියන 200ක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. තෙල් මිල අඩු වුණාම ඒ වාසිය මේ අරමුදලට දානවා.